ස්ථාවර සභා පිහිටුවීමේ හැකියාව නැති තැන් තිබෙනවා | දිනමිණ

ස්ථාවර සභා පිහිටුවීමේ හැකියාව නැති තැන් තිබෙනවා

අනුර ප්‍රේමලාල්

"අවුරුදු තුනකට පෙර වෙනසක් කරන්න ඡන්ද පොළට ගිය ජනතාවම අද වෙනස වෙනස් කරන්න ඒ ඡන්ද පොළටම ගිහින් තියෙනවා. හවුල් ආණ්ඩුවේ සමස්ත ප්‍රතිපත්ති වසර තුනකට පසුව ජනතාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. මේ ජනමතයට ගරු කරන්නැයි අපි නැවතත් කියනවා." යැයි ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව පැවැසුවේ පසුගිය දා (14) කොළඹ 08, බොරැල්ල ඇන්. ඇම්. පෙරේරා අනුස්මරණ මධ්‍යස්ථානයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක් වෙමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවැසීය.

"මැතිවරණයෙන් 71%කට වඩා ජය ගත්ත සභා තිබුණත් ස්ථාවර සභා පිහිටුවීමේ හැකියාවක් නැති තැන් තිබෙනවා. මේ අය වසර තුනකින් මැතිවරණය කල් දමමින් සීමා නීර්ණය නෙවෙයි කළේ, පැරදුණත් ජනමතයට පිටින් ගිහින් මන්ත්‍රී ධූර ගන්න ක්‍රමයක් හෙව්වා. ඒක නිසයි ඡන්ද තියන්න නොතිබුණූ හදිසියකින් පනත සම්මත කළේ. ඒ වගේම මේ පනත සංශෝධනය කරන්න සහාය වු ජනතා විමුක්ති පෙරමුණට අවශ්‍ය වුණේ මේ රජය ආරක්ෂා කරන්න. ජනතා විමුක්ති පෙරමුණේ සහායෙන් තමයි මේ පනත් සම්මත කර ගත්තේ.

එළැඹෙන සතියේ දී කතානායකවරයා හමු වී විපක්ෂයේ නිල අයිතිය ඉල්ලා සිටීමට එ්කාබද්ධ විපක්ෂය තීරණය කර තිබෙනවා. වසර තුනක කාලයක් සැබෑ විපක්ෂයේ අයිතීන් උල්ලංඝණය කළ ආණ්ඩුවට පළාත් පාලන මැතිවරණයේ දී ඒකාබද්ධ විපක්ෂයට ඇති ජන බලය පෙන්වීමට හැකි වූ නිසා මෙලෙස විපක්ෂයේ නිල අයිතිය ඉල්ලා සිටීමට තීරණය කර තියෙනවා.

ඒකාබද්ධ විපක්ෂය අය-වැය තුනක දී ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දුන්නා. මේ වන විට ඒකාබද්ධ විපක්ෂයේ ජන බලය පැහැදිලිවම පෙන්වා ඇති නිසා ඉදිරියේදීවත් සැබෑ විපක්ෂයේ අයිතීන් තහවුරු කිරීමට කතානායකවරයා පියවර ගනු ඇතැයි විශ්වාස කරනවා. හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බන්ඩාරනායක මැතිණිය සංවිධාන කටයුතු කළ කොට්ඨාසය වගේම දිස්ත්‍රික්කයත් පරාජය වෙලා. ඉතිහාසයේ පළමු වතාවට අත්තනගල්ල පැරදුණා. ශිරෝමාලා කැකුළිය ප්‍රාදේශීය සභාවට මංගච්චන කොට හොරගොල්ලේ කැකුළිය ඒරොප්පෙට මංගච්චලා.

ඒ වගේම විධායක ජනාධිපතිවරයාට සමස්තයෙන් ප්‍රතිශතයක් විදියට ලැබිලා තියෙන්නේ 14%යි. අගමැතිවරයාට 32%යි. විපක්ෂ නායකට 4%යි. විපක්ෂයේ ප්‍රධාන සංවිධායකට 6%යි. පරණ ආණ්ඩුව දෙන කිසිම අසම්මත නියෝගයක් ක්‍රියාත්මක කරන්න එපා. මේ මොහොතේ රටේ අනාගතය වෙනුවෙන් ආයෝජනය කරමින් ඊට අදාළ තීන්දු ගන්න. මැතිවරණයෙන් පස්සේ කොළ, නිල් ආණ්ඩු හැදීමක් ගැන කියනවා.

ඒ වගේම අවසාන පැයේ අපෙන් ගිලිහිලා ගිය අපේ සහෝදරවරුන් වෙනුවෙන් හෘදයංගම කනගාටුව පළ කරනවා. එ් අය නන්දිකඩාල් කලපුවේ දී අන්තිම මොහොතේ ඉවසීමක් නැතිව දුවගෙන ගිහින් බට්ටෝ පාගපු අය වගේ."

පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා

"සකස් කර තිබුණු මන්ත්‍රී ධූර 4488ක් තිබුණු ක්‍රමය වෙනුවට පනත සංශෝධනය කර මන්ත්‍රී ධූර 8825ක් තියෙන ක්‍රමයක් ගෙනාවේ මේ ආණ්ඩුව. මාසිකව මේ අයගේ වැටුප් හා අනෙකුත් දීමනා සඳහා රුපියල් කෝටි 156ක මුදලක් ගෙවන්න වෙනවා. එ් මදිවට මාස තුන හතරක්ම ජනතාවට සේවය කරනවා වෙනුවට කරන්න වෙන්නේ මේ අයට රැස්වෙන්න හැකි ආකාරයට සභා විශාල කිරීමයි."

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෂෙහාන් සේමසිංහ, තේනුක විදානගමගේ මහත්වරු ද මෙහි දී අදහස් දැක්වූහ.

නව අදහස දක්වන්න