කාන්තා නියෝජනය? | දිනමිණ

කාන්තා නියෝජනය?

කිසියම් රටක් කාන්තාවට සම තත්ත්වය ලබා දී ඇය රාජ්‍ය පාලනයට සම්බන්ධ කරගන්නේ නම්; එය සමාජ සංවර්ධනයේ ඉහළ අවස්ථාවක් හැටියට සැලැකිය හැකි ය. ලෝකයේ දියුණු රාජ්‍ය බොහොමයක් රාජ්‍ය පාලනයෙහි ලා කාන්තා දායකත්වය නොඅඩුව ලබා ගනී. භාරතීය දාර්ශනිකයකුට අනුව ස්ත්‍රිය යනු වාසනාවේ දෙවඟන ය. නැතහොත් නිවසේ දේවිය කාන්තාව වන්නී ය. ‘වණ්ණදාසී’ යනු නගරයට වාසනාව ගෙන එන තැනැත්තී යන්න ය. වණ්ණදාසී යන නම අපට හුරුපුරුදු ය. අපේ අතීත සමාජය කාන්තාවට සුදුසු තැන ලබා දුන් බව පැහැදිලි ය. අතීත කාන්තාව ශ්‍රී ලංකාවේ දී සැලැකිය යුතු ගෞරවයක් ලැබී ය.

අතීත ඉන්දියාව කාන්තාව නොසලකා හැර ඇය උදෙසා විවිධ තහංචි පනවා තිබුණ ද ශ්‍රී ලංකාවේ එබඳු තත්ත්වයක් පැවැති බවට සාධක නැත. අතීත ඉන්දියානු සමාජය ගැහැනු දරුවකුගේ උප්පත්තිය අවාසනාවක් ලෙස සැලකුව ද ශ්‍රී ලංකාවේ එවන්නක් පැවැතියේ නැත. ප්‍රභූ පවුල්වල කුමාරිකාවන්ට රටේ ඉහළම පිළිගැනීමක් හා ගෞරවයක් තිබිණි. එදා කාන්තාව ද විවිධ වෘත්තීන්වල නිරත වූ අතර ඇතැම් විට රටේ පාලකයා බවට ද, ආරක්ෂකයා බවට ද පත් විය.

අනුලා, සුගලා, ලීලාවතී, කල්‍යාණවතී, සීවලී යන රැජිනියන් දෙස බලනවිට පෙනීයන්නේ ඔවුන් රජවරුන් සේම සාර්ථක පාලනයක් ගෙන ගිය බව ය.

නූතන ශ්‍රී ලංකාවේ සමාජ - ආර්ථික තත්ත්වයන් දෙස ආපසු හැරී බැලුවහොත්; ඉන් සැලැකිය යුතු පංගුකාරිත්වයක් කාන්තාවට හිමි වේ. රටේ ජාතික ආදායමෙන් සැලැකිය යුතු කොටසක් ඉපැයීම, විදේශ විනිමය උත්පාදනයෙන් පුරුෂ පාර්ශ්වය අභිභවා සිටීම, පවුලේ අභිවෘද්ධිය සඳහා කැපවීම අතින් පුරුෂ පාර්ශ්වය පරයා සිටීම නූතන ශ්‍රී ලාංකේය කාන්තාවගේ විශේෂයක් ලෙස සැලැකිය හැකි ය. මේ හැරෙන්නට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද, සෞඛ්‍ය ආදී ක්ෂේත්‍රවල ද කාන්තා නියෝජනය ඉහළ මට්ටමක පවතී. පරිපාලන, කළමනාකරණ ක්ෂේත්‍රවල ද කාන්තාවගේ දායකත්වය කැපී පෙනෙයි. කාන්තා නියෝජනය අඩුම ක්සේත්‍රය වන්නේ දේශපාලනය යි.

කාන්තාවගේ දේශපාලන නියෝජකත්වය ගතහොත් අප සිටිනුයේ බොහෝ රටවලට පසුපසින් ය. මෙය බො‍හෝ දෙනාගේ විවේචනයට ලක් වූයේ දීර්ඝ කාලයක සිට ය. එහෙත් එය නිවැරැදි කිරීමට ගත් උත්සාහයක් නැති තරම් ය. මෙවර පළාත්පාලන මැතිවරණයේ දී කාන්තා නියෝජකත්වය 25% අනුපාතයේ තැබීම නීතියක් විය. එම නීතිය සම්පාදනය වූයේ දේශපාලකයන්ගේ මෙන් ම විද්වතුන්ගේ ද යෝජනා මත ය. එහෙත් දැන් එය දේශපාලන හා සමාජ ගැටලුවක් බවට පත්ව තිබේ. මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ මතය වන්නේ 25% ක කාන්තා නියෝජකත්වය ප්‍රශ්නකාරී බව ය. ඉහළ ඡන්ද ප්‍රමාණයකින් කොළඹ නගරාධිපතිනිය බවට පත් ව ඇති රෝසි සේනානායක මහත්මිය ගේ මතය වන්නේ 25%ක නියෝජකත්වය අත්‍යවශ්‍ය බව ය.

කොළඹ මහ නගර සභාවට පමණක් මහජන නියෝජිතවරියෝ විශාල ප්‍රමාණයක් පත්වී සිටිති. මේ අය කෙරෙහි මහජනයා තබා ඇති විශ්වාසය බලවත් බව ද කිව යුතු ය. ඕනෑම සමාජයක කාන්තාවට විශේෂ වූ ගැටලු තිබේ. ශ්‍රී ලංකාව වැනි රටක හේතු දෙකක් නිසා එම ගැටලු සුවිශේෂ තත්ත්වයක පවතී. පළමු හේතුව වන්නේ ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 52%කට ආසන්න පිරිසක් කාන්තාවෝ වීම ය. දෙවන හේතුව වන්නේ කුටුම්භ සංරක්ෂණයේ දී පුරුෂයා අභිභවා ස්ත්‍රිය පෙරමුණ ගැනීම ය. මේ අනුව බලන විට දේශපාලනයේ ස්ත්‍රී නියෝජකත්වය 25% ඉක්මවා සිටිය යුතු ය. එහෙත් අද වන විට 25% ද ගැටලුවක් වී තිබීම කනගාටුවට කාරණයකි.

දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාව සඳහා මහජන නියෝජිතවරියක ලෙස තේරීපත් වී සිටින ආදිවාසී කාන්තාව ගැන ජනමාධ්‍ය මේ දිනවල විශේෂයෙන් කතා කරයි. ඇය නමින් ශිරෝමාලා ය. බින්තැන්නේ ආදිවාසී පරපුරකින් පැවත එන ඇය ප්‍රගතිශීලී අදහස් දරයි. ඇය වන විනාශයට විරුද්ධ ය. එහෙත් ආදිවාසීන්ගේ ගැටලු නිරාකරණය සඳහා ශිරෝමාලා පෙරමුණ ගෙන සිටින්නී ය. මීට පෙර දේශපාලකයන් පැමිණ ආදිවාසීන්ගේ ඡන්දය ලබාගත්තේ වුව කිසිවකු ඔවුන්ගේ සැබෑ ගැටලු හඳුනාගෙන නැති බව ඇය කියයි. ශිරෝමාලාගේ ජයග්‍රහණය පසුපස ආදිවාසීන් සිටින බව රහසක් නො වේ. මේ පිරිසට යුක්තිය ඉටු කිරීම සඳහා ශිරෝමාලා වැනි අයට තව - තවත් බලය ලබා දිය යුතු ය.

උපාධි හා පශ්චාද් උපාධි ලැබූ කාන්තාවෝ සැලැකිය යුතු පිරිසක් ද ඡන්දය ජයග්‍රහණය කර සිටිති. විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ කිහිප දෙනෙක් ද මහජන නියෝජිතවරියන් ලෙස තේරී පත්වී සිටිති. මේ අය අතර තරුණියෝ විශාල පිරිසක් ද සිටිති. මේ අය සාර්ථක මහජන සේවයක නිරත වන්නේ යැයි සිතන්නට පුළුවන.

ඔවුන්ගේ අදහස අලුත් ය. දැනුම මුවහත් ය. ‍එලෙස ම ඔවුන්ගේ කැපවීම ද අප්‍රමාණ යැයි සිතන්නට පුළුවන. එය නැවුම් බලවේගයක් ලෙස සැලැකීමෙහි කිසිදු වරදක් නැත. මේ බලවේගය ආපසු හැරවීම රට ආපසු හැරවීමක් ලෙස ද සැලැකිය හැකි ය. විද්වතුන්ගේ මතය වන්නේ හැම විටම තරුණ පරම්පරාවට ඉඩදිය යුතුය යන්න ය. 25% ක දේශපාලන නියෝජකත්වය කාන්තාවට ලබා දිය නොහැකි නම්; එය දේශපාලන ප්‍රශ්නයක් පමණක් නොව; තරුණ ප්‍රශ්නයක් බවට ද පත්වනු ඇත. හේතුව පළාත් පාලන මැතිවරණයෙන් ජයගත් කාන්තා පාර්ශ්වයෙන් වැඩි හරිය තරුණ පරපුර නියෝජනය කරන බැවින් ය.

මැතිවරණ කොමිසම ඉදිරිපත් කරන එක් තර්කයක් වන්නේ කාන්තා නියෝජකත්වය 25% විය යුතු බවට ගෙනා පනත නැවත සංශෝධනය කළ යුතු බව ය. මේ පනත ප්‍රායෝගික නො වන්නේ නම්; සම්මත කොට භාවිතයට ගත්තේ මන් ද යන ගැටලුව මෙහි දී පැන නඟී. කුමක් වුව දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩි කරන දෙයක් මිස කපා හරින දෙයක් නොසිදුවිය යුතු යන්න අපගේ මතය වේ. 

 


නව අදහස දක්වන්න