පත්තරේ දැන්වීම් දමා කතුන් ගෙන්වා ගෙන කනකරට විදලා | දිනමිණ

පත්තරේ දැන්වීම් දමා කතුන් ගෙන්වා ගෙන කනකරට විදලා

කාන්තාවන් සඳහා රැකියා තිබෙන බවට පුවත්පතක පළකොට තිබූ දැන්වීමකට අනුව වාලච්චේන සිට පැමිණි කාන්තාවන් තිදෙනෙකු නුවරඑළියට කැඳවාගෙන යන අතරතුර බිය ගන්වා ඔවුන් පැලඳ සිටියා යැයි කියන පවුම් 18 ක පමණ රන්බඩු කොල්ල කෑමක් ගැන කොත්මලේ පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත. ඉකුත් 14 දින අලුයම 2ට පමණ මෙය සිදුවූ බවට වාලච්චේන රාම ක්‍රිෂ්ණන් පාරේ පදිංචි ශිවබාලන් ශිවදර්ශනී නැමැති කන්තාවක් එසේ පැමිණිලි ‍ෙකාට තිබේ.

පැමිණිල්ලට අනුව මේ කාන්තාවන් තිදෙනා පුවත් පත් දැන්වීමේ තිබූ දුරකතන අංකයකට කතාකොට රැකියා ලබා දෙනවා යැයි කියා තිබූ පුද්ගලයා දැන හඳුනාගෙන තිබේ. ඒ අනුව එම තිදෙනා 14 දින මහනුවරට පැමිණි පසු මංකොල්ල කෑම සිදු කළ යැයි කියන පුද්ගලයා ඔවුන් කැඳවාගෙන ඒමට මහනුවර නගරයට ගොස් තිබේ.

අනතුරුව ඔහු රැකියා තිබෙන ස්ථානය කරා මේ තිදෙනා කැඳවාගෙන යාම සඳහා ඒ රාත්‍රියේම නුවරඑළිය බලා යන බස් රථයකට නංවාගෙන ගොස් ති‍බේ. පැය කීපයක ගමනකින් පසු තම නිවසට කැඳවාගෙන යාමට බව පවසා පලාගොල්ල ප්‍ර‍ෙද්ශයේදී බසයෙන් බස්සවාගෙන අතුරු පාරක් දිගේ ටික දුරක් ඇතුළට ගිය පසු බිය ගන්වා මේ රන්බඩු කොල්ල කෑම කර ඇතැයි කියති.

මෙයට කලකට පෙරද නුවරඑළියේදී මෙවැනිම ආකාරයේ මංකොල්ල කෑම් සිදුව තිබූ අතර ඒ සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබුණි.

එම සැකකරු හා මේ සිදුවීම අතර සම්බන්ධයක් ඇතිදැයි ‍ෙපාලිසිය සැක කරන අතර නුවරඑළිය පොලිස් අධිකාරී මහින්ද දිසානායක මහතාගේ උපදෙස් මත කොත්මලේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

නුවරඑළිය සමූහ සී.මහගම

 


නව අදහස දක්වන්න