ජය පරාජය බුක්ති විඳීමට බැරි නම් ඉන් කිය වෙන්නේ නොහැකියාවයි | දිනමිණ

ජය පරාජය බුක්ති විඳීමට බැරි නම් ඉන් කිය වෙන්නේ නොහැකියාවයි

ඇමැති සජිත් ප්‍රේමදාස

මැතිවරණයේ දී ලබාගත් ජය පරාජය ඉවසීමට මෙන්ම අත්කර ගත් ජයග්‍රහණය සාමකාමීව බුක්ති විඳීමට ඇති නොහැකියාව තුළින් සනාථ වන්නේ පුද්ගලයන් තුළ පවතින නොහැදියාව බව නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.

පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ සඳහන් කරයි.

පළාත්පාලන මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු ඉකුත් දින කීපය තුළ හම්බන්තොට දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් රටේ විවිධ ස්ථානවලින් වාර්තා වුණු භීෂණ රැල්ල බරපතළ තත්ත්වයකි. වසර 2015 ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ දූෂිත දේශපාලන බලවේග මෙසේ ජනතාවට හිංසාකාරී හා පීඩාකාරී වන ලෙස හැසිරෙමින් ර‍ජයේ පොදු දේපොළ හා ජනතාව සතු පෞද්ගලික දේපොළ විනාශ කරමින් ගෙන යන භීෂණ රැල්ල ඉතා භයානක පෙර නිමිත්තකි.

කුමන හෝ මැතිවරණයකදී ජනතාව විසින් ලබා දෙන තීරණය මත පදනම්ව ඒ ඒ දේශපාලන පක්ෂ හෝ කණ්ඩායම්වල ජය පරාජය නිර්ණය වීම ස්වාභාවික යුක්ති ධර්මයයි.

මැතිවරණයේදී තමන්ට අභිමත දේශපාලන පක්ෂයකට හෝ කණ්ඩායමකට සහාය පළ කිරීම මෙන්ම එවැන්නක සංවිධාන කටයුතුවලට අත හිත දීම මානව හිමිකමකි. ඒ නිදහස අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම සහතික කොට තිබේ. එසේ හෙයින් තමන් සහාය පළකළ දේශපාලන පක්ෂය හෝ කණ්ඩායම පරාජය වීම ප්‍රතිවාදීන්ගෙන් දඬුවම් ලැබිය හැකි වරදක් නොවේ.

ඉකුත් වසර 3ක කාලයේදී අප විසින් හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ පමණක් ඉටුකළ සංවර්ධන කාර්යයන් හා ප්‍රජා සේවාවන් ප්‍රමාණය අති විශාලය. ජනතාවට ඉඩම් හා නිවාස අයිතිය හිමිකර දීම,අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ යටිතල පහසුකම් නැංවීම, ග්‍රාමීය ජනතාවට පිරිසිදු පානීය ජල සම්පාදනය, සෞඛ්‍ය අංශයේ පහසුකම් පුළුල් කිරීම, මහා මාර්ග හා ග්‍රාමීය මාර්ග සංවර්ධනය, ග්‍රාමීය පාලම් හා වාරිමාර්ග ආදී වශයෙන් ජන ජීවිතය ප්‍රබෝධමත් කිරීම පිණිස සෘජු ලෙස ඉවහල් වූ වැඩසටහන් රාශියකි.

බලය තමන් සතුව පැවති සමයේ මේ කිසිවක් ඉටු නොකළ පිරිසකගේ මනදොල පිනවීමේ පටු අභිලාෂයෙන් මේ පොදු ව්‍යාපෘතීන්වල නාම පුවරුවල අසභ්‍ය වදන් ලිවීම, ඒවා පෙරළා දැමීම, සමරු ඵලක හා වටිනා දේපොළ කුඩු පට්ටම් කිරීම අතිශයින්ම හාස්‍යජනකය. එපමණක් නොව නැති බැරි පංතියෙන් හිස එසවීමට වෙර දරන අහිංසක පුද්ගලයන් සිය ජීවනෝපාය සඳහා මහත් අසීරුවෙන් උපයාගත් ස්වයං රැකියා උපකරණ හා දේපොළ විනාශ කිරීමට තරම් සහසිකත්වයක් ඉස්මතුවීම අතිශය භයානක ප්‍රවණතාවකි. නිදසුනක් ලෙස ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුංචිඅප්පුජදුර ග්‍රාමයේ ස්වයං රැකියාවක නිරතව සිටි මහේෂ් ලක්මාල් නැමති තරුණයෙකු සතුවූ කුඩා ලොරි රථය සහ ඔහුට අයත් ධීවර දැල් ආම්පන්න ගිනි තබා විනාශ කිරීමට ගත් උත්සාහයේදී එම ගින්න ඔහුගේ නිවසටද පැතිරී විශාල විනාශයක් සිදුවී තිබේ. මෙම තරුණයාගේ ජීවනෝපාය මාර්ග බිඳ වැටීමට වන්දි ගෙවන්නේ කවුද?

මේ සියල්ලෙන් තහවුරු වන පෙර මඟ ලකුණු කිසිසේත් යහපත් නොවේ. වරක් ජනතාව ප්‍රතික්ෂේප කළ බලවේග විසින් දියත් කළ භීෂණ සංස්කෘතිය නුදුරු අනාගතයේදී නැවතත් කරළියට පැමිණෙනු ඇති බවට මෙය ඉතා භයානක සංඥාවකි. 

නව අදහස දක්වන්න