මහින්දානන්දගේ පෙත්සම මාර්තු 2දා සලකා බැලේ | දිනමිණ

මහින්දානන්දගේ පෙත්සම මාර්තු 2දා සලකා බැලේ

නෙල්කා මැදගෙදර

බොරැල්ල කිංසි පාරේ නිවසක් මිලදී ගැනීම සම්බන්ධයෙන් තමන්ට එරෙහිව පවරා ඇති අල්ලස් නඩුව ‍මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියෙහි විභාගයට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ඇමැති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ගොනුකළ රිට් පෙත්සම ලබන මාර්තු මස 02 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය ඊයේ (19) තීරණය කෙළේය.

කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියෙහි මෙම පෙත්සම කැඳවන ලදී.

ඇමැති තනතුරු දරමින් සිටියදී ලැබුණු ආදායමින් උපයාගත නොහැකි රුපියල් මිලියන 27ක වටිනාකමකින් යුතු නිවසක් බොරැල්ල කින්සි පාරෙන් මිලදී ගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පෙත්සම්කරුට එරෙහිව නඩු පවරා තිබේ.

 එම නඩුව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියෙහි විභාගයට ගැනීමට නියමිත අතර එම විනිසුරුවරයාගෙන් සාධාරණ සහ යුක්තිසහගත නඩු විභාගයක් අපේක්ෂා කළ නොහැකි බව පවසමින් මෙම පෙත්සම ගොනු කර තිබුණි.

එබැවින් මෙම නඩුව වෙනත් විනිසුරුවරයකුට යොමු කරන ලෙස පෙත්සම මගින් ‍ඉල්ලා තිබුණි.

නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටී.

 

නව අදහස දක්වන්න