පල නොකියා බෙදන ෆේස්බුක් පලා | දිනමිණ

පල නොකියා බෙදන ෆේස්බුක් පලා

දිනකට අපි නාන කාමරය තුළ පැය බාගයක් ගත් කරන්නේ නම් එය සමස්ත දවසේ කාලයෙන් 48න් පංගුවක් වෙනවා. එනම් අවුරුදු 48ක් වන පුද්ගලයෙක් සැලකුවොත් ඔහු සිය වසරක්ම කැප කර තිබෙන්නේ නාන කාමරය තුළයි. මේ දිනකට පැය බාගයක් නාන කාමරයේ සිටියොත් ගත වන කාලය. ඇතැම් අය දිනකට පැය දෙක තුන දක්වා සිය මිතුරන් සමඟ ෆේස්බුකියේ කාලය කා දමනවා. ඒ කියන්නේ දවසේ සමස්ත කාලයෙන් පැය දෙකක් ෆේස් බුක් වෙත කැප කළොත් සෑම වසර 12කින්ම එක් වසරක් අපි ෆේස්බුක් වෙනුවෙන් නාස්ති කරලා තිබෙනවා.

මේ ගැන දියුණු රටවල ජනයාත් නැවත හිතන්නට ගත්තා. ඇතැම් අය ෆේස්බුක් සහ සමාජ ජාලා වෙත ගොඩ වීම සීමා කරන්නටද ක්‍රිය කළා. 2017 වර්ෂයේදී ෆේස්බුක් ආදායම ඩොලර් බිලියන 40ක්. එය ඊට පෙර වසරට සාපේක්ෂව 56%ක වැඩි වීමක්. ඒ කියන්නේ ෆේස්බුක් දැන් ඉන්නේ ඔවුන්ගේ ව්‍යෘපාරයේ ඉහළම තැන. නමුත් ෆේස්බුක් දැන් ආයෙමත් තමුන්ගේ ඉදිරියට තැබූ අඩි පස්සට ගන්නට හදන බවක් තමයි පෙනී යන්නේ.

ඒ ගැන අදහස් දක්වන මාක් සකර්බර්ග් පවසා තිබෙන්නේ මිනිස්සු ජාලයේ ජීවත් වන වේලාව වඩාත් වැදගත් වූ දේ සදහා යොදවාලීම ඔවුන්ගේ අනාගත අරමුණ වන බවයි. පසුගිය කාලයේ ලංකාවටද සියලු පේජ්වල දැන්වීම් සහ ප්‍රවාත්ති අප වෙත පෙන්වීම වලකාලනු ලැබූවා. ඒ නිවුස් ෆිඩ් වෙනම තීරුවකට යෑමෙන් නිතර උඩ එන දේශපාලනික කෝන්තර සහ විහිලු තහලු ආදිය මදක් ඈත් වී හුදෙක් අප මිතුරන්ගේ ස්ටේටස්, පිංතුර ආදිය දැක බලාගත හැකි පැ‍රැණි කාලයට ෆේස්බුක් ගමන් කළා. එහෙත් ඒ වෙනස තුළින් ජනයා ෆේස්බුක්වලින් කෙලින්ම ඉවත් වුණේ නැහැ. පෙර පරිදි රටේ නැති ගොසිප්, ජෝක්ස්, මීම්වලින් අපිව ඈත් කරන නිසා මද වේලාවක් මිතුරන්ගෙ විස්තර බලන අපි ෆේස්බුක්වලින් ඇත්ව වෙනත් වැඩකට සිත යොමන්නට පෙළඹෙනවා.

ෆේස්බුක් මඟින් විකාශනය වන අතිශ්‍ය ජනප්‍රියව හුවමාරු වන වීඩියෝ නැරඹීමේ අවස්ථාව 5%කින් අඩු කළොත් එමඟින් ෆේස්බුක් ලොග් වන අයගේ මිලියන පනහක පමණ පැය සංඛ්‍යාවක් ඉතිරි වන සොයාගෙන තිබෙනවා. ෆේස්බුක්හි අරමුණ එලෙස ලොග් වන පුද්ගලයන් එතුළ ගත කරන කාලය අඩු කර ගැනීම වුවත් තව තවත් සක්‍රිය වූ ෆේස්බුක් භාවිත කරන්නන් බිලියන 1.4 සිට 2.1 දක්වා වැඩි කර ගැනීමට ෆේස්බුක් බලාපොරොත්තු වෙනවා. එමඟින් ජාලය තුළ කාලය කා දමන පිරිස අඩු කරගෙන තවත් පිරිසකට ජාලය පැතිරවීම ෆේස්බුක් හි වාණීජමය පරමාර්තය වන්නට ඇති.

ඇමරිකාවේම නීති සම්පාදකයින් සහ සමාජය වෙතින් සමාජ ජාලා වෙත එල්ල වන පීඩනය දැඩි වී තිබෙනවා. විශේෂයෙන් යෞවන පරපුරේ සමාජ ජාල භාවිතය බොහෝ තැන්වල ප්‍රශ්නයට තුඩු දෙන කාරණාවක් වෙලා. ලංකාවෙ වුවද බස් රියකට ගොඩ වුවත් වෙන කාලවල මෙන් කෑ ගසමින් , විහිලු තහලු කරමින් යන යෞවන පිරිසකට වඩා ස්මාට්ෆෝනය තුළට එබීගෙන යන යෞවන යෞවනියන් පිරිසක් බිහි වීම කෙරෙහි ෆේස්බුක් වැනි ආකර්ශනීය සමාජ ජාල මඟින් පිටුවහලක් ලැබී තිබෙනවා.

මේ ඔස්සේ ෆේස්බුක් වැනි සමාජ ජාලා භාවිත කරන්නට එපා යැයි උපදෙස් දීමට වඩා වැඩි යමක් සමාජයේ ඉහළ නීති සම්පාදකයන් කෙරෙන් ෆේස්බුක් වෙත යොමු වීමේ අවධානමක්ද තිබෙනවා. මන්ද ඉගෙන ගන්නා වයසේ සිටින දරුවන්ට ෆේස්බුක් හරහා කාලය කා දැමීමක් මිස ඒ හරහා ලබාගත හැකි අධ්‍යාපනික වටිනාකම් සාපේක්ෂව ඉතා අඩුයි. එම නිසා නීතිමය අංශ මඟින් දැඩි නීති රීති පැමිනෙන්නට කලින්ම ෆේස්බුක් වෙතින්ම සිය භාවිත කරන්නන් සිය ජාලය තුළ නාස්ති කරන කාල සීමාව අඩු කර ගන්නට කටයුතු කරනවා වන්නටද හැකි බව ඇමරිකානු මාධ්‍ය විසින් වාර්තා කර තිබෙනවා.

වාණීජමය අතින් ගතහොත් ෆේස්බුක් වැනි සමාජ ජාලාවලට සාමාන්‍ය පහළ මට්ටමේ යෞවනයින් සහ කාලය කා දමන අය තොග ගණන් ඇලී සිටීමෙන් එතරම්ම වාසියක් නැහැ. මුදල් හදල් තිබෙන ඉහළ පෙළේ අය දිනකට විනාඩි කිහිපයක් ෆේස්බුක් සිටියත් වෘත්තිය වශයෙන් කාලය කා දමන පිරිස දවසම ෆේස්බුක් සිටියාට වඩා වාසියක් වාණිජමය අංශයෙන් ෆේස්බුක් වෙත උදා වෙනවා. අනෙක් අන්තයෙන් නිතරම ලොග් වී දවසට පැය 3-4ක් හෝ ඊටත් වැඩියෙන් ෆේස්බුක් හි කරක් ගැසීම තාක්ෂණික අතිනුත් ෆේස්බුක් වෙත එල්ල වන පීඩනයක්. වැඩි වාණීජමය ලාභයක් ලබාගත නොහැකි මේ කාලය කා දමන පිරිසට වඩා කාලය අඩුවෙන් වැය කරන වැදගත්, මුදල් හදල් ඇති පිරිසක් ෆේස්බුක් වෙත ළං කර ගත යුතු බැව් මාක් සකර්බර්ග්ම මෑතකදී සදහන් කොට තිබෙනවා.

ෆේස්බුක් සහ සමාජ ජාලා කියන්නේ වාණිජමය අරමුණකින් ක්‍රියාත්මක වන යාන්ත්‍රණයක්. මිතුරන්ගෙ විස්තර දැන ගැනීම ඔවුන් හා සුහදතාවය වර්ධනය කරගන්නට දවසට විනාඩි දහයක් පහළොවක් ෆේස්බුක් භාවිතය වරදක් නැති වුවත් එහි ඇලී ගැලී සිටීම අපට බොහෝ දේ සදහා තිබෙන වටිනා කාලය අපතේ දැමීමක් බව අප ද සිහියට ගත යුතුයි.

අමිල චතුරංග

නව අදහස දක්වන්න