හෙදියකගේ කතාව...! | දිනමිණ

හෙදියකගේ කතාව...!

කොළඹ පෞද්ගලික රෝහලක සේවයේ නියුතු හෙදියක සමූහ දූෂණයකට ලක්වීම පිළිබඳ සිද්ධිය බොහෝ දෙනකුගේ අවධානයට යොමු වී ඇත. සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන’තර හමුදා සේවයේ නියුතු වෛද්‍යවරයෙක් ද සිටී. දූෂණ ක්‍රියාවලියට සම්බන්ධ හමුදා නිලධාරීන්ගේ වැඩ තහනම් කර ඇත. පරීක්ෂණ දිගට ම පැවැත්වෙයි. මීට සති කිහිපයකට පෙර මෙබඳු ම සමූහ දූෂණ නඩුවක තීන්දුව දැකගන්නට ලැබිණි. වරදකරුවන්ට උපරිම දඬුවම් ලබා දී තිබිණි. ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් වරදකරුවන් වන අයට සමාජයෙන් කිසිදු සමාවක් ලැබෙන්නේ නැත. හෙදියට අදාළ නඩු විභාගය ගැන ද මහජනයා විමසිල්ලෙන් සිටිනු ඇත.

මේ හෙදියට අතවර සිදුකර ඇත්තේ මත්පැන් හා මත්ද්‍රව්‍ය පානය කිරීමට ඉඩ සලස්වා සිහිය විකල්කොට බව කියැවේ. ඒ හැරෙන්නට ඇය දූෂණය කිරීමට පෙර මරණීය තර්ජන එල්ලකර ඇති බව ද කියති. පසුව වරින්වර සමූහ දූෂණයට ලක් වී ඇත. වෛද්‍ය වාර්තාවල සඳහන් වන්නේ ද ඇය කිහිපවරක් දූෂණයට ලක් වී ඇති බවය. සමූහ දූෂණවලින් පෙනී යන්නේ අපරාධකාරයන් ස්ත්‍රීන්ගේ ජීවිත සෙල්ලමකට ගෙන ඇත බව ය. කාන්තා විමුක්තිය හා සමානාත්මතාව ගැන කතා කරමින්; මැතිවරණ ක්‍රම පවා වෙනස් කරන ශ්‍රී ලංකාව වැනි රටක මෙබඳු සමූහ දූෂණතිබිය හැකි ද? එය ලෝකය පුදුමයට පත්කරන සාධකයක් විය හැකිය.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, නේපාලය වැනි රටවල දිනපතා සිදුවන ස්ත්‍රී - දූෂණ සියල්ල හෙළිදරව් වන්නේ නැත. පාරම්පරික සමාජය ස්ත්‍රී - දූෂණ ගැන කතා කිරීමට ද ඒ සම්බන්ධයෙන් නීතියේ පිළිසරණ පැතීමට ද බියක් දක්වයි. ඇතැම් විට ඥාතීන් අතින් තරුණියන් දූෂණයට ලක්වේ. පියා සිය දියණිය දූෂණය කරන අවස්ථා ද තිබේ. මෙයින් වඩාත් සිත් කම්පා කරවන සිද්ධිය වන්නේ කුඩා දරුවන් අතවරයට ලක්වීමය. සේයා දැරියගේ ඝාතනය මේ සඳහා දිය හැකි හොඳ ම නිදසුන වේ. මීට දින කිහිපයකට පෙර කුඩා දැරියක දූෂණයට ලක්ව තිබුණේ පියාගේ මිතුරකු වෙතින් ය. කිසිවකු කෙරෙහි විශ්වාසය තැබිය නොහැකි බව මෙබඳු සිදුවීම්වලින් පෙනී යයි.

දරුවන් අපයෝජනයට ලක්වීම පිළිබඳ සාධකය ගන්නා විට නොසැලකිල්ල ඊට බලපාන ප්‍රධාන හේතුවකි. පියාගේ මිතුරා අතින් දූෂණයට ලක් වූ දැරිය පිළිබඳ සිද්ධිය විභාග කරන විට හෙළිදරව් වී ඇත්තේ දැරියගේ පියා සිය මිතුරා ද කැටුව’විත් සිය නිවසේ ම මත්පැන් සාදයක් පවත්වා ඇති බව ය. දැරියන් බියගන්වා දූෂණය සිදුකරන අවස්ථා තිබේ. දැරියන් රවටා තෑගි - බෝග ලබා දී අපහරණයට ලක්කරන අවස්ථා ද තිබේ. පාසල් දරුවන් ප්‍රවාහනය කරන රථවාහනවල රියැදුරන් අතින් මෙන් ම රිය සහායකයන් අතින් ද දරුවන් අපහරණයට ලක්වූ අවස්ථාවන් විශාල ප්‍රමාණයක් වාර්තා වී ඇත. ඇතැම් සිද්ධි සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වී නැත.

නීතිය ඉබේ ක්‍රියාත්මක වන්නේ නැත. ඒ සඳහා එක අතෙකින් වින්දිතයන් ක්‍රියාකළ යුතුය. තව අතෙකින් සමාජය ක්‍රියාත්මක විය යුතුය. තවත් අතෙකින් ආයතන ක්‍රියාත්මක විය යුතුය. විශේෂයෙන් නීතිය ගැන නො දැනීම මීට බලපාන ප්‍රධාන සාධකයකි. ලැජ්ජාව නිසා හෝ නීතියට ඇති බිය නිසා හෝ මෙබඳු සිදුවීම් පොලිසියට වාර්තා නො කර සිටීම ද පැමිණිලි නොකර සිටීම ද බලවත් වරදකි. මෑතක සිට සමාජය ස්ත්‍රී - දූෂණ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකර ඇති බවක් ද පෙනෙන්නට තිබේ. එය හොඳ ප්‍රවණතාවකි. ඉන්දියාව මේ සම්බන්ධයෙන් අපට වඩා ඉදිරියෙන් සිටී. එහි කාන්තා සංවිධාන ස්ත්‍රී - දූෂකයන් හඹා ගොස් ඔවුනට එරෙහිව ක්‍රියා කරති.

යාපනයේ විද්‍යා ඝාතන සිද්ධිය හා තවත් සිදුවීම් ගණනාවකින් පෙනී යන්නේ ශ්‍රී ලංකාව ද ස්ත්‍රී - දූෂණ සම්බන්ධයෙන් කුප්‍රකට රාජ්‍යයක් බව ය. ඉහත සිද්ධිය අන්තර්ජාතික වශයෙන් ද විමර්ශනයට ලක් වී ඇත. මෑතකාලීන ඉතිහාසයේ අපේ හද කම්පාකරවන පළමු ස්ත්‍රී දූෂණ සිද්ධිය වන්නේ කතරගම රූමතියගේ ඝාතනය යි. එයින් මුළු රටම කම්පාවට ලක්වූ අතර අපරාධකාරයන්ට ස්වාභාවධර්මයෙන් පවා දඬුවම් ලැබුණු බව අසන්නට ලැබිණි. එහෙත් මේ සිද්ධිය නිසා ස්ත්‍රී - දූෂණවල අඩුවක් සිදුවූයේ නැත. සිද්ධියෙන් වසර ගණනාවකට පසු ඊටත් වඩා බරපතළ ස්ත්‍රී - දූෂණ සිදුවෙයි. හෙදියගේ සිද්ධිය ඊට හොඳ ම නිදසුන වේ.

හෙදිය කාමාතුරයන්ට ගොදුරු වූ ආකාරය සොයා බැලීමත් වැදගත් ය. ඇතැම් සාධකවලින් පෙනී යන්නේ ඇය කාමාතුර පුද්ගලයන්ට මුළා වී ඇති බව ය. තවත් සාධකවලින් පෙනී යන්නේ ඇය විහින් අමාරුවේ වැටී ඇති බව ය. මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතය ඊට සාක්ෂි සපයනු ඇත. හෙදිය ඒවා සිය කැමැත්තෙන් ම පානය කරන්නට ඇතැ’යි සිතන්නට පුළුවන. මේ හැරත් කාන්තාවන් තම ආරක්ෂාව ගැන පළමුව කල්පනා කළ යුතු ය. කාන්තාවන් කාමාතුර පුද්ගලයන් සඳහා අවස්ථා නිර්මාණය කර දීමෙන් වැළකිය යුතුය. බොහෝ කාම අපරාධ පිළිබඳ සියුම් නිරීක්ෂණයක යෙදෙන විට පෙනී යන්නේ ස්ත්‍රී පාර්ශ්වයෙන් ද ඊට යම් පසුබිමක් නිර්මාණය වී ඇති බව ය. ඉන් වැළකීමට ස්ත්‍රී - සමාජය දැනුම්වත් විය යුතුය.

මැදගම ප්‍රදේශයෙන් වාර්තා වී ඇති තවත් සිද්ධියකට අනුව විවාහකයකු අවුරුදු පහළොවක තරුණියක දූෂ්‍ය කර තිබේ. සැකකරු මහ රාත්‍රියේ නිවසේ කවුළුවකින් ඇතුළට රිංගා කෘමිනාශක බෝතලයක් ද තරුණියට පෙන්වා බියගන්වමින් ඇය දූෂ්‍ය කර ඇත. සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වන විට පෙනී ගොස් ඇත්තේ තරුණිය හා විවාහකයා අතර ප්‍රේම සම්බන්ධයක් ද තිබුණු බවකි. මේ තරුණිය හා විවාහක පුරුෂයා දීර්ඝ කාලයක් හොර රහසේ ආශ්‍රය කර ඇත. මෙබඳු සිදුවීම්වලින් පෙනී යන්නේ ස්ත්‍රී - සමාජයේ දැනුම්වත්භාවය අඩු බව ය. ඔවුන් බොහෝ විට කාමාතුරයන්ගේ ගොදුරු බවට පත්වන බව ය. අපේ ස්වේච්ඡා සංවිධාන හා කාන්තා සංවිධාන මේවා ගැන අධ්‍යයනයක යෙදීම වැදගත් යැයි අපට සිතේ.

කුමක් වුව ස්ත්‍රී - දූෂණ හා ළමා අපචාර පිළිබඳ අපේ රටේ තත්ත්වය ඒ තරම් හොඳ නැත. ඇතැම් සිද්ධිවලින් පැහැදිලි වන්නේ අප තවම ශීලාචාර සමාජයකට ප්‍රවේශ වී නැති බව ය. මේවා වැළැක්වීම සඳහා නීතිය පමණක් ප්‍රමාණවත් නො‍වේ. වැදගත් ම කාරණය වන්නේ ස්ත්‍රී - දූෂණ හා ළමා අපචාරවලට එරෙහිව සමාජ ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම ය. 

 


නව අදහස දක්වන්න

Or log in with...