ආදර්ශවත් පොලිසියක් ! | දිනමිණ

ආදර්ශවත් පොලිසියක් !

 ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව ගැන කතිකාවක් ආරම්භ කිරීමට හොඳම කාලය පැමිණ ඇතැ’යි සිතන්නට පුළුවන. එක අතෙකින් පොලිසිය වෙත පැවරෙන රාජකාරි පුළුල් වී ඇත. තව අතෙකින් පොලිසියට එල්ල වන චෝදනා හා විරෝධතා උපරිම වී ඇත. ලෝකයේ බො‍හෝ රටවල පොලිසියේ රාජකාරිය වන්නේ අපරාධ විමර්ශනය, නීතිය හා සාමය පවත්වා ගැනීම හා රථවාහන පාලනය යි. එහෙත් අපේ රටේ පොලිසියට ඉහත රාජකාරිවලට අමතරව ඩෙංගු රෝගය වැළැක්වීමටද කටයුතු කරන්නට සිදු වී තිබේ. ඒ හැරෙන්නට දුම්රිය හරස් මාර්ග මුර කිරීමට ද පරිසරය රැකීමට ද සිදු වී ඇත. මේ සියල්ල සිදුකිරීම සඳහා පොලිසිය සතු ශ්‍රම බළකාය ලක්ෂයකට ද අඩු ය.

සාමාන්‍ය පැවැත්මට අනුව ගතහොත් කුමන රටක පොලිසියක් වුව වැඩ වර්ජනවල නිරත වන්නේ නැත. අපේ ර‍ටේ තත්ත්වය ද එයම ය. දිවා - රාත්‍රී වෙනසක් නැතිව පොලීසිය සිය සේවය ලබාදිය යුතුය. අව්ව - වැස්ස - පින්න යනාදිය නොසලකා ඔවුන් රාජකාරියේ නිරත විය යුතුව තිබේ. ශ්‍රී ලංකාවේ පොලිස් සේවය ආරම්භ වන්නේ ඉංග්‍රීසි පාලනය යටතේ 1866 සැප්තැම්බර් 03 දාය. ඒ අනුව ලබන සැප්තැම්බරය වන විට අපේ පොලිස් සේවයට වසර එකසිය පනස් දෙක සම්පූර්ණ වෙයි. ඉංග්‍රීසි පාලන සමයේ ආරම්භ වූ පොලිසිය අද අපේ ප්‍රතිපත්ති හා සැලසුම් අනුව ක්‍රියා කරයි. පොලිසිය මහජනයාට කෙතරම් අවශ්‍යද යන්න වටහා ගැනීමට නම්; සතියක් සියලු පොලිසි වසා දැමිය යුතු යැයි හිටපු උසස් පොලිස් නිලධාරියකු කියා ඇත.

පොලිස් කොමිසම මෑතක දී ඉතා වැදගත් වැඩසටහනක් ආරම්භ කළේය. මේ වැඩසටහනෙහි අරමුණ ලෙස සටහන්ව තිබුණේ පොලිසියේ ගුණාත්මකභාවය නැංවීම යන්න යි. වැඩසටහන ක්‍රියාත්මක වන්නේ මහජනයාගේ අදහස් ලබා ගැනීමෙන් ය. පොලිස් දෙපාර්තමේන්තුව තුළ ඇති විය යුතු වෙනස්කම්, පොලිසියේ ප්‍රතිපත්ති සම්පාදනය හා නිලධාරීන්ගේ හැසිරීම සම්බන්ධයෙන් අදහස් හා යෝජනා මහජනයාට ලබාදිය හැකි ය. මේ වැඩසටහන පසුගිය දා හොරණින් ආරම්භ කර තිබිණි. දෙවන වැඩසටහන ලබන 24 දා කොලොන්නාවේ දී පැවැත්වීමට නියමිත ය. පොලිස් දෙපාර්තමේන්තුවට සාර්ථක මහජන සම්බන්ධතාවක් තිබිය යුතු ය. එසේ නොවන්නේ නම් සිවිල් පාලනයේ ආරක්ෂකයකු ලෙස ක්‍රියා කිරීමේ හැකියාව පොලිසියට අහිමි වනු ඇත.

උක්ත වැඩසටහන ක්‍රියාත්මක වන්නේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ ආධාර ඇතිවය. ලෝකයේ බොහෝ රටවල පොලිසි තම නිලධාරීන් හා භටයන් වරින් වර පුහුණු කරනු ලැබේ. එක අතෙකින් නූතන ඥානය ඔවුන් සතු විය යුතුය. තව අ‍තෙකින් නූතන තාක්ෂණය භාවිත කිරීමේ හැකියාව ඔවුන් සතුවිය යුතුය. අපේ රටේ මෙබඳු පුහුණු වැඩසටහන් විරල ය. බොහෝ දෙනකු ළඟ ඇත්තේ පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පුහුණුව පමණි. වර්තමාන සංකීර්ණ සමාජය සමඟ ගැටීමේ දී පොලිසියට බෙහෙවින් තීක්ෂණ නිලධාරීන් අවශ්‍ය වේ. එබඳු නිලධාරීන් පුහුණු කිරීම පහසු නැත. කුමක් වුව ශ්‍රී ලංකා පොලිසිය හා මහජනයා අතර පවත්නා සම්බන්ධය දිනෙන් - දින පිරිහීමට ලක්වන්නට පටන්ගෙන තිබේ. එය හොඳ තත්ත්වයක් නො වේ.

පසුගිය කාලය පුරාවට අපට අසන්නට - දකින්නට ලැබුණු දේවල් දෙස බලනවිට පොලිසිය සම්බන්ධයෙන් කරුණු කිහිපයක් පැහැදිලි කර ගත හැකිය. එක කරුණක් වන්නේ පොලිසිය අගය කිරීමට හෝ ඔවුනට ගෞරව කිරීමට හෝ මහජනයා කැමැති නැති බව ය. තව කරුණක් වන්නේ පොලිසියට එරෙහිව විරෝධතා පෙළපාලි පැවැත්වීමට ද, පොලිසිවලට ගල්, මුල් ප්‍රහාර එල්ල කිරීමට ද මහජනයා පොලැඹී ඇති බවය. මෙය නරක ආදර්ශයකි. ජනතාව නීතිය අතට ගන්නට ගියහොත් එය රටේ ම අර්බුදයක් බවට පත්වනු ඇත. තවත් කරුණක් වන්නේ ප්‍රජා පොලිස් සේවය වැනි වැඩසටහන් පැවැතිය ද පොලිසිය හා මහජනයා අතර පැවැතිය යුතු සම්බන්ධය බරපතළ පිරිහීමකට ලක් වී ඇති බව ය. මේ සියලු සාධකවලින් පෙනී යන්නේ අපේ පොලිසිය බොහෝ සෙයින් ම අලුත් විය යුතු බව ය.

මීට දින කිහිපයකට පෙර කහතුඩුව පොලිසිය මුහුණ දුන් කනගාටුදායක සිද්ධිය බොහෝ දෙනකුට මතක තිබේ. මහජනයා පොලිසිය වටලා විරෝධතාවක නිරත වූහ. ඔවුන්ගේ තර්කය වූයේ පොලිස් නිලධාරීන් විසින් සැකකරුවකුට අමානුෂික ලෙස සලකා ඇති බව ය. මත් ද්‍රව්‍ය ළඟ තබාගත් පුද්ගලයන් දෙදෙනකු හඹා ගිය පොලිසිය කෙනකු අත්අඩංගුවට ගත් අතර අනෙකා පාලමක් මතින් ඔයට පැන්නේ ය. පොලිස් නිලධාරීන් ඔහු මුදාගැනීමට කිසිවක් සිදු කර නැති අතර එම තරුණයා දියේ ගිලී මිය යයි. මෙහි සම්පූර්ණ වරද පොලිස් නිලධාරීන් දෙදෙනා වෙත බැර කර ඇත. එහි ඇත්තක් ද තිබේ. සැකකරු දියට පැන්නේ නම්; ඔහු ගැන සොයා බැලීම පොලිසියේ වගවීම වෙයි.

අපේ පොලිසිය ගැන විමර්ශනයක යෙදෙන විට තවත් කරුණු කිහිපයක් පැහැදිලි වෙයි. එක; දේශපාලන බලපෑම් නිසා එක් - එක් කාල පරිච්ඡේද තුළ පොලිසියේ ස්වාධීනතාව කෙලෙසී ඇති බව ය. එලෙසම පොලිස් රාජකාරි අවුල් වී ඇති බව ය. දෙක; පොලිසියේ ඇතැම් නිලධාරීන් බලය අනිසි ලෙස යොදාගෙන ඇති බවය. මේ අනුව ඇතැම් නිලධාරීන් මිනිස් ඝාතනවලට පවා සහභාගී වී ඇත. සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය මෙන් ම රගර් ක්‍රීඩක තාජුදීන් මහතාගේ ඝාතනය ද මීට නිදසුන් ලෙස දැක්විය හැකි ය. තුන; පොලිසියේ ඇතැම් නිලධාරීන් දූෂිත බව ය. එක්තරා සමීක්ෂණයකින් හෙළිදරව් වී ඇත්තේ පොලිසිය අන්ත දූෂිත බව ය. එහෙත් පොලිසියෙන් සිදුවන සේවාව ද පුළුල් වී ඇති බවද පිළිගත යුතු ය.

අද වන විට අපේ පොලිස් දෙපාර්තමේන්තුව යම් පමණකින් ස්වාධීන යැයි කියන්නට පුළුවන. පොලිසියට බලපාන දේශපාලනය අඩු වී ඇත. තව අතෙකින් පොලිස් කොමිසම ක්‍රියාත්මක වන්නට පටන්ගෙන ඇත. මේවා යහපත් දේවල් වන අතර ම පොලිසිය හා මහජනයා අතර පැවැතිය යුතු සම්බන්ධය දිගින් - දිගටම පිරිහී ඇතැ’යි සිතන්නට පුළුවන. කහතුඩුව පොලිසියේ සිද්ධියට සමාන සිදුවීම් කිහිපයක් ම මෑතක දී වාර්තා වී තිබිණි. මේවා වළක්වා ගත යුතුව තිබේ. එය කළ හැක්කේ මහජනයා පොලිසිය විශ්වාස කරන තැනකට පත්කිරීමෙන් හා පොලිස් නිලධාරීන් දැනුමෙන් හා පුහුණුවෙන් සන්නද්ධ කිරීමෙන් ය. ඊට හොඳම අවස්ථාවක් පොලිස් කොමිසමේ වැඩසටහන ඔස්සේ ඇති වෙයි.

පොලිසිය ‍හොඳ නම්; මහජනයා ද නරක වෙන්නට හේතුවක් නැත. මේ පාර්ශව දෙක ම හොඳ තැනකට ගෙනයා හැකිනම්; නීතිය හොඳින් රැකෙනු ඇත.


නව අදහස දක්වන්න

Or log in with...