ළඟම මිතුරා | දිනමිණ

ළඟම මිතුරා

දුරකථනය යනු අද දවසේ අපගේ පරිභෝජන භාණ්ඩ අතර ප්‍රමුඛ උපකරණයකි. මීට වසර ගණනකට එපිටදී අපට මුණගැසුනේ ස්ථාවර ගෘහස්ථ දුරකථන පමණි. එකල වර්තමානය තරම් දුරකථනය පාරිභෝගිකයින් ප්‍රමාණාත්මකව නොසිටිය අතර ස්ථාවර දුරකථනයක් ඇති නිවාසයක් පවා අතිශය වැදගත් ගෞරවනීය ස්ථානයක් විය.

නමුත් කල්යත්ම ජනතාවගේ අතිශය කාර්යබහුලත්වයන් මත මෙම තත්ත්වය ඉතා සංකීර්ණ වූ අතර නවීන අති තාක්ෂණයෙන් සමන්විත උපකරණ වෙළෙඳ පොළට පිවිසීම ආරම්භ විය.

වර්තමානය වනවිට අප සියලුදෙනාම පරිහරණය කරන ඉතා පහසු ජංගම දුරකථන වෙළෙඳ පොළේ සුලබව දැකිය හැකි අතරම ජංගම දුරකථන‍යක් අතේ නොමැති අයෙකු සොයාගැනීමද අතිශය දුෂ්කර වනු ඇත.

එදා නවීන විද්‍යාවෙන් බිහිවූ ජංගම දුරකථනය අද දවස වනවිට අති නවීන අංගෝපාංගවලින් සමන්විතව ජනතාව අතරට පැමිණ ඇති අතර ඒ තුළින් මතුවූ හොඳ සහ නරක යන අංශ දෙකේම ප්‍රතිඵල අද දවසේ අපි සියලු දෙනාම භුක්ති විඳිමින් සිටිමු.

එදා ජන ජීවිතය පහසු කරවූ මෙම උපකරණය අද දවසේ මානවයා මරු තුරුලට යැවීමට තරම් සමත්වී තිබේ. දිනපතා මාධ්‍යවලින් වාර්තා වෙන මාරක රිය අනතුරු සහ වෙනත් මාරක අනතුරු පිළිබඳව ඔබ දැනුවත් ඇතැයි විශ්වාස කරමි. පසුගියදා සිදුවූ ආසන්නම රිය අනතුර වූ ඇඹිලිපිටිය, පතුල්පාන ප්‍රදේශයේ සිදුවූ මාරක බස් අනතුරට ප්‍රධානම හේතුව බස් රියැදුරා තම ජංගම දුරකථනය අනිසි ලෙස භාවිතා කරමින් අපරික්ෂාකාරී ලෙස රිය පැදවීමය.‍

එසේම මහාමාර්ග, රේල් පාරවල්වල දිනකට මියයන තරුණ ජීවිත ප්‍රමාණය ද අතිවිශාලය. ඒ නොසැලකිලිමත් ලෙස සෙල්ෆි ඡායාරූපවලට පෙනී සිටීමට ගොස් තම ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවීමයි.

ඔබ අග නගරයේ වාහන ධාවනය වන අවස්ථාවක් නිරීක්ෂණය කරන්න. බොහෝ රියැදුරන් තම වාහනය හසුරවන්නේ එක් අතකින් රිය පදවමින් අනෙක් අතෙන් ජංගම දුරකථනය භාවිතා කරමිනි.

එසේම පාරේ ගමන් කරන අයද තම ජංගම දුරකථනය භාවිතා කරමින් කහ ඉර මත පවා ගමන් කරනු අප දැක ඇත. බොහෝදෙනකුට ජංගම දුරකථනය කනේ තබාගත්විට මුළු ලෝකයම අමතන වන ආකාරයක් අපට දක්නට ලැබේ. ඒ තරමට මිනිසුන් තාක්ෂණයට අන්ධවී තිබේ.

එදා තිස් වසරක යුද්ධයට වඩා මියගිය පිරිසක් දිනකට සිදුවන විවිධ අනතුරු නිසා මරණයට පත්වෙයි. මේ අනතුරුවලින් බහුතරයක් ජංගම දුරකථන අනිසි ලෙස භාවිතයෙන් සිදුවන වගක් අපට පෙනෙයි. මේ පිළිබඳව නීතිරීති දැඩිකොට අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කාලය එළැඹ තිබේ.

ඩබ්ලිව්. කේ. මොහාන්
මහවැලි සී. කලාපය

 

නව අදහස දක්වන්න