ඡන්දය නොදී කුමටද මැසිවිලි | දිනමිණ

ඡන්දය නොදී කුමටද මැසිවිලි

පළාත් පාලන ඡන්දය නිම වී දින කීපයක් ගෙවෙන මොහොතේ දී තවමත් සමාජ වෙබ් අඩවිවල මෙන් ම සැබෑ ලෝකයේත් ඡන්ද උණුසුම පහව ගොස් නැත. සමහරු ජයග්‍රහණය සමරති. පරාජිතයෝ නිදහසට හේතු දක්වති. තම වැරදි හඳුනා ගනිති. මේ දෙපක්ෂය නිසා ශ්‍රී ලංකාවේ ඡන්ද කතන්දරයේ සිදු වුණ වෙනසක් මග හැරී ඇත. නිදහස ලබා අවුරුදු හැත්තෑවක් සපිරෙන තැන ජනතාවට සිය පරමාධිපත්‍යය බලයේ ඇති බල පරාක්‍රමය ගැන කතා කළ හැකි ය.

ඡන්දය භාවිත කිරීම අතින් ශ්‍රී ලංකාව ගෝත්‍රික, පාරම්පරික ලේ වහලුන් මෙන් පක්ෂයකට කත් අදින සරලව ම පක්ෂයකට කඩේ යන්නන් ලෙස ශ්‍රී ලාංකිකයන් විසින් ම හංවඩු ගසා ඇත. නමුත් තව දුරටත් අපේ රටේ බහුතරය පවසන අයුරින් ම දේශපාලන අඳබාලයන් නොවේ. කාලාන්තරයක් තිස්සේ පැවති පාලනයක් එක් රැයකින් වෙනස් කළ දා පටන් සිය බලය පිළිබඳ අලුත් කෝණයකින් බැලීමට ජනතාව පුරුදු වූහ. ප්‍රායෝගික වැඩපිළිවෙළකට මිස සුරංගනා කතාවලට තව දුරටත් කතිර ගසන්නෝ නැත.

ඒ අතරින් පවතින දේශපාලන ක්‍රමය තමාට වහ කඳුරු මෙන් තිත්ත යැයි කියමින් තමන් ඡන්දය භාවිත කිරීමෙන් වැළකෙන බවට කටමැත දොඩවන ප්‍රජාවකි. ඔවුන් කුමන තර්ක ඉදිරිපත් කළ ද පවතින දේශපාලන ක්‍රමය තුළ අප ව නියෝජනය කිරීම සඳහා එයට ගැළපෙන නියෝජිතයන් අදාළ ස්ථානවලට යැවිය යුතු ය. එය කළ හැක්කේ ඡන්දය මනා ලෙස භාවිත කිරීමෙන් මිස කිසිසේත් ම ඡන්දය භාවිත නො කිරීමෙන් නොවේ. ඡන්දය භාවිත නොකර හිඳ, එසේත් නැත්නම් දේශපාලනික වශයෙන් මන්ද බුද්ධිකයන් පත් කර රටේ දේශපාලන යාන්ත්‍රණය පිළිබඳ පශ්චාත්තාපයෙන් දෙඩවීම පාඩම් නොකර විභාග ලියා ලැබුණ ප්‍රතිඵලයට ශෝක වීමට සමාන ය.

නිරීක්ෂකයන් පිරිසක් ව හිඳ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත රාජ්‍යයක් කරා සිහින දැකීම ද එක්තරා ආකාරයක විහිළුවකි. ඡන්දය භාවිත නොකරන්නන් හට පාලන තන්ත්‍රයට චෝදනා ඉදිරිපත් කිරීමට කිසිදු ආකාරයක සදාචාරාත්මක අයිතියක් නැති බව බොහෝ දේශපාලන විශේෂඥයන්ගේ මතයයි. එක් අතකට සෘණාත්මක ආකල්ප පෙරදැරිව ජීවත් වන නිසා ම අපේ රට තුන්වන ලෝකයේ රටක් වශයෙන් පවතිනවා විය හැකිය. පත් කළ නියෝජිතයන් බල තණ්හාවෙන් කටයුතු කරන දූෂිතයන් නම් ඔවුන් ව බලයෙන් පහ කිරීමට ජනතාවට ඇති බලය පිළිබඳ විශ්වාසයක් තිබිය යුතු ය.

ඡන්දය භාවිත කළ අයෙකුව දේශපාලනික වහලෙකු ලෙස දකින එහෙත් කිසිදු පක්ෂයකට ඡන්දය භාවිත නොකළ නිසා තමන් නිවහල් චින්තකයෙකැයි සිතන්නා තරම් වහලෙක් තවත් නැත. ඔහු අහේතුකව ම ඕන ම පක්ෂයක් යටතේ පාලනය වෙමි යි සිතන තීරණයක් ගත නොහැකි අයෙකි. ඡන්දය භාවිත නොකරන අයට නිදහසට කීමට ඇති එක ම කාරණය සුදුස්සෙකු නොමැතිකමයි. පිච්ච මලින් පිරිසිදු කළ ජලය පානය කරන ග්‍රීසියෙන් පැවත එන සුජාත දූ පුතුන් වැනි දේශපාලනඥයන් මායාවකි. තම මතවාදයට සමීප බවක් නැතත් රටේ හෙට දවස වෙනුවෙන් යමක් කළ හැකි අයෙක් වෙතොත් ඔහුට හෝ ඇයට ඔබේ ඡන්දය හිමි විය යුතුය. ඡන්දය භාවිත කිරීම රටක පුරවැසියෙකු වශයෙන් යුතුකම් පැහැර හැරීමකි.

තිසරණී විජයබණ්ඩාර
@Thizuu


නව අදහස දක්වන්න