අගමැතිතුමාගේ කටේ වැරැද්ද | දිනමිණ

අගමැතිතුමාගේ කටේ වැරැද්ද

කැනේඩියානු අගමැති ධූරයට පත් වූ අලුත ‘ජස්ටින් ටෲඩෝ‘ ජාත්‍යන්තර දේශපාලන වේදිකාවේ සිරස්තල මැව්වේ ලොව වඩාත්ම හැඩකාර කඩවසම් රාජ්‍ය නායකයා ලෙසයි. නමුත් කලක සිට ඔහු වරින් වර පුවත් මවමින් සිටින්නේ දුරදිග නොබලා කරන ප්‍රකාශයන් හා ‘මෝඩ තාලේ‘ විහිළු නිසයි. පසුගිය සතියේ එඩ්මන්ටන්හි නගර ශාලාවක පැවැති ප්‍රශ්නෝත්තර වැඩමුළුවකදී අගමැතිවරයා කළ එක්තරා නිවැරදි කිරීමක් නිසා ජස්ටින් ටෲඩෝ කතාබහ යලි අලුත් විය. මිට පෙර කළ ප්‍රකාශවලට වඩා මෙම නිවැරදි කිරීම කැනඩාවෙන් ඔබ්බට ගොස් ජාත්‍යන්තර ජනප්‍රියත්වයක් හිමිකරගත්තේ එය කාන්තාවක සම්බන්ධයෙන් කළ නිවැරදි කිරීමක් නිසාය. ටෲඩෝ කොහොමටත් ස්ත්‍රිවාදිනියන් අතර වීරයෙකි. ඔහු එලෙස නිවැරදි කිරීමට උත්සාහ දැරුවේ කාන්තාවන් ගැනම කතා කරමින් සිටි කාන්තාවක වීමත්, නිවැරදි යෙදුම භාවිතා කිරීමට උත්සාහ කළේ පිරිමින් පමණක් නොව කාන්තාවන්ද එම යෙදුමට ඈඳා ගැනීමට වීම නිසාත්, ස්ත්‍රිවාදයේ ටෲඩෝ භුමිකාව ගැන මිශ්‍ර මත ඉදිරිපත් වීමට හේතුව තිබේ.

අන්තර්ජාලය පුරා සැරිසැරීමට ගත් මෙම ආන්දෝලනාත්මක වීඩියෝපටයට පසුබිම් වූයේ එඩ්මන්ටන් නුවර නගරශාලාවකපැවති මහජන හමුවකි. එහිදී විනාඩි තුනක් පුරා සිය ආගමික විශ්වාස, පුණ්‍යායතන වශයෙන් ආගමික සංවිධානවල භූමිකාව, මාතෘ ප්‍රේමයේ ප්‍රබලත්වය වැනි මාතෘකා ගණනාවක් ඇතුළත් දිර්ඝ ප්‍රශ්නයක් එක්තරා කාන්තාවක ටෲඩෝ වෙත ඉදිරිපත් කළාය. ඇයට හරස් කපමින් ටෲඩෝ ඇය නිවැරදි කිරීමට උත්සාහ දැරුවේ, “මනුෂ්‍ය වර්ගයාගේ අනාගතය වෙනස් කරන ප්‍රේමය මාතෘ ප්‍රේමයයි“ යන ප්‍රකාශයේදී ය. ඇගේ කතාවට මඳකට බාධා කරමින් අගමැතිවරයා කියා සිටියේ “මනුෂ්‍ය (වචනාර්ථයට අනුව පිරිමි) වර්ගයා“( mankind ) කියනවා වෙනුවට ‘මිනිස්වර්ගයා‘ (people kind) යැයි කීම මඟින් ඊට කාන්තා හා පිරිමි සියල්ලන්ම ඇතුළත් වන හෙයින් සර්වලිංගික යෙදුමක් ලෙස එය වඩාත් උචිත බවයි. ප්‍රශ්නය යොමු කළ කාන්තාව මෙන්ම රැස්ව සිටි සෙසු පිරිසද ටෲඩෝගේ මෙම අසාමාන්‍ය නිවැරදි කිරීම හමුවේ අත්පොළසන් දුන්හ. නමුත් ඇතැම් දේශපාලනික විචාරකයින්ට හා කැනේඩියානුවන් බහුතරයකට විශේෂයෙන්ම දක්ෂිණාංශිකයන්ට නම් එය ඔල්වරසන් නැඟීමට හේතුවක් වූයේ නැත ඔවුන්ට අනුව ටෲඩෝගේ මෙම ව්‍යායාමය පුරුෂ කේන්ද්‍රීය වාග්මාලාවක් භාවිතා කළ කාන්තාව ලැජ්ජාවට පත් කරන්නකි. එක් අතකට කඩවසම් පෞරුෂය නිසාවෙන් හිමිකරගෙන සිටින ජනප්‍රියත්වයත්, වාමාංශික ස්ත්‍රිවාදී දේශපාලනඥයකු ලෙස ටෲඩෝට හිමිව ඇති පිළිගැනීමත් හේතුවෙන් අගමැතිවරයාට එරෙහිව දක්ෂිණාංශික කුඩුකේඩුකරුවන්ගේ නැඟී සිටීමට මෙම ප්‍රකාශය හොඳම හේතුවකි. ඔවුන්ට අනුව ටෲඩො යනු දේශපාලනික නිරවද්‍යතාව ගැනත් සහපොදුජන ගෞරවය ගැනත් අඩුවෙන් සැලකිලිමත් වන්නෙකි. මධ්‍යස්ථ මතධාරි කැනේඩියානු මාධ්‍ය දිගට හරහට අගමැතිවරයාට පහර ගැසුවේ ඔහු ‘පිරිමි පැමිණිල්ලක්‘(mansplaining) කරන බව කියමිනුයි.(Complaining යන වදන ඇසුරෙන් mansplaining යන යෙදුම ස්ත්‍රිවාදී ලේඛිකාවක් විසින් හඳුන්වා දුන්නක් වන අතර, එය පසුව කාන්තාවාදිනියන් විසින් ප්‍රචලිත කරන ලද්දකි)

එසේම එය කාන්තා හා පුරුෂ සර්වනාම වෙනුවට උදාසීන සර්වනාම භාවිතය සම්බන්ධයෙන් හටගෙන තිබෙන උණුසුම් විවාදයද යළි අවුලුවන්නක් විය. ටෲඩෝගේ මෙම වීඩියෝපටය අන්තර්ජාලය කළඹන්නට පටන් ගැනීමත් සමඟ මෙම සර්වනාම විවාදයට පුරෝගාමී වූ කැනේඩියානු මහාචාර්ය ‘ජෝර්ඩ්න් පීටර්සන්ව‘ ගෙන්වා ටෲඩෝගේ ‘මිනිස්සුවර්ගයා‘ යෙදුම ගැන රූපවාහිනී සාකච්ඡාවක් පැවැත්වීමට පවා එරට මාධ්‍ය පියවර ගත්තේය. ව්‍යාකරණ නිරවද්‍යතාව අතින් ගත්ක ලද ‘people kind‘ යන යෙදුම නිවැරදි නොවූවකි. වියතුන් පෙන්වා දෙන ආකාරයට ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම නියෝජනය කිරීමට අවශ්‍ය නම් වඩාත්ම සුදුසු යෙදුම වන්නේ ‘personkind’ යන්නය. නැතහොත් ‘humankind’ හෝ ‘humanity’ යන්නය. අනෙක් අතට ටෲඩෝ ප්‍රතික්ෂේප කළ mankind යන යෙදුම සම්භවය වී ඇත්තේ ‘සියලුම මනුෂ්‍යන්‘ යන අර්ථය ඇති පැරණි ඉංග්‍රීසි වචනයක් වන ‘Mann‘ ඇසුරෙනි. මේ නිසා සමස්තයක් ලෙස මනුෂ්‍ය වර්ගයා යන්න සංකේතවත් කිරීමට ‘mankind‘ යන්න උචිත යෙදුමකි.

අනවශ්‍ය නිවැරදි කිරීම් කිරීමට ගොස් උපහාසයටත්, විවේචනයටත්, ලක්ව සිටින ටෲඩෝගේ මෙම කියමන කල එළියට ආවේද එතරම් හොඳ කාලයකදී නොවේ. ලිංගික සමානාත්මතාවේ එම අසරණ පාරිභාෂික වදන කරළියට පැමිණි දිනයේදීම ටෲඩෝගේ රජය සම්බන්ධ තවත් ආන්දෝලනාත්මක පුවතක් හෙළි විය. ඒ පිලිපින රජයට ප්‍රහාරක හෙලිකොප්ටර දහයක් අලෙවි කිරීමේ ඇමරිකන් ‍ඩොලර් මිලියන දෙසියතිස් තුනක ගිවිසුමකට කැනේඩියානු රජය අත්සන් තැබීමේ පුවතකි. එය පිලිපීන ඒකාධිපති ‘රොඩ්රිගෝ ඩුටර්ටේ‘ විසින් ගෙනයමින් සිටින සිය විරුද්ධවාදී සිවිල් වැසියන් ඝාතනය කිරීමේ මෙහෙයුම නොහොත් එරට හමුදා ප්‍රධානියා හඳුන්වන ආකාරයට ‘අභ්‍යන්තර ආරක්ෂක මෙහෙයුම්‘ වඩාත් සාර්ථක කර ගැනීමට රුකුලකි. එහි ඇති උත්ප්‍රාසය වන්නේ ඊට මාස කිහිපයකට පෙර ආසියානු රටවල සිදුවන මානව අයිතීන් උල්ලංඝණය වීම් ගැන වේදනාවෙන් කතා කර ඇත්තේද කැනේඩියානු අගමැතිවරයා වීමය. නමුත් මෙම ප්‍රහාරක යානා සංසිද්ධිය ටෲඩෝ මීට කලකට ඉහතදී සෞදි අරාබිය සමඟද මෙබඳුම ගනුදෙනුවක් සිදුකිරීමට ගත් උත්සාහය මතක ඇත්තන්ට පුදුමයක්ද නොවනු ඇත. යම් හෙයකින් එම ගණුදෙණුව සාර්ථක වූයේ නම් කැනේඩියානු ප්‍රහාරක යානා ආධාරයෙන් සෞදි අරාබිය යේමනයේ යුද ප්‍රකාශ කිරීමට පමණක් නොව සිවිල් වැසියන්ද අමු අමුවේ මර්දනය කිරීමටද පෙළඹීමට ඉඩ තිබිණි.

ස්විට්සර්ලන්තයේ පැවති ‘ලෝක ආර්ථික සමුලුවේදී‘ හේ ලිංගික අපයෝජනයේ ගොදුරු බවට පත්වූවන් විසින් කරළියට ගෙනෙනු ලැබු ‘Metoo’ යෙදුම හඬ නඟමින් වීරයකු වූ අවස්ථාව එවැන්නකි. අගමැති වූ අලුත සිය කැබිනෙට්ටුවට කාන්තා නියෝජනය හරි අඩක් ලබාදෙමින් සිය ස්ත්‍රීවාදී භූමිකාව ඔහු කදිමට රඟපෑවේය. එපමණක්ද නොවේ. කැනඩාවේ සමලිංගිකයන්ට සිදුවූ අසාධාරණයේදී ඩොලර් මිලියන අසුපහක් වන්දි ලෙස ලබාදෙමින් ඔහු ලිංගික සමානාත්මතාව උදෙසා සටන් වදින්නන්ගේ ප්‍රියතමයෙකු බවට ද පත්විය. ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවට වැද්ද නොගන්නා බවට දිවුරු සංක්‍රමණිකයන් කැනඩාවට පිළිගත් ටෲඩෝ ඇමරිකානු ලිබරල්වාදීන්ගේ වීරයකු බවට පත්විය. නමුත් ටෲඩෝගේ ජයග්‍රහණ පැමිණෙන්නේ අනතුරු ඇඟවීම් සමඟද බව අමතක නොකළ යුත්තකි. නිදසුනක් ලෙස කැනඩාවේ ස්ත්‍රී පුරුෂ වේතනවල ඇති වෙනස අහෝසි කරන බවට නොයෙක්වර ප්‍රතිඥා දුන්නද මේ වන තෙක් ඒවා ඉටුව නැත. චීනයේ මර්දනකාරී පිළිවෙත ගැන දැඩි ස්ථාවරයක සිටියද, වෙළඳ සබඳතා පිළිබඳ චීනය සමඟ සාකච්ඡා පැවැත්වීමට එය ඔහුට බාධාවක් වී නැත. ගෝලීය කාලගුණ විපර්යාසයද ටෲඩෝ ගැන කතා කිරීමේදී අමතක කළ නොහැක්කේ ඒ සම්බන්ධයෙන් ඔහු ක්‍රියාත්මක කරන දෙබිඩි පිළිවෙත නිසාය. ගෝලීය උණුසුම ඉහළ යාමට එරෙහිව වැට බැඳීමට ටෲඩෝට අවශ්‍ය වුවද, ඔහු ඛනිජ තෙල් සම්පත කෙරෙහි වන ලොල්බව අතහැරීමට සමත්ව නැත. පසුගිය වසරේ ටෙක්සාස් නුවර ධනකුවේරයන් පිරිසක් අමතමින් ඔහු කියා තිබුණේ “තෙල් බැරල් මිලියන එකසිය හැත්තෑතුනක් පොළව යට තියාගෙන කිසිම රටක් නිකන් ඉන්නේ නැති“ බවය. නමුත් ඛනිජ තෙල් දැවීමෙන් විමෝචනය වන කාබන් ඩයොක්සයිඩ් වායුවට එරෙහිව බදු පනවා ඇත්තේද ටෲඩෝම ය. ඒ සියල්ල මැද ටෲඩෝගේ ගිනි අවි හා ප්‍රහාරක යානා ගිවිසුමද අමතක කළ නොහැක.

පුරුෂ කේන්ද්‍රීය යෙදුමක් භාවිතා කළ කාන්තාවක නිවැරදි කිරීමට උත්සාහ කළ ටෲඩෝට තමා සම්බන්ධයෙන් නිවැරැදි කරගත යුතු අඩුලුහුඩුකම් බොහෝමයක් ඇති බව ඒ අනුව පැහැදිලිය. ටෲඩෝද පමාවී හෝ එසේ සිතුවා විය හැක. ‘මෑන්කයින්ඩ්‘ වීඩියෝව අනතර්ජාලයේ වෛරසයක් ( වයිරල් වීම ලෙසද හැඳින්වෙන්නේ මෙයමය) ලෙස පැතිරෙද්දී ටෲඩෝ හනිකට සිය ආත්ම ගෞරවය රැක ගැනීමේ දුර්වල උත්සාහයක යෙදුණේය. ඒ එම නිවැරදි කිරීම හුදෙක් විහිළුවක් වුවත්, එය මෝඩ තාලයේ විහිළුවක් බවත්, එවැනි විහිළු කිරීමෙන් මින් ඉදිරියට වැළකීමට මෙය තමාට හොඳ පාඩමක් බවත් කියමිනි. දක්ෂිණාංශිකයන් ටෲඩෝට පහර ගැසීමට මෙම සිදුවීම අවියක් කර ගනිද්දී ඇතැම් මධ්‍යස්ථ මතධාරින් පෙන්වා දුන්නේ මෙය එම අවස්ථාවේ පැවති ආතතිය මඟ හැරීමට ටෲඩෝ ගත් උත්සාහයක් බවයි. විනාඩි තුනක් පුරා ඉදිරිපත් කළ විස්තරාත්මක ප්‍රශ්නය නිසාවෙන් වෙහෙසට පත්ව සිටි ප්‍රේක්ෂකාගාරයෙන් එම කාන්තාවද උපහාසයට ලක්ව සිටීම එම ආතතියට හේතුවිය. ඇයද ටෲඩෝගේ ප්‍රකාශය සිනහවකින් භාරගෙන තිබුණේ විහිළුවක් ලෙස සලකාය. නමුත් බහුතරයකට එය විහිළුවක් වූයේ නැත.

රුක්ලන්ති පෙරේරා 

නව අදහස දක්වන්න