ස්ත්‍රී දූෂණ ගැන සිංදු කියන අපි | දිනමිණ

ස්ත්‍රී දූෂණ ගැන සිංදු කියන අපි

ලෝකයේ බොහෝ රටවල ප්‍රශස්ත ජනමාධ්‍ය භාවිතයක් සඳහා උපයෝගී කර ගන්නා Constructive Journalism විෂය පිළිබඳ ශ්‍රී ලාංකේය මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ සම්මන්ත්‍රණයක් පසුගියදා ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය, තිරසර සංවර්ධනය සඳහා වන ආසියානු ආයතන, E – Journalist සංවිධානය, ශ්‍රී ලංකා පත්‍රකලා සංගමය සහ ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනය එක්ව පැවැත්විණි. එහිදී සාකච්ඡා කෙරුණු කරුණු ඇසුරින් මෙම ලිපිය සැකසිණි.

මෙරට ජනමාධ්‍යවේදීන් හරවත් හා ධනාත්මක සංකල්ප සහිතව මාධ්‍ය හසුරවන්නේ කෙසේ ද යන්න විමසා බැලීම යුගයේ අවශ්‍යතාවක් ලෙස සැලකේ. මෙරට තරුණ ජනමාධ්‍යවේදීන්, අවිවේකීභාවයට ලක්ව සාධනීය මාධ්‍ය භාවිතයෙන් හා නිවැරැදි ප්‍රවෘත්ති වාර්තාකරණයෙන් ක්‍රමයෙන් ඉවත්ව ගොස් තිබේ. මේ තත්ත්වය නිසා දැනුමෙන් සන්නද්ධ වීමට ඇති කාලය ශ්‍රී ලංකාවේ තරුණ ජනමාධ්‍යවේදීන්ට අහිමි වී ඇත. වර්තමානයට වඩා අතීතය හාත්පස වෙනස් ආකාරයෙන් මාධ්‍ය වාර්තා සිදු වී තිබේ.

එය මෙරට ජන සමාජය යහපත් හා සංවර්ධනය ඉලක්ක කරා යාමට වැදගත් වී තිබේ. පසුගිය දශක ගණනාව පුරාම මාධ්‍ය ආයතන ප්‍රධානීන්, ආධුනික මාධ්‍යවේදීන් මනා සංයමයකින් යුක්තව බස හැසිරවීමට හුරු කර තිබේ. එහෙත් වර්තමානයේ ජනමාධ්‍ය ආයතන තුළ හා ජනමාධ්‍යයට සම්බන්ධ ප්‍රධානීන් එවන්නක් සිදු කරන බවක් නොපෙනේ. එහි අහිතකර ප්‍රතිඵලය වන්නේ රටේ මහජනතාවට නිවැරැදි හා සත්‍ය තොරතුරු මෙන්ම හිතකර ආකල්ප ගලා නොයෑමය.

වත්මනට වඩා අතීතයේ ප්‍රවෘත්ති සම්පාදනයේ දී ජනතාවට විශ්වාසනීයත්වයෙන් යුතුව, වඩාත් නිවැරැදි තොරතුරු වාර්තා කර තිබීම නිසා මහජනතාව තුළ යම් උද්යෝගයක් ඇති වූ අතර ධනාත්මක ආකල්ප වර්ධනය වී තිබේ. වර්තමානයේ ජනමාධ්‍ය ආයතන විසින් විසුරුවා හරින ප්‍රවෘත්ති හා කාලීන වැඩසටහන් නිසා මහජනතාව අපේක්ෂාභංගත්වයට පත්ව තිබේ. නමුත් ජනමාධ්‍යවේදීන් තොරතුරු සොයා යෑම මන්දගාමී වීමත්, නිවැරැදි දෑ සොයා නොබැලීමත්, අපක්ෂපාතී නොවීමත් නිසා මහජනතාව තොරතුරු ග්‍රහණය කරගනුයේ උපේක්ෂාවෙනි. සත්‍යයක් වුව ද එය එක්වරම විශ්වාස නොකරන තැනට මහජනතාව පත්ව ඇත.

මේ තත්ත්වය රටේ ආර්ථික, සමාජීය, අධ්‍යාපන යන සියලු ක්ෂේත්‍රවලට බලපෑම් එල්ල කර තිබෙනවා පමණක් නොව ක්‍රමයෙන් සමාජ ක්‍රමය ද පරිහානියට පත් වෙමින් තිබේ. බොහෝ අවස්ථාවල ව්‍යාපාරික පසුබිම් කරගත් පුවත්, වාර්තා පදනම් කරගනිමින් නිර්මාණය කරන ප්‍රවෘත්ති නිසා සමස්ත රට වැසියාම අපහසුතාවයටත්, ව්‍යාකූලභාවයටත් පත්වන පසුබිමක් ඇත. පෞද්ගලික, රාජ්‍ය ජනමාධ්‍ය බොහෝ සෙයින් පක්ෂග්‍රාහී මාධ්‍යකරණයේ යෙදී, සත්‍ය තොරතුරු ජනතාවගෙන් වසන් කිරීම මේ තත්ත්වයට ප්‍රධාන හේතුවකි. ඒ නිසා මේ රටේ ජනමාධ්‍ය භාවිතයේ දී මහජනතාව නඟා සිටුවීමේ අරමුණින් වැඩසටහන්, වාර්තා ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව හා වුවමනාව ආයතන ප්‍රධානීන්ගෙන් ගිලිහි ඇති බවක් පෙනේ.

එහෙත් බටහිර රටවලදී මෙවැනි පක්ෂග්‍රාහී වාර්තා, පුවත්, ලිපි විසුරුවාහැරීම වළක්වා ගැනීමට සාධනීය ජනමාධ්‍ය කලාව (Constructive Journalism)අත්හදා බලමින් සිටී. එකී ක්‍රමයට විදෙස් රටවලට හිමි වන්නේ ගෞරවනීය තැනකි. ඒ තත්ත්වය ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදයට ඇතුළු වී නොමැති අතර එය මෙරට ජනමාධ්‍ය කලාව තුළට කාවැද්දවීමේ අරමුණ ඇතිව, සාධනීය මාධ්‍ය කලාව පිළිබඳ දැනුවත් කිරීම අවශ්‍ය වී තිබේ. ඒ සඳහා සම්මන්ත්‍රණ මාලා පැවැත්වීම ද කාලෝචිතය. එය රටක යහපත් පුරවැසියන් බිහිකර ගැනීම මෙන්ම ධනාත්මක සංකල්ප වර්ධනය කර ගැනුමට ඉවහල් වන කාරණයකි.

නමුත්, වත්මන් ශ්‍රී ලංකාවේ රූපවාහිනී, ගුවන් විදුලි හා පුවත්පත් මාධ්‍ය වාර්තා නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කිරීම ඉතාමත් අයහපත් ආකාරයෙන් සිදුවන්නකි. මෑත ඉතිහාසයේ බොහෝ ප්‍රවෘත්ති නිර්මාණාත්මකව අදාළ සිද්ධිය පරිකල්පනය කිරීම නිසා, එය නරඹන්නා විසින් ග්‍රහණය කර ගැනීමේ දී වැරැදි අවබෝධයක් ඇති කරගන්නා ස්වභාවයක් පෙන්නුම් කර තිබේ. උදාහරණයක් ලෙස ගත් කල, පසුගිය කාලයේ දැරියක් දූෂණයට ලක් වූ සිද්ධියක් ඇතැම් පුවත්පත් නාට්‍යානුසාරයෙන් වාර්තා කර තිබුණි. තවත් පුවත්පතක් ඉහත සඳහන් දැරියගේ ඡායාරූප භාවිත කර තිබිණි.

ඇතැම් සමාජ මාධ්‍ය මෙවැනි සිදුවීම් වාර්තා කිරීම් සම්බන්ධයෙන් දැඩි විවේචනයන් ද එල්ල කර තිබූ නමුත් ඊට ඇහුන්කන් දෙන මාධ්‍ය ප්‍රධානීන් හෝ ආයතන නොමැති බවක් පෙනේ. යම් කිසි බාල අපචාරයක් හෝ ස්ත්‍රී දූෂණයක් සිදු වූ විගස මෙරට මාධ්‍ය එය සිදු වූ ආකාරය උපකල්පනය කර ජනතාව වෙත වාර්තා කරන ක්‍රමවේදය ඉතා පහත් මට්ටමක පවතී. එය මෙරට ජනතාව තුළ ඇති කරන්නේ යහපත් චින්තනයක් නොව, බිඳ වැටුණු, ඇල්මැරුණු, බලාපොරොත්තු අහිමි වූ, භයංකර මානසික ආකල්ප සමූහයකි. මෙරට මාධ්‍ය භාවිතය පිළිබඳ තව දුරටත් ගැඹුරින් සොයා බැලීමේ දී පෙනී යන්නේ ව්‍යාපාරික ප්‍රජාව පමණක් ඉලක්ක කරගත් මාධ්‍ය භාවිතයක් ඇති බවකි. එය රටක පුරවැසියන් ධනාත්මක සංකල්පවලින් පිරිපුන් මිනිසුන් බවට පත් කිරීමට බාධාවක් සේම රටේ සංවර්ධනයක් අපේක්ෂා කළ නොහැකි තත්ත්වයකි.

එසේම පසුගිය කාලය පුරා සිදු වූ ඝාතන සම්බන්ධයෙන් පුවත්පත් වාර්තා පළ වූ ආකාරය ශ්‍රී ලංකාව වැනි රටක මාධ්‍ය භාවිතයට එතරම් යහපත් නොවේ. බොහොමයක් මාධ්‍ය වාර්තා පළ කිරීමේ දී සිද්ධියට මුහුණ පෑ පුද්ගලයාගේ සැබෑ නම යොදා ගන්නා අතර සිද්ධිය වූ අවස්ථාවේ ලබාගත් සමීප ඡායාරූපද භාවිත කරයි.

එහෙත් විදෙස් මාධ්‍ය තුළ එවැනි සිදුවීමක් වාර්තා කරන්නේ අන්වර්ථ නාමයන්ගෙනි. ආසන්නතම රට වන ඉන්දියාවේ වෛද්‍ය ශිෂ්‍යාවක් සමූහ දූෂණයට ලක් වූ අවස්ථාවේ එරට මාධ්‍ය සිද්ධිය වාර්තා කර තිබුණේ වෛද්‍ය ශිෂ්‍යාවගේ සත්‍ය නමින් නොවේ. ඇයගේ ඡායාරූපයක් හෝ ප්‍රදර්ශනය කිරීමෙන් වැළකීමට එම මාධ්‍ය කටයුතු කර තිබුණි. ලංකාවේ මාධ්‍ය තුළින් එවන්නක් දක්නට නොමැති නිසා සාධනීය මාධ්‍ය කලාවත් අත්‍යවශ්‍ය වී තිබේ. අතීතයේ සිටම මෙරට මාධ්‍ය එවැනි අයහපත් භාවිතාවන් සිදු කර තිබෙන බවට ද චෝදනාක් එල්ල වේ. නිදර්ශනයක් ලෙස ගතහොත් ප්‍රේමවතී මනම්පේරි තරුණියගේ ඝාතනය සම්බන්ධයෙන් විරුදු ගායනයක් තිබුණි. එම විරුදු ගායනයට සවන් දීමේ දී මනෝරූපීව ඇය ඝාතනය වූ ආකාරය ආරම්භයේ සිටම රූපණය කළ හැකිය.

එය රටේ ජනතාවගේ මනසේ නිර්මාණය කරන්නේ අයහපත් චිත්‍රයකි. ඇතැමෙක් එකී සිද්ධියට ගිජු වෙයි, තවකෙක් එය පිළිකුල් කරයි. කුමනාකාරයෙන් ප්‍රතිචාර දැක්වුව ද මානසික බිඳ වැටීමක් ඇති වීම ස්වභාවිකය. වර්තමානයේ එකී භීෂණය හා ලිංගිකත්වය නාට්‍යානුසාරයෙන් ජන මනසට කාවද්දන මාධ්‍ය ආයතන බොහෝමයකි. මෙකී නාට්‍යානුසාර ප්‍රවෘත්ති කලාවෙන් බැහැරව ජනතාව බේරා ගැනීම සඳහා අවශ්‍ය සාධනීය මාධ්‍ය කලාව භාවිත කළ යුතුය. යම් ගැටලුවක් ප්‍රවෘත්ති ආධාරයෙන් විකිණීම අරඹයා පුවත් වාර්තා පළ නොකර, අදාළ සිද්ධියට සාධනීය විසඳුමක් පෙන්වා දෙන අයුරින් මාධ්‍ය හැසිරවිය යුතුය. එවැනි අපරාධයක් හෝ දූෂණයක් සිදු වූ විට සිද්ධියට වගකිව යුතු පාර්ශ්ව තුළින් නැවත එවැන්නක් සිදු නොවන්නට අවශ්‍ය මාර්ගය පෙන්වා දෙමින් වඩාත් ධනාත්මක චින්තනයක් සහිත වාර්තා පළ කළ යුතුය.

සාධනීය මාධ්‍ය කලාව අයත් වන්නේ අදට හෝ අතීතයට හෝ නොවේ. එය අයත් වන්නේ හෙටට ය. වඩාත් යහපත් හෙටක් නිර්මාණය කර ගැනීම සඳහා වූ නෝර්ඩික් ක්‍රමය බටහිර රටවල් අධ්‍යයනය කරමින් සිටී. නෝර්ඩික් ක්‍රමය යනු එක්තරා ආර්ථික සහ සමාජ ක්‍රමයකි. මේ ක්‍රමය ඩෙන්මාර්කය, ෆින්ලන්තය, නෝර්වේ, අයර්ලන්තය සහ ස්වීඩනය යන රටවල ක්‍රියාත්මක වේ.

ඒ රටවල ක්‍රියාත්මක වන ධනේෂ්වර නිදහස් වෙළෙඳ පොළ ක්‍රමයක් තුළ ජනතාව ඉතා සතුටුන් ජීවත් වෙමින්, රාජ්‍ය සුබ සාධනය ඉහළ අගයක පවත්වා ගනිමින්, දිළිඳුකම අවම කරගෙන ඇත. බොහෝමයක් ජනයා සතුටින් කාලය ගත කරන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව ලොව වැඩියෙන්ම සතුටින් සිටින ජනතාවක් වෙසෙන රටවල් අතර පෙරමුණ ගන්නේ ද ඩෙන්මාර්කය ඇතුළු නෝර්ඩික් රටවල් ය. එසේම දූෂණය අවම රටවල් අතරටද එකී රටවල් ඇතුළත් ය.

වඩාත් යහපත් හෙටක් නිර්මාණය කර ගැනීම සඳහා වූ ජනමාධ්‍ය කලාවක් සාධනීය මාධ්‍ය තුළින් පිළිඹිබු වෙයි. එය යුරෝපා රටවල් අත්හදා බලමින් සාර්ථක කරගෙන තිබේ. යම් සිද්ධියක් වාර්තා කිරීමේ දී එම සිද්ධියෙන් මහජනතාවට පීඩාවක්, අධෛර්යමත් කිරීමක් නොකර, වඩාත් ධනාත්මක ආකල්පයෙන් හෙට ගැන සිතිය හැකි ආකාරයෙන් වාර්තා කිරීම එවැනි රටවල මාධ්‍ය තුළින් දක්නට ලැබෙන්නෙකි. යුරෝපා රටවල් ධනාත්මක චින්තනයට රට වැසියා පෙළඹවීමට උත්සාහ ගනිමින් සිටී. ඒ සඳහා අවශ්‍ය වන්නේ යහපත් ආකල්ප වර්ධනය කරන, ජනතාව ධෛර්යමත් කරන මාධ්‍ය වාර්තාකරණයකි. එය මෙරටට උචිත පරිදි ගලපා ගැනීම යුගයේ අවශ්‍යතාවයකි.

යම් මාධ්‍යයක් යම් සිද්ධියක් වාර්තා කිරීමේ දී ග්‍රාහකයාගේ මනසට එල්ල වන බලපෑම කවරක්ද? එසේම එකී ග්‍රාහකයා ලෝකය අවබෝධ කර ගන්නා ආකාරයට කොතරම් බලපෑමක් කරන්නේද? යන්න පිළිබඳ සාධනීය ජනමාධ්‍ය කලාවේ දී අවධානය යොමු කෙරේ. එය තවත් ආකාරයකට සඳහන් කරන්නේ නම් රූපවාහිනී මාධ්‍යකින් යම් රූපරාමු පෙළක් විකාශය කිරීමේ දී එය නරඹන පුද්ගලයා කුමනාකාරයෙන් අවබෝධ කරගන්නේ ද? යන කාරණය විමසීම සාධනීය ජනමාධ්‍ය කලාවය. යම් රූපවාහිනී වාර්තාවක් හෝ පුවත්පත් වාර්තාවක් නරඹන, කියවන පුද්ගලයාට, තමා අවට ලෝකය වඩාත් අවදානම් සහගත බවත් අනාගතය අවිනිශ්චිත බවත් ඔහුගේ හෝ ඇයගේ මනසේ ජනිත වීම මානව සමාජයේ යහ පැවැත්මට හිතකර නොවන්නකි.

වත්මන් ජනමාධ්‍ය ආයතන මහජනතාව ගැන තැකීමක් නොකරයි. යම් සිද්ධියක් ප්‍රථම වාර්තාකරණය ලෙස හිමිකර ගැනීමේ වුවමනාවකින් පසුවෙති. එහි දී සිද්ධියේ සත්‍ය විමසීම පසෙක තබා මහජනතාවට තොරතුර සැපයීමේ වේගය පිළිබඳ ජනමාධ්‍ය ආයතන උනන්දු වී තිබේ. වේගයෙන් වාර්තා කිරීම නිසා අසත්‍ය තොරතුරු ජනතාවට ළඟා වීම ස්වභාවිකය. මේ සම්බන්ධයෙන් ජනමාධ්‍ය ආයතන අවධානය යොමු කළ යුතු අතර වර්තමානයේ සමාජ විපර්යාසයන් පිළිබඳ පූර්ණ අවබෝධයකින් මාධ්‍ය හැසිරවිය යුතුය. එය මුදල් මත පමණක් තීරණය වන්නේ නම්, ජනතාව දිනෙන් දින පසුගාමීත්වයට ඇද දැමීමකි. එසේම ජනමාධ්‍යවේදීන් පාඨකයින්ගේ මනසට කුමන ආකාරයේ බලපෑමක් කරන්නේදැයි යන්න පිළිබඳ නැවත වරක් සිතීම ද කාලෝචිතය.

වත්මන් මාධ්‍ය සංස්කෘතිය තුළ ව්‍යාපාරික පසුබිමක් අන්තර්ගත වී ඇති හෙයින් ජනතාවට විතැන් කරන තොරතුර පිළිබඳ සැලකිල්ලක් මාධ්‍ය ආයතන තුළ නොමැති බවක් පෙනෙන්නට ඇත. වෙළෙඳ දැන්වීම් හිමි කර ගැනීමේ තරගයක් නිර්මාණය වී ඇති නිසා යහපත් ආකල්ප සමාජගත කිරීම මාධ්‍ය ආයතන තුළින් ගිලිහී ගොස් තිබේ. එසේම මෙරට දේශපාලන ක්‍රමය තුළ සෑම මාධ්‍ය ආයතනයක් පාහේ දේශපාලකයාගෙන් යැපීමේ තත්ත්වයක් පෙන්නුම් කරයි. එය රටක මහජනතාව ධනාත්මක සංකල්පවල පිහිටුවීමට බාධාවෙකි. සමස්තයක් ලෙස මෙරට මාධ්‍ය භාවිතය තුළ මහජනතාවට කෙරෙන පෙළඹවීම යහපත් නොවන බව ද ඉන් පැහැදිලිය.

ඒ තුළින් මෙරට සංවර්ධනයට ඇති ඉඩකඩ ඇහිරීගොස් ඇති අතර යහපත් සංකල්ප සමාජගත වීමේ අවප්‍රමාණයක් ද දැකිය හැකිය. එනිසා මෙරට ජනමාධ්‍යවේදීන් මාධ්‍ය වාර්තා ඉදිරිපත් කිරීමේ දී සංවර්ධන මාධ්‍ය සංකල්ප දෙස අවධානය යොමු කළ යුතුය. එසේම ජනමාධ්‍යයට මිනිසාගේ සිතුම් පැතුම්, ආකල්ප, හැසිරීම් රටා වෙනස් කිරීමේ හැකියාවක් ඇත. එනිසා ජනමාධ්‍ය ආයතන තම ආයතනයෙන් ප්‍රචාරණය කරන, මුද්‍රණය කරන සියල්ල පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතුය. තම ආයතනය තුළින් රට වැසියාට, සමාජයට කොතරම් අයහපත්, අසංවේදී, ත්‍රාසය, භීතිය, වෛරය, ක්‍රෝධය වපුරා ඇත්දැයි මාධ්‍ය ආයතන පසුවිපරමක් කරන්නේ නම් එය අනාගත පරපුරට ඉතා වැදගත් වන්නකි.

සටහන
දුමින්ද අලුත්ගෙදර

නව අදහස දක්වන්න