විජයගේ සංකල්ප-අදහස් රැක ගන්න මිනිසුන් අදටත් සිටිනවා | දිනමිණ

විජයගේ සංකල්ප-අදහස් රැක ගන්න මිනිසුන් අදටත් සිටිනවා

විජය කුමාරතුංග පිළිරුවට හිටපු ජනපතිනිය පුෂ්පෝපහාර දක්වමින්; ඡායාරූපය - චමින්ද නිරෝෂණ

විජය කුමාරතුංග මහතා දිවි පිදීමට මුල් වූ දර්ශනය මේ වන විට රටේ දේශපාලනයේ ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, ඒ හා දායකවීමට හැකිවීම තමා ලද භාග්‍යයක් බවත් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

හිටපු ජනාධිපතිනිය මේ බව කියා සිටියේ පෙරේදා (15) බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති දිවංගත විජය කුමාරතුංග මහතාගේ හා නවම් මස දිවි පිදූ විරුවන් සිහි කරමින් පැවති සැමරුම් උළෙලේදීය.

එහි දී අදහස් දැක්වූ හිටපු ජනාධිපතිනිය මෙසේ ද කීවාය.

"උඩුගම්බලා යමින් අදහස් හා සංකල්ප ගොඩනැඟූ විජය කුමාරතුංග මහතා ඝාතනය වී තිස් වසරක් ගත වුවද ඒ මහතා සිහි කරමින් ඒ මහතාගේ සංකල්ප, අදහස් රැක ගන්න මිනිසුන් අදටත් සිටිනවා. කිසිදු රාජ්‍ය අනුග්‍රහයක් නොමැතිව ද විජය කුමාරතුංග මහතා වෙනුවෙන් රට පුරා සැමරුම් සංවිධාන කිරීමට ජනතාව පෙළඹෙනවා.

මේ ලෝකයේ අසාමාන්‍ය මිනිසුන් ඉඳලා තිබෙනවා. ඔවුන් ලෝකයට නැවුම් අදහස් ඉදිරිපත් කළා. විජය කුමාරතුංගයන් ද එවැනි පුද්ගලයෙක් ලෙස සඳහන් කිරීම නිවැරැදියි. පසුගිය කාලයේ යම් රාජ්‍යයන් යටතේ රටේ ජාතික සමඟිය සම්පූර්ණයෙන් විනාශ කිරීමට කටයුතු කළ බලවතුන් සිටියා. එල්. ටී. ටී. ඊ. සංවිධානය මේ රටේ යුද්ධයක් ඇති කර ජාතීන් අතර ප්‍රශ්න ඇති කිරීමට කටයුතු කළා. ජාතීන් අතර බෙදීම්, අසමඟිය වර්ධනය වුණා.

කෙටි කාලයක දී හැරුණු විට මේ රටේ පැවතුණු රජයන් ජාතිවාදය ආගම්වාදය පැතිරවීමට කටයුතු කළේ නෑ. නමුත් එක්තරා රජයක් මේ රටේ ජීවත්වන ජනතාව අතර අසමඟිය වර්ධනය කළා. රජයක් විසින් ජාතීන් අතර සමඟිය හා සංහිඳියාව සෑම අතින්ම රටේ තහවුරු කළ යුතු බවට පිළිගෙන තියෙනවා. පසුගිය වසර තුන ඇතුළත විශාල වැඩපිළිවෙළක් නිහඬව සිදු කිරීමට අපට හැකි වු‍ණා. ඉදිරියටත් එසේම විශාල වැඩ කොටසක් ඉටු කරනවා."

විශේෂ කාර්යභාර ඇමැති සරත් අමුණුගම මහතා

"විජය කුමාරතුංග මහතාගේ ඝාතකයන් ඒ මහතාගේ ඝාතනයෙන් පසු ඔහු ඉදිරිපත් කළ අදහස් සංකල්ප අනුගමනය කළා. විජය කුමාරතුංගයන් ඝාතනය කළේ ඔහුගේ අදහස් ඝාතනය කිරීමට වුවත් එය එසේ වූයේ නෑ. ඒ මහතාගේ අදහස්, සංකල්ප අදටත් ජීවමානයි. වසර තිහක් නොව වසර තුන්සියයක් ගියත් ඔහුගේ එම අදහස් මියදෙන්නේ නෑ.

ජාතීන් අතර අසමඟිය ඇති කාලයක, ජාතීන් මරාගන්නා කාලයක ඒ මහතා පැවැසුවා ජාති, ආගම්, කුල භේදයකින් තොරව එකට සිටිය හැකි රටක් බිහි කළ යුතු බව. විජය කුමාරතුංග මහතා පැවැසූ පරිදි සියලු දෙනාම එක හා සමාන බව අදටත් අනුගමනය කරනු ලබනවා."

ජාතික මහජන සහෘද සංසදයේ සභාපති මාදම්පාදාගම අස්සජි හිමි

"අපි මේ අවස්ථාවේ දී 169ක් වූ දිවි පිදූ අය සමරනවා. නවම් මස දිවි පිදූ අය සැමරීම නිසා එය අප නවම් විරු සැමරුම ලෙස නම් කළා. අපට මුලින්ම සහජීවනය ඉගැන්වූයේ විජය කුමාරතුංග මහත්මයා." මහාචාර්ය කාලෝ ෆොන්සේකා, රූපා කුමාරතුංග, පද්මසිරි කොඩිකාර, හිටපු ඇමැති ෆීලික්ස් පෙරේරා මහත්ම මහත්මීහු ද, නවම් විරුවන්ගේ ඥාතීහු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

සඳුන් රමේෂ් 

නව අදහස දක්වන්න