සම්පත් බැංකුවෙන් ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ දැනුම | දිනමිණ

සම්පත් බැංකුවෙන් ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ දැනුම

 

මෙරට ව්‍යාපාර නඟාසිටුවීම සඳහා තමන් දක්වන අඛණ්ඩ කැපවීම තව දුරටත් පිළිබිඹු කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන සම්පත් බැංකුව ‘ඔබේ දියුණුවට අපේ මඟපෙන්වීම’ සම්මන්ත්‍රණ මාලාව සංවිධානය කරයි. සම්පත් බැංකුවේ ආනයන හා අපනයන ඒකකය විසින් සංවිධානය කරනු ලබන මේ සම්මන්ත්‍රණ සඳහා, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මුහුණ දෙන පොදු ගැටලුවලට වඩාත් ඵලදායී ලෙස විසඳුම් ලබාදීමට රාජ්‍ය ආයතන, වෙළෙඳ සංගම් සහ තවත් පාර්ශ්ව නියෝජනය කරමින් සම්පත් දායකයන් රැසක් සහභාගීවීම විශේෂත්වයකි. ව්‍යාපාර මෙහෙයුම් කටයුතුවලට අදාළ දැනුම බෙදාදීමෙන් නොනැවතී සම්පත් බැංකුව සිය සබඳතා උපයෝගී කර ගනිමින් විවිධ පාර්ශ්ව වෙත මේ ව්‍යවසායකයන් සම්බන්ධ කිරීමට ද කටයුතු කරයි.

ඔබේ දියුණුවට අපේ මඟපෙන්වීම’ සම්මන්ත්‍රණ මාලාවේ පළමු අදියර කොළඹ දී පැවැත් වුණු අතර, දෙවැනි අදියර යටතේ සම්පත් බැංකුව ගාල්ලේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් 100කට අධික පිරිසකට ආනයන සහ අපනයන පිළිබඳ දැනුම බෙදාදීමට කටයුතු කළේය. ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ මහ ලේකම් අජිත් ඩී. පෙරේරා, ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තුවේ සහකාර පාලිකා කුමුදුනී විද්‍යාලංකාර, රේගු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කේ. ජී. ජයවර්ධන, රේගු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අචල චන්ද්‍රසේකර, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අර්ථ නිරූපණ සහ නියාමන අංශයේ ජ්‍යෙෂ්ඨ කොමසාරිස් ඩී. ආර්. එස්. හපුආරච්චි, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ දකුණු පළාත් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අනුර වික්‍රමසේකර සහ සම්පත් බැංකුවේ ආයතනික බැංකුකරණ අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අයෝධ්‍යා ඉද්දවෙල පෙරේරා යන මහත්ම මහත්මීහු මේ සම්මන්ත්‍රණයේ දේශකයන් ලෙස සහභාගී වූහ.

‘ඔබේ දියුණුවට අපේ මඟපෙන්වීම’ සම්මන්ත්‍රණ මාලාවේ තෙවැනි අදියර එළඹෙන 23 දා මහනුවර නගරයේ දී පැවැත්වීමට සියලු‍ කටයුතු සූදානම් කර තිබේ. මධ්‍යම පළාතේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට මෙය ඉතාමත් වටිනා අවස්ථාවක් වනු ඇත. මේ අවස්ථාවට සහභාගීවීමට කැමැති කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් පූර්ව ලියාපදිංචිවීම සඳහා 21දාට පෙර 076 5265090 යන දුරකථන අංකයෙන් අමිල විජේකෝන් අමතන්න. 

නව අදහස දක්වන්න