අවයව දන් දෙන රෝගීන්ගෙන් කිසිදු ගාස්තුවක් අය කරන්න එපා | දිනමිණ

අවයව දන් දෙන රෝගීන්ගෙන් කිසිදු ගාස්තුවක් අය කරන්න එපා

සුව ඇමැති රාජිත ඉල්ලීමක් කරයි

අවයව දන්දෙන රෝගීන්ගෙන් කිසිදු ගාස්තුවක් අය නොකරන ලෙස සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අැමැති දොස්තර රාජිත සේනාරත්න මහතා පෞද්ගලික රෝහල් සහ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ පාලනාධිකාරියෙන් ඊෙය් (18 )ඉල්ලා සි‍‍ටියේය. එවැනි රෝගීන්ට සහන ලබාදිය යුතු බවත්, ඉදිරියේදී එම තීරණය නියෝගයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට තමා බලාපොරොත්තු වන බවත් සෞඛ්‍ය අැමැතිවරයා සඳහන් කරයි.

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල විසින් සංවිධානය කළ අවයව දන්දීමේ දින පාගමන ඊයේ (18) පෙරවරුවේ එක්වෙමින් සෞඛ්‍ය ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තු සංකීර්ණය අසල සිට ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල් භූමිය දක්වා පාගමන පැවති අතර ඉන් පසු උත්සව සභාවක් ද පැවැත්විණි. ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ප්‍රථම වරට අවයව දන්දුන් සිවු දෙනකුට සෞඛ්‍ය ඇමැතිවරයා මෙහිදී සම්මාන ද පිරිනමන ලදී.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය ඇමැතිවරයා මෙසේද පැවසීය. රජය මේ වන වට අවයව බද්ද කරන වෙලාවකයි සිටින්නේ. ඒ වුණත් ජනතාවගේ අවයව රැකගැනීම ඊට වඩා වැදගත්. 2015 වසරේ දී මම සෞඛ්‍ය ඇමැති ධුරයට පත්වන විට අවයව බද්ධ කිරීම කඩාකප්පල් වී තිබුණා. නමුත් ඉන් පසු අක්මා බද්ධය ආරම්භ කළ අතර, පසුව හෘද බද්ධ කිරීම් පවා සිදු කළා. අනුරාධපුරය, මහනුවර, පේරාදෙනිය, හ්‍රී ජයවර්ධනපුර යන මහරෝහල්වලදී අවයව බද්ධ කිරීම් සිදු කරනවා. මෙහිදී හෘද බද්ධය විශේෂිත වුණා. මමත් මහනුවරට ගොස් වෛද්‍යවරුන් සහ රෝගියා හමු වී අවශ්‍ය පහසුකම් ලබාදුන්නා. නමුත් දෙවන හෘද බද්ධය අසාර්ථක වූයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ අරගලය හේතුවෙන්. මානව දයාවෙන් ශ්‍රී ලාංකිකයකු ලෙස සිතා බද්ධ කිරීම් සිදු කළ යුතුය. ජාති,ආගම්, කුලය බලන්න එපා.

විදේශීය ජාතිකයින්ට ශ්‍රී ලංකාවේ දී සිදුකරන වකුගඩු බද්ධ කිරීම් තාවකාලිකව නතර කර තිබෙනවා. ඒ ඉන්දීය ජාතිකයින් පිරිසක් විසින් පසුගිය කාලයේ සිදුකළ ජාවාරමක් හේතුවෙන්. ජවාරම් වලට මම ඉඩ දෙන්නේ නෑ. නමුත් සිංගප්පූරුවේ සිදුකරන වකුගඩු බද්ධ කිරීම් නීති නීතිරීති සහ රෙගුලාසි අධ්‍යයනය කර එය ශ්‍රී ලංකාවට ගැලපෙන්නේ නම් ඉදිරියේ දී පනවා ඇති තහනම තාවකාලිකව ඉවත් කරනවා. හැබැයි ජා‍වාරම් සිදුකරන්න ඉඩ දෙන්නේ නෑ. බද්ධ කිරීම් අතරින් ආසියාව ඉහළ ස්ථානයක සිටිනවා. ඇතැම් බද්ධකිරීම් පිළිබඳව මාධ්‍යය විවිධ ව්‍යාජ මත පතුරුවනවා. අවයව බද්ධ කිරීම වැනි වෛද්‍ය ක්‍රම පිළිබඳව විශේෂඥ දැනුමක් ඇති වෛද්‍යවරුන්ගෙන් විමසා මාධ්‍යයේ පළ කළ යුතුයි. හිතේ කහට තිබෙන වෛද්‍යවරුන්ගෙන් ඒ පිළිබඳ දැනගෙන කරුණු ඉදිරිපත් කිරීම ගැටලු සහගතයි.

මමත් වෛද්‍ය විද්‍යාව තවදුරටත් හදාරනවා. සෑම වෛද්‍යවරයෙක්ම එහෙමයි. වෛද්‍ය විද්‍යාව දිනෙන් දින වෙනස් වෙනවා. අනෙක් වෘත්තීයවේදීන්ද ඒ අයුරින් අධ්‍යයනයක නිරත වෙනවා.දැනට අවයව බද්ධ කිරීම් සිදුවන්නේ ප්‍රධාන රෝහල් කිහිපයක විතරයි. නමුත් ඉදිරියේදී තවත් රෝහල් කිහිපයක අවයව බද්ධ කිරීම් ආරම්භ කරනවා. ඇතැම් වෛද්‍යවරුන් ද ඊට උනන්දුවක් දක්වනවා. එය කඩාකප්පල් නොකර සහයෝගය ලබා දිය යුතුය. සෑම පුද්ගලයකුටම වෛද්‍ය දැනුම අවශ්‍යයි. මිථ්‍යා මත පතුරවන්න එපා.මම සෞඛ්‍ය ඇමැති ධුරයේ රැඳී සිටින තුරු අවශ්‍ය සහයෝගය ලබා දෙනවා.

මෙම අවස්ථාවට නියෝජ්‍ය සෞඛ්‍ය ඇමැති ෆයිසාල් කාසිම්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුසිත් සේනාරත්න ඇතුළු වෛද්‍යවරු රැසක් එක්ව සිටියහ. 

නව අදහස දක්වන්න