පිපිරෙන්නට බලා සිටින කිකායි | දිනමිණ

පිපිරෙන්නට බලා සිටින කිකායි

මංජුලා විජයරත්න

මුහුදු ජලයෙන් වැසී පවතින සුපිරි ගිනි කන්දක් පිළිබඳ තතු අනාවරණය කර ගන්නට ජපාන විද්‍යාඥයෝ පිරිසක් සමත් වෙති. එකී සුපිරි ගිනි කන්ද පිපිරීමකට ලක් වුවහොත් මිලියන 100ට ආසන්න ලෝකවාසීන් ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත් වනු ඇතැයි පැවැසේ. “කිකායි”යනුවෙන් නම් කර ඇති මේ ගිනි කන්ද තිබෙන්නේ ජපානයේ කියුෂු දූපතේ සිට කිලෝමීටර 50ක් පමණ දකුණට වන්නටය. කිකායි ගිනි කන්ද පිළිබඳ තොරතුරු අනාවරණය කරගත්තේ ජපානයේ කෝබේ විශ්වවිද්‍යාලයට අනුබද්ධ, කෝබේ සාගර පත්ල ගවේෂණ මධ්‍යස්ථානයේ විද්‍යාඥයන් පිරිසකි.

කිකායි සුපිරි ගිනි කන්දේ අඩංගු මැග්මා ප්‍රමාණය ඝන කිලෝමීටර 32කට ආසන්නය. කිලෝමීටර 10ක් පුළුල් වූත්, මීටර 600ක උසකින් යුක්ත වූත් ශිඛරයක් මේ වන විට එහි පවත්නා බව විද්‍යාඥයෝ පවසති. ලාවා සහිත එම ශිඛරය, මුහුදු මට්ටමෙන් මීටර 30.5 (අඩි 100ක් පමණ) පහළ ඇති බවත්, එය මුහුදු පත්ලෙන් මීටර 600ක් ඉහළට එසවී ඇති බවත් තහවුරු කරගෙන තිබේ.

කිකායි සුපිරි ගිනි කන්ද කිසිදු පූර්ව අනතුරු ඇඟවීමේ සංඥාවක් නොදක්වාම පිපිරී යෑමට ඉඩ ඇත. එවැනි පිපිරීමකින් පසු සුන්බුන් සහ අපද්‍රව්‍යය විශාල ප්‍රමාණයක් වායු ගෝලයට මුදා හැරේ. සූර්යයාලෝකය පෘථිවිය මත පතිත වීම එමඟින් කපා හැරෙනු ඇති බව විද්‍යාඥයෝ පවසති. මේ නිසා “ගිනි කඳු ශිශිර සමය”නැමැති භයානක තත්ත්වය ප්‍රදේශ රාශියක ඇති වනු ඇත.

කිකායි සුපිරි ගිනි කන්ද පිපිරී යෑම වෙරළ තීර රැසකට බරපතල හානි පමුණුවන්නටත් හේතුවක් වනු නියතය. වඩාත් විශාලම හානිය, පිපිරීම නිසා ඇති වන්නේ යැයි අනුමාන කෙරෙන සුනාමි තත්ත්වයකි. එම සුනාමිය, තායිවාන සහ චීන වෙරළ තීරවලටත් උතුරු සහ දකුණු ඇමෙරිකා වෙරළ තීරවලටත් බලපානු ඇත.

කිකායි ගිනි කන්දේ ශිඛරය කොටසින් සාම්පල හයක් පමණ ලබා ගන්නට ජපාන විද්‍යාඥයෝ මේ වන විට සමත්ව සිටිති. ඒ සාම්පලවල රියෝලයිට් නැමැති ආග්නේය පාෂාණ පවත්නා බව පැවැසේ. කල්දේරාව ආසන්නයේ වෙනස්කම් අධ්‍යනය කළ විද්වතුන්ට පෙනී ගොස් තිබෙන්නේ වායු බුබුලන තත්ත්වයක් සහ සුපිරි තාපයක් (රස්නයක්) සහිත ජල කඳක් ඇති බවකි.

කෝබේ සාගර පත්ල ගවේෂණ මධ්‍යස්ථානයේ මහාචාර්ය යොෂියුකි ටත්සුමී පවසන්නේ කිකායි ගිනි කන්ද ඉදිරි වසර 100 තුළ පුපුරා ගියද ජපාන දූපත් සමූහයට සිදු වන්නේ 1%ක පමණ හානියක් බවයි. මිලියන 100ක් පමණ මනුෂ්‍ය ජීවිත විනාශ වීම මේ ගිනි කන්ද පිපිරීමෙන් ඇති විය හැකි භයානකම තත්ත්වය බවත් මහාචාර්යවරයා පෙන්වා දෙයි.

කිකායි ගිනි කන්දේ වත්මන් ලාවා ශිඛරය ඇති වී තිබෙන්නේ මෙයට වසර 7300කට පමණ පළමුව එහි සිදු වුණු පිපිරීමකින් පසුවය. ප්‍රාග් ඓතිහාසික යුගයේදී දකුණු දිග ජපානය කේන්ද්‍ර කරගෙන පැවැති ජොමො ශිෂ්ටාචාරය විනාශ වී ගියේ ද එම පිපිරීමෙන් බවට මතයක් ඇත.

කිකායි සුපිරි ගිනි කන්ද පිළිබඳ තව දුරටත් සොයා බලන්නට විද්‍යාඥයන් පිරිසක් ලබන මාසයේ දී ඒ ආශ්‍රිත සාගර පත්ලට පිවිසීමට නියමිතය. රොබෝ තාක්ෂණික මෙවලම් ඇසුරින් ගිනි කන්දේ තොරතුරු ලබා ගැනීමට එම පිරිස සූදානම් වෙති. කිකායි පුපුරා යෑම ගැන අනාවැකි පළ කළ හැකි තොරතුරු එමඟින් අනාවරණය වනු ඇති බව විද්‍යාඥයන්ගේ විශ්වාසයයි.

ජපාන දූපත් පිහිටා තිබෙන්නේ ගිනි මුදුව වශයෙන් හැඳින්වෙන කලාපයේය. එය අශ්ව ලාඩමක හැඩය ගත් පෙදෙසකි. භූ තාප ක්‍රියාකාරකම් - එනම් ගිනි කඳු පිපිරීම්, භූමි කම්පා ආදිය එම කලාපය තුළ අධික බව විද්‍යාඥයෝ පවසති. භූ කම්පනවලින් 90%කට ආසන්න ප්‍රමාණයක් සිදු වන්නේ එම කලාපය තුළයි. 450කට අධික ගිනි කඳු ප්‍රමාණයක් එහි පවත්නා බවත් අනාවරණය වී ඇත.

mail online ඇසුරෙනි

නව අදහස දක්වන්න