ස්වයං ලිඛිත මරණ දැන්වීම් | දිනමිණ

ස්වයං ලිඛිත මරණ දැන්වීම්

කාංචනා අමිලානි

'The delhi walla' නමින් දැක්වෙන බ්ලොගයකි. විවිධාකාර ලිපි සහ සේයාරූ අතර අමුතුම ආකාරයේ වාසගමක් සහිත 'ටැග්' එකක් දුටු හෙයින් එය ලුහුබඳින්නට සිතීමි. පළමුව ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ මේ ලුහුබැඳීම ඇරැඹි අතර ඉනික්බිතිව බ්ලොගය ද ඊට අයත් විය.

මහත් ආකර්ශනයක් සහිත මේ 'ටැග'ය මගේ සිත පැහැර ගත්තේ එහි වූ අපූරු බව නිසා ය.

මරණය සැමරීම බොහෝ රටවල සිදු කරන මුත් තමන් විසින්ම තමන්ගේ මරණ දැන්වීම ලියනු දැක නැත්තෙමි. එහි විශේෂතා කීපයකි. පළමුව ඉතාම සංක්ෂිප්ත ය. ඒ මරණ දැන්වීමක් ලිවීමේ සම්ප්‍රදායික ක්‍රමය අනුගතවය. වචන 200කි. ලුහුඩු දැන්වීම් සේම මරණ දැන්වීමකට ද ඊටම අයිති ඉඩකි. වචන ප්‍රමාණයකි. පුවත්පතක නම් ඊටම අදාළ මිලකි. සේයාරුවක් සහිතවත්, රහිතවත් පළ කෙරෙන මේ මුද්‍රිත මරණ දැන්වීම්වල අන්තර්ගත ශෝකී තානය ඉක්මවා යන උත්කර්ෂයක් 'The delhi walla' බ්ලොග් අඩවියෙන් මට හමු විය.

යම් පුද්ගලයකු මිය ගිය පසුව ලියැවෙන මරණ දැන්වීම් බොහෝ විට ලියැවෙන්නේ පවුලේ ඥාතියකු හෝ සමීපතයකු අතිනි. එහෙත් එලෙස ලියැවෙන දැන්වීම මිය ගිය පුද්ගලයා කිසිසේත් අපේක්ෂා කළ නොහැකි වර්ගයේ එකක් වීමට ඇති ඉඩකඩ වැඩිය. බොහෝ විට අනුමානයෙන් ලියැවෙන දෑ බොහෝය.

බ්ලොග් අඩවිය සපයන්නේ ඒ සියලු වැරැදි නිවැරදි කර ගැනීමේ ක්‍රමයකි. මරණය උත්කර්ෂවත් ලෙස සැලකීම මෙහි එක් අරමුණක් විය හැකිය.

මේ දක්වා 'The delhi walla' බ්ලොග් අඩවියේ විද්‍යුත් තැපෑලට ලැබී, පළ කර ඇති දැන්වීම් ප්‍රමාණය 177කි.

තමන්ගේම මරණ දැන්වීම කෙසේ විය යුතුදැයි තීරණය කර එය ලියා එවීමෙන් පසුව ඒ සමඟ එවන සේයාරූ කිහිපයක්ද මේ සමඟම පළ කෙරෙයි. මරණ දැන්වීම් සමඟ පළ කෙරෙන උඩුකය සේයාරුව වෙනුවට ඔවුන් ඔබ විසින් යවන්නට යෙදෙන ඕනෑම ආකාරයේ සේයාරුවක් ඒ සමඟ පළ කෙරෙයි. බහුතර සේයාරූ ජීවත්ව සිටින කාලයේ ඒ පුද්ගලයන්ගේ ප්‍රීතිමත් ජීවිත මතක අවුස්සන සුළු වර්ගයේ ඒවා ය.

මේ එවැනි ස්වයං ලිඛිත මරණ දැන්වීමකි.

ඩිපේශ් මිත්තල්, ඩුබ්‍රි, ඇසෑම් 177 වැනි මරණ දැන්වීම

සටහන සහ ඡායාරූප යොමුව: ඩිපේශ් මිත්තල්

ඩිපේශ් මිත්තල් මිය ගොස් ඇත. ගී ගයමින් මහාමාර්ගයේ ගමන් කරමින් සිටි ඔහුව වේගයෙන් පැමිණි මෝටර් රථයක ගැටී ඇත. මේ ශෝක වීමට නොව සැමරීමට සුදුසු සිදුවීමකි. ජීවත් වූ කාලය මුළුල්ලේම ගැටලු රාශියක් සහිතව ඔහු දිවි ගෙවූවෙකි. ජීවිතය මද උමතුවකින් ගෙවූවෙකි. ඇතුළු හදක් ඇත්තෙකි. කිසිවකුට තේරුම් ගත නොහැකි බොහෝ දේ නිතර කීවේය. ජීවිතයේ සත්‍ය සහ ආදරය අතර ඇති ඉඩ ගැනත් ඒ සියල්ල අතර තමාව සිර වී සිටින ආකාරය ගැනත් කතාබහ කළේය.

දැන් සියල්ල හොඳ අතට හැරී ඇත. දැන් ඔහු ජීවතුන් අතර නැත.

ඔහු මිය යන විට බීමතින් සිටි බවත්, දේශපාලනය, ආදරය සහ කවි ගැන කතාබහ කරමින් සිටි බවත් අවසන් මොහොතේ ඔහු සමඟ සිටි හිතවතුන් පැවසීය. ලෝකය යහපත් කළ හැකි බවට විශ්වාස කරන, ඒ ගැන කතා කරන මිනිසුන්ගෙන් ලෝකයට ලැබෙන දේ කුමක්ද? මෙවන් කාලයක ඔහු වැන්නවුන්ගෙන් ලෝකයට ප්‍රයෝජනයක් නොමැත. ඔහු මිය ගොසිනි. එපමණය.

පිදුරු ගොඩක උඩුබැල්ලෙන් වැතිර සිටින සේයාරුවක් සහ කහ පාට මල් ගොමු අතර මද සිනා පාමින් සිටින සේයාරුවක් මේ සමඟ පළ කර තිබුණි.

176 වැනි මරණ දැන්වීම ලියා එවා තිබුණේ චාර්වී ෂර්මා විසිනි. කහ පැහැති මල් පිපිණු ගසක් පසුබිමේ තබාගෙන ගෙන තිබුණු පින්තූරයේ චාර්වී උන්නේ සිනාමුසුවය. ඒ උඩුකය සේයාරුවකි. දෙවැන්නේ භූමි දර්ශනයක් දෙස උඩුමහලක සිට බලා සිටින්නකි. හාත්පස සුන්දරත්වයත්, පි‍ටුපා සිටින ඇගේ රුවත් මරණ දැන්වීමක හැඟීම වෙනස් කරවන සුළු විය. 'ඈ පොත් රාශියක් අතැර දමා ගොස් තිබුණි. පැළෑටි රාශියක් සහ ලියුම් කිහිපයක් ද ඒ අතර විය. මේ සියල්ල නිත්‍ය බවේ ගීතිකා ගායනා කරමින් සිටියේය. ' මේ ඇගේ මරණ දැන්වීමේ එක් වාක්‍යයකි. ලාහෝරයේ වීදියක දුවමින් සිටියදී මිය ගියේ යැයි පැවසෙන ඇගේ මරණ දැන්වීම අලංකාරවත්ව ලිවීමට වග බලාගෙන තිබුණි.

අපර්ණා සිංහා ගේ මරණ දැන්වීම සටහන්ව තිබුණේ 175 වැන්න පැද්දෙන පු‍ටුවක සිටියදීය ඈ මියගොස් තිබෙන්නේ. ගුර්ගාවන් හි පිහිටි ඇගේ නිවසේ බැල්කනියේ තබා තිබුණු මේ පැද්දෙන පු‍ටුවේ සාමකාමීව වැටිර සිටි අපර්ණාගේ ශරීරය සිත්වමක් සිහි ගන්වන සුළු ය.

අපර්ණා සන්ජේ ගේ මරණ දැන්වීම 174 වැන්නයි. අරුන්දතී රෝයි ගේ The Ministry of Utmost Happiness නවකතාව කියවමින් සිටින සේයාරුවක් සහ මුහුණේ දකුණු පැත්ත පෙනෙන ආකාරයෙන් ලබාගෙන තිබුණු සේයාරුවක් ඈ යොමු කර තිබුණි.

සැබවින්ම මරණය සැමරිය හැකිද? ස්වයං ලිඛිත චරිතාපදාන ලියන්නා සේම ස්වයං ලිඛිත මරණ දැන්වීම් ලිවිය නොහැකිද? හැකි යැයි සිතෙන්නේ නම් [email protected] නම් ලිපිනයට වචන 200ක මරණ දැන්වීමක් යොමු කළ හැකිය. එසේත් නැත්නම් instagram.com/thedelhiwalla ඉන්ස්ටග්‍රෑම් ගිණුමට අන්තර්ජාලය පීරා සොයා ගත හැකිය. thedelhiwalla.com එහි බ්ලොග් අඩවියයි.

 

නව අදහස දක්වන්න