පාලක මෙන්ම පුරවැසි හැසිරීමත් බරපතළ ප්‍රශ්නයක් | දිනමිණ

පාලක මෙන්ම පුරවැසි හැසිරීමත් බරපතළ ප්‍රශ්නයක්

කුමුදු කුසුම් කුමාර
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
සමාජ විද්‍යා අධ්‍යයනාංශය කොළඹ විශ්වවිද්‍යාලය

පසුගිය පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය මේ රටේ ප්‍රධාන දේශපාලන ධාරා වෙත නිකුත් කර ඇති පණිවුඩය කුමක්ද? ඒ අනුව ඔවුන් වෙනස් කර ගත යුතු ප්‍රතිපත්ති මොනවාද? ජනාධිපතිවරණයේදී හා මහමැතිවරණයේදී ජනතාව වෙනුවෙන් දුන් පොරොන්දුවලින් ඉටු වූ සහ ඉටු නොවුණ පොරොන්දු මොනවාද යනාදී ගැටලු සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යානාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කුමුදු කුසුම් කුමාර මහතා දිනමිණ සමඟ කළ සාකච්ඡාවකි මේ.

2015 ජනවාරි 8 වැනිදා මේ රටේ ජනතාව දේශපාලන පරිවර්තනයක් ඇති කළා. නමුත් ඒ ජනතාවම, අවුරුදු තුනක් වැනි කාලයක් ඇතුළත නැවත දේශපාලන පරිවර්තනයක් ඇති කර තිබෙනවා. පසු ගිය තුන් අවුරුද්ද ඇතුළත ජනතාවට ලැබුණු නොලැබුණු දේ ගැන ඔබේ අදහස කුමක් ද?

2015 ජනවාරි 8 මේ රටේ ජනතාව මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා දැම්මේ ඒ පාලනය කෙරෙහි ජනතාවට තිබුණ බලවත් අප්‍රසාදය නිසයි. ඒ පාලනය ජනතාවට එපා වෙන්න මූලික වුණේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජ සාධාරණත්වය කියන කාරණා නැති වීමයි. ඊට අමතරව තවත් බොහෝ කාරණා හේතු වෙලා තිබුණා. ජනවාරි අට ව්‍යාපාරයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනතාවට පොරොන්දු ගණනාවක් දුන්නා. ඒ අතර පෙර කී නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජ සාධාරණත්වය නැවත මේ සමාජයේ ප්‍රතිෂ්ඨාපනය කරනවා කියලා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කිව්වා. ඒ නිසා ජනවාරි අට ව්‍යාපාරයේදී ජනතාවගේ අපේක්ෂා ඉතා ඉහළ මට්ටමකට තිබුණ බවත් දක්නට ලැබුණා. නමුත් ආණ්ඩුව පිහිටුවලා ඉදිරියට යනකොට ඒ අය දීපු පොරොන්දු ඉටු කිරීමට බැරි ගැටලු, ඒ අයටත් තියෙනවා කියලා පෙනෙන්න ගත්තා. ලක්ෂ හැට දෙකක ජනතාවක් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපති කළාට ඒ දේශපාලන ව්‍යාපාරයේ නායකත්වය ගත්තේ එක්තරා සිවිල් සමාජයේ පිරිසක්. මේ පරස්පරය ජනතාවට හොඳින්ම පෙනුණා.

දූෂණය, වංචාව හා අපරාධ නැවත සිදුනොවීම වගේම මුලින් මේ වැරැදි කළ පුද්ගලයන්ට දඬුවම් ලබා දීමත් ජනතාව මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වුණා. ජනතාව මෙවැනි තීන්දුවක් අරගෙන තියෙන්නේ ඒ දේවල් සිදුනොවීම නිසාද?

දූෂණ, අක්‍රමිකතා, වංචා කරපු අයට නෛතික ක්‍රියාමාර්ග අරගෙන ඒ අය නීතිය ඉදිරියට ගෙනවිත් දඬුවම් කරනවා කියන එක තමයි එදා දේශපාලන ව්‍යාපාරයේ ප්‍රමුඛ සටන් පාඨය වුණේ. ඒත් සම්මුතිවාදී ආණ්ඩුව පිහිටුවීමේ දී ඊට සහභාගී කරගත් පුද්ගලයෝ සහ දේශපාලන පක්ෂ දිහා බලපු ජනතාවට පෙනෙන්න ගත්තා, ජනවාරි අට වැනිදා කියපු දේවල් කරන්න මේ අයට හැකියාවක් නෑ කියලා. අනෙක් පැත්තෙන් අගමැතිවරයාගේ පක්ෂය මේ රටේ ආර්ථිකයේ මූලික මර්මස්ථාන භාර ගත්තා. අගමැතිවරයා විශ්වාස කරන විදිහට, මේ රට සංවර්ධනය කරන්න පුළුවන්, ආර්ථික වර්ධනය කරන්න පුළුවන් නව ලිබරල්වාදය යනුවෙන් හඳුන්වන ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, වෙනත් ජාත්‍යන්තර මූල්‍ය ආයතනය, අමෙරිකාව සහ යුරෝපා සංගමයට අයත් රටවල් මෙහෙයවන ආර්ථික වැඩපිළිවෙළක් දැඩි සේ මේ රටේ ක්‍රියාත්මක කරන්න ගියා.

ජනතා විරෝධය කුමක් වුවත් තම ආර්ථික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න අගමැතිවරයා කටයුතු කළා. මේ ආර්ථික පිළිවෙත නිසා පසුගිය වසර දෙක තුන තුළ මහජනතාව වෙත අධික බදු බර පැටවිලා තිබුණා, ජීවන වියදම දරාගත නොහැකි ආකාරයට ඉහළ ගිහින් තිබුණා. සෑම භාණ්ඩ හා සේවාවකටම බදු බර වැඩි වුණා. මේ සියලු කරුණු නිසා ආණ්ඩුව ගැන සමාජයේ බලවත් කලකිරීමක් ඇති වුණා. මෙහෙම යනකොට වංචා, දූෂණ අක්‍රමිකතා කරපු අයට දඬුවම් නොදීමටත් වඩා ජීවන වියදම ගැන මහජනතාවගේ ආණ්ඩු විරෝධය ඉහළට මතු වුණා. ඒකෙ ප්‍රතිඵලය තමයි පෙබරවාරි දහය ලැබුණේ.

කොහොම නමුත් වත්මන් ආණ්ඩුව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනවිත්, ස්වාධීන කොමිෂන් සභා ස්ථාපනය කළා. මාධ්‍ය නිදහස, අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කළා. පෙර පැවැති පාලනය බලතන්ත්‍රවාදී පාලනයක් කියලත් චෝදනා කළා නේද?

පැහැදිලිවම ප්‍රතිපත්තිමය වශයෙන් ආණ්ඩුව ගත් පියවරවල් සාධනීයයි. ඒවා තුළත් යම් යම් අඩුපාඩු, ගැටලු අඩු ඇති වෙලා තිබුණා. විචාරකයන් ඒවා පෙන්නලා දීලත් තිබුණා. පසුගියදා පැවැති මැතිවරණයේ දී අපි දැක්කා මේ රටේ කාන්තාවෝ විශාල වශයෙන් ඡන්දය ප්‍රකාශ කරන්න පැමිණි ආකාරය. මේ මැතිවරණයේ දී 71% වැඩි ජන ප්‍රතිශතයක් ඡන්දය භාවිත කරලා විශාල වෙනසක් කළා. ඒක ජාතික මට්ටමේ දේශපාලනයේ ප්‍රශ්නයක් බවටත් පත් වුණා. කොහොම නමුත් ඒ ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබිඹු වුණේ මැතිවරණ කොමිසම ස්වාධීන වූ නිසයි. ලංකා ඉතිහාසයේ ප්‍රචණ්ඩත්වය අවම මැතිවරණය තමයි අපි පසු කළේ. ඒකම මේ රටේ ජනතාව ලැබූ විශාල ජයග්‍රහණයක්.

ඊට අමතරව තොරතුරු පනත සම්මත කළා. ව්‍යවස්ථාදායක සභාවක් ඇති කළා. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් කොමිෂන් සභා බලගැන්වුවත්, ඒ ආයතනවලට නැවතත් දේශපාලන ඇඟිලි ගැසීම් සිදු වෙනවා කියලා පේනවා. ආණ්ඩුවෙන් හොඳ දේවල් ක්‍රියාත්මක වුණා. නමුත් ඇතැම් දේවල්වලට දේශපාලනය මැදිහත් වුණ නිසා ජනතාව තුළ අප්‍රසාදයක් ඇති වුණා. පෙර පැවැති පාලනය තුළ ජනතාවට කිසිසේත් දිනාගත නොහැකි, අසීමාන්තික නිදහසක් මේ රජයෙන් ජනතාවට ලැබුණා. ඒක අපි කවුරුත් පිළිගන්න ඕන.

මේ රටේ දේශපාලනය පවුල් පාලනයක්, නැතිනම් එක්තරා පන්ති පාලනයක් දක්වා වර්ධනය වී ඇති බවත්, එය වළක්වා ගැනීමට ගෙනා ආණ්ඩුව ඒ මඟම භාවිත කරන බවත් බොහෝ විද්වතුන් චෝදනා කරනවා නේද?

මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපතිවරයා වූ විගස දැනෙන්න පටන් ගත්තා අපේ ප්‍රජාතන්ත්‍රවාදය ආයෙත් හැකිළුණා කියලා. ඒකට හේතු වුණේ දේශපාලන පැලැන්තියක් එහෙමත් නැත්නම් දේශපාලන පන්තියක් අලුතෙන් හදපු ආණ්ඩුවේ බලය යළි අත්පත් කර ගැනීමයි. එතැනදී පරාජයට පත්වුණ, ජනතාව ප්‍රතික්ෂේප කරපු පරාජිත දේශපාලනඥයෝ ඇමැතිකම් ගත්තා. ඒ නිසා පසුගිය පාලනයත් වත්මන් පාලනයත් අතර ඉතා අවම වෙනස්කම් තමයි තිබුණේ. මේ කියන අවබෝධය අද මේ රටේ මහජනතාවට තියෙනවා. අද ප්‍රජාතන්ත්‍රවාදය කියන එක නමින් තිබුණට, අපේ නියෝජිතයන් ඔවුන් ඔවුන්ගේ සමූහයක, පන්තියක, එක්තරා පැලැන්තියක නියෝජිතයන් විදිහට ඔවුන්ගේ ඵල ප්‍රයෝජන වෙනුවෙන් කටයුතු කළා කියන හැඟීම මහජනතාවට තදින්ම දැනිල තියෙනවා.

ඔබ කියන දේශපාලන පන්ති, පැලැන්ති පාලනය නිමා කරන්න එදා සෝභිත හාමුදුරුවෝ ඇතුළු සිවිල් සමාජ ක්‍රියාධරයෝ පෙළ ගැසුණා. මේ මැතිවරණයෙන් නැවත ජනතාව කියන්නේ එහෙම පරාජය කරපු පාලකයා හොඳයි කියලාද?

මම හිතන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා ජනවාරි අට මැතිවරණයේ දී 49%ක් ඡන්ද ගන්නකොට 51%ක් ගත්තෙ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා. ඒක අපි අමතක කරන්න හොඳ නෑ. මහින්ද රාජපක්ෂ මහත්තයා නියෝජනය කරන මතවාදයක් තියෙනවා. ඒක මේ රටේ සිංහල බෞද්ධ ජාතිකවාදී මතවාදයක්.

සිංහල, බෞද්ධ ජාතිකවාදී මතය වෙනුවෙන් පෙනී සිටින පිරිස තමයි මහින්ද රාජපක්ෂ මහත්තයට ඡන්ද පාවිච්චි කළේ. ජනවාරි අට මැතිවරණයේ දී එකට තරග කරපු අය මේ මැතිවරණයේ දී වෙන් වෙන්ව තරග කළා. මේ ප්‍රතිඵලයෙන් ඒ බෙදීම හොඳටම පෙන්නුම් කළා. අවුරුදු තුනකට පස්සෙ මහින්ද රාජපක්ෂ මහත්තයාට මේ ජයග්‍රහණය ලැබුණේ කොහොම ද? එතැන තියෙන්නේ ඔහුගේම ඡන්ද කොට්ඨාසය ඔහු වටා ඒකරාශිවීමක්. අපි අමතක නොකළ යුත්තේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාටත් මිලියනයකට වඩා ඡන්ද ලැබිලා තියෙනවා කියන එකයි. ඒ පිරිස කවුද? ඒ අය එජාපයට, ජවිපෙට, පොජපෙ නැතිව ස්වාධීනව ඉන්න පිරිසක්. මේ මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රතිශතයක් විදිහට බැලුවාම ජනවාරි අට වෙනසේ දී මෛත්‍රීපාල සිරිසේන මහතා ලබාගත් ජන්ද ප්‍රමාණය රැකගෙන තියෙනවා. නමුත් මහින්ද රාජපක්ෂ මහතාට ඡන්ද අඩුවීමක් තමයි පෙන්නුම් කරන්නේ.

තවත් වසර දෙකක පාලන කාලයක් වත්මන් ජනපතිවරයාට තියෙනවා. පැවතුණේ පළාත් පාලන මැතිවරණයක්, නමුත් එය ජාතික දේශපාලනයේ අර්බුදයක් වුණා. ඊට හේතුව ආණ්ඩුවට එරෙහිව ජනතා ප්‍රතිරෝධයක් ඇතිවීම නේද?

රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ නව ලිබරල්වාදී ආර්ථික දැක්ම හා මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ යහපාලන හා සම්මුතිවාදී ආණ්ඩු ක්‍රමය අතර පැහැදිලි පරස්පරයක් තිබීම තමයි ඒකට හේතුව. ඒ තත්ත්වය පසුකාලීනව ගැටුම් දක්වා වර්ධනය වුණා.

මහින්ද රාජපක්ෂ මහත්තයා පරාජය කළ ජනතාව එදා බලාපොරොත්තු වුණේ, ඒ වන විටත් ඉහළ ගොස් තිබුණ ජීවන වියදම් බර අඩු කරලා මේ රටේ සාමාන්‍ය ජනතාවට සේවයක් සිදුවන ආකාරයේ ජනහිතකාමී වැඩපිළිවෙළක්. මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඒවා තිබුණා. හැබැයි 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් එතුමාගේ බලතල අහිමිකර ගැනීම හරහා පෙර සඳහන් කළ ප්‍රතිපත්ති ඉදිරියට අරන් යන්න බැරි වුණා. ඒ නිසා තමයි මේ දෙපළ අතර ගැටුම නිර්මාණය වුණේ. එහෙම තිබියදීත් ජනාධිපතිවරයා ස්වාධීනව වැඩ කරන්න උත්සාහ කළා. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ වැඩපිළිවෙළට ජනතා විරෝධය මතුවෙන විට ජනපතිවරයා ජනතාව වෙනුවෙන් මැදිහත් වුණා. සමහර ඒවා සාර්ථක වුණා. සමහර ඒවා අසාර්ථක වුණා.

ජනවාරි අට විප්ලවයේ පොරොන්දු ඉටු කරන්න වත්මන් ආණ්ඩුව අසමත් වුණේ ඔබ සඳහන් කළ පරස්පරය නිසා ද?

ඒ පොරොන්දු වුණ ප්‍රතිසංස්කරණ කිරීම සඳහා පැහැදිලිවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් වගේම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ අවශ්‍යතාව මතු වුණා. ඒකට හේතුව තමයි මේ රටේ ජනවාර්ගික ගැටලුවට දිගුකාලීන විසඳුමක් අවශ්‍ය වීම. කොහොම නමුත් ඒ දේවල් කරන්න එදා මහජන අදහස් විමසීමේ කමිටුවක් දාලා මහජන අදහස් ගත්තා. ඒ මහජන අදහස් සාධනීය දේවල් කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පාර්ශ්වය පිළිගන්න කැමැති වුණේ නෑ. ඒකට හේතුව තමයි, මහජන අදහස් තුළ තියෙනවා, නව ලිබරල්වාදයට එරෙහිව යන ප්‍රබල යෝජනා. ඒ නිසා ඒ කාරණය පසෙකින් තබන්න ඔවුන් කටයුතු කළා. නමුත් ඔවුන් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් හරහා ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න වැඩපිළිවෙළක් අරන් ගියා. ඒත් ශ්‍රීලනිපය ඇතුළු තවත් පක්ෂ කීපයක් මේ බලය බෙදීමේ කියන කාරණයට මැදිහත් වුණේ සීමා සහිතවයි.

එජාපය ඇතුළු පක්ෂපාතී කණ්ඩායම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නැයි දැඩිව කියා සිටි නිසා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයකට යන්න බැරි වුණා. ඊට බලපෑ කාරණා බොහොමයක් තියෙනවා. විධායක ජනාධිපතිධුරය අහෝසි කරලා විධායක අගමැතිවරයෙක් බිහි කිරීමේ තත්ත්වයක් මතුවන නිසා මේ සියල්ල ඇනහිටියා. ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් කියන්නේ මේ රටේ සියලු ජනකොටස් නියෝජනය කරගෙන හදන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණයක්. එක් දේශපාලන කණ්ඩායමකට හෝ පාලකයන් පිරිසකට පමණක් ඒක නිර්මාණය කරන්න බෑ. එතැන මේ රටේ සියලු ජනවර්ග සහභාගීත්වයක් තියෙන්න ඕන. ඒක කරගන්න බැරි වුණෙත් මේ පාලකයන් මාර්ග දෙකක ගමන් කරපු නිසයි.

අපේ ඉතිහාසය පුරා දේශපාලන පක්ෂවල ක්‍රියාකාරීත්වය බිඳ වැටුණ අවස්ථා තිබුණා. අදත් ඒ තත්ත්වය මතු වෙලා තියෙනවා. මොකක්ද හේතුව?

77ට පෙර කිසියම් දේශපාලන, ආර්ථික ස්ථාවරත්වයක් තිබුණා. 77න් පස්සේ ජේ. ආර්. ජයවර්ධන මහත්තයා විවෘත ආර්ථික ක්‍රමයත්, විධායක ජනාධිපති ක්‍රමයත් ගෙනාවා. අවුරුදු 40ක් පුරා මේ ක්‍රමයට ලංකාවේ ජනතාව දිගින් දිගටම ප්‍රතිරෝදයක් දැක්වුවා. කුමාරතුංග මහත්මිය බලයට එන්නෙත් විවෘත ආර්ථිකයට මානුෂීය මුහුණුවරක් කියලයි. නමුත් එතුමියටත් ජේ. ආර් හඳුන්වල දුන්නු නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්ති සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්න අසමත් වුණා. ශ්‍රීලනිපයේ උරුම ඉදිරියට අරන් යමින් සමාජ ප්‍රජාතන්ත්‍රීය වැඩපිළිවෙළක් ගොඩනඟා ගන්න එතුමියට දැක්මක් තිබුණේ නෑ. ධනේෂ්වර පාලනයක් විදිහට එජාපය පෙනී සිටින කාලයේ, ජනයාගේ බලවේගයක් විදිහට සඝ, වෙද, ගුරු, ගොවි, කම්කරු බලවේග එකතු කරගෙන තමයි බණ්ඩාරනායක මහත්තයා ශ්‍රීලනිපය බලයට ගෙනාවේ. එදා ඒ පක්ෂයේ මැදුම් පිළිවෙතක් තිබුණා. ජනහිතකාමීත්වය පැහැදිලිව තිබුණා. ග්‍රාමීය ජනයාට සමාජ සාධාරණය ඉටුකරන්න මුල් වුණා.

ඊට පස්සේ ශ්‍රීලනිපය හැඳින් වුණේ වමට නැඹුරු ප්‍රගතිශීලී පක්ෂයක් විදිහටයි. එජාපය ධනේෂ්වර පක්ෂයක් විදිහට ගියා. ලංකාවේ ජනතාව මේ පක්ෂවල ක්‍රියාකලාප ගැන කලකිරෙන අවස්ථාවල හැමදාම කරනවා වගේ බලයේ ඉන්න පක්ෂ මාරු කරනවා. ඒ අවස්ථාව අරගෙන ජේ. ආර්. මහත්තයා ව්‍යවස්ථාව ගෙනාවා. එතැනින් පස්සේ ශ්‍රීලනිප ප්‍රතිපත්ති විකාශනය කිරීමට පක්ෂයේ අයට බැරි වුණා. ඒ නිසා ඔවුනුත් නව ලිබරල්වාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න පෙළඹුණා.

ඊට පස්සේ ජනතාවට මේ පක්ෂ දෙකේ වෙනසක් නෑ කියන එක පෙනෙන්න ගත්තා. කොහොම නමුත් ලංකාව කියන්නේ අලුතින් බිහිවන දේශපාලන පරම්පරා තුනක් විතර ඝාතනය කරගත්ත රටක්. ඒ නිසා අපේ රටේ දේශපාලන ක්‍රියාකාරීත්වය ගැන පුරවැසි ක්‍රියාකාරීත්වය ගැන බරපතළ ප්‍රශ්න තියෙනවා. අද වෙනකොට පැරැණි පක්ෂ වල ප්‍රතිපත්ති ඉදිරියට ගෙනියන්න බැරි ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණ නිසා තමයි අද වෙනත් පක්ෂයක් ඉදිරියට ඇවිත් තියෙන්නෙ.

 

දුමින්ද අලුත්ගෙදර
ඡායාරූප - නිරෝෂ් බටේපොළ


නව අදහස දක්වන්න