කරන්නෙ එකක් වෙන්නෙ තවත් එකක් | දිනමිණ

කරන්නෙ එකක් වෙන්නෙ තවත් එකක්

ගමේ පන්සලට යන පාර හරිම අබලන්. සෑහෙන ගල්පඩි දෙක තුනක් තිබ්බත් පඩි නොවුණු ගල් පර්වත දෙක තුනක් හින්දා වැහි කාලෙට එතනින් මාරුවෙලා යන එක සෑහෙන්න අවදානම් කටයුත්තක්. කොල්ලො කුරුට්ටො ඒක සෙල්ලමක් විදිහට බාර ගත්තත්, වැඩිහිටියන්ට, වයෝවෘද්ධ උදවියට නම් ජීවිතයත් මරණයත් අතර ප්‍රශ්නයක්. ඒ හින්දම මේ ගල් ටික පොඩි පට්ටම් කරලා සිමෙන්තියෙන් පඩි හත අටක් හදලා පාර හැදීමට ආධාර මුදල් එකතු කිරීමේ වැඩපිළිවෙලක් පන්සලේ හාමුදුරුවොත්, ඉස්කෝලෙ මහත්තයත් මුල්වෙලා ආරම්භ කෙරුවා. ගමේ හැමෝම තම තමන්ට හැකි පමණින් මේ වැඩේට සම්මාදම් වුණා. පෙට්ටිකඩේ කළු ජෙමාත් තමන් ළඟට එන හැමෝටම මේ ගැන කියලා ‘පිං පෙට්ටිය‘ කියලා අතින් ලියපු පෙට්ටියකුත් එතැන තියලා තිබ්බා. අතේ ඉතුරුවෙන සිල්ලර කාසි ටික ඕකට දාලා යන්න වැඩි දෙනෙක් උනන්දුවුණා.

“ඇත්තටම ඉස්කෝලෙ මහත්තයා මේ වැඩේට කොච්චර විතර වියදමක් යයිද? පෙට්ටිකඩේට ගොඩවෙච්චි වෙලාවක ජෙමා, ඉස්කෝලෙ මහත්තයාගෙන් ඇහුවා.

“රුපියල් විසි තිස් දාහක් තිබ්බොත් හොඳටම සෑහෙනවා. ගමේ ඈයෝ හැමෝම වගේ අත් උදව්වට එකතු වුණාම ඕන කරන බඩු මුට්ටු, සිමෙන්ති, වැලි වගේ දේවල් ගන්න විතරක් නොවැ වියදමක් යන්නේ“

“ඒක ඇත්ත. මං හිතන්නෙ මෙතන පිං පෙට්ටියෙත් දාහක් හමාරක් ඇති. එහෙම වුණොත් දැනටමත් වැඩේ පටන් ගන්න පුළුවන් වෙයි නොවැ.“

“ඔව්. ඒත් ඉතිං ඕවයෙ වැඩ පටන් ගත්තම වියදම් කොහෙන් කෙලවර වෙයිද කියලා දන්නෙ නෑ. සල්ලි ටිකක් එකතු වුණොත් හාමුදුරුවන්ගෙ ආවාස ගෙයි ටයිල් කරගත්තොත් හොඳයි කියලත් උන්වහන්සෙ හිතනවා. “ ඉස්කෝලෙ මහත්තයා එහෙම කීවා. කළු ජෙමා, රැස්වෙලා උන්නු අනෙක් දෙතුන් දෙනා දිහා බැලුවා.

“ඕකනෙ ඉතිං වැඩේ. කරන්න ඕන අත්‍යවශ්‍යයම දේ පැත්තක තියලා වෙන වෙන වැඩ කරන්න පටන් ගන්නවා. හාමුදුරුවෝ හින්දා මොකුත් කියන්නත් බෑ“ වෙල් විදානෙ උන්නැහේ කීවා.

“එහෙම කියලා බෑ විදානෙ. මේ සල්ලි අපේ. ඒවා වියදම් වෙන හැටි, මොන දේටද වියදම් කරන්නෙ කියලා දැනගන්න අයිතියක් අපට තියෙනවා“ කළු ජෙමා කීවා. එන පොට හොඳනැති නිසාත්, හාමුදුරුවන්ගේ වැඩපිළිවෙළට තමාට තනිවම සම්පූර්ණයෙන්ම වගකියන්නට හැකියාවක් නැති නිසාත් ඉස්කෝල මහත්තයා එතැනින් මාරුවෙන්න හැදුවා. ටිකක් දුරින් කතාව අහගෙන හිටපු වෙදරාල මාමා එතැනට කිට්ටු වුණා.

“නෑ නෑ ඉස්කෝලෙ මහත්තයා කලබල වෙන්න ඕන නෑ. මේවා මොන ප්‍රශ්නද, කරන්න තියෙන වැඩෙයි කරපු වැඩෙයි පැත්තකට දාලා වෙන වෙන වැඩ කරන එක මේ අපේ ගමේ ප්‍රශ්නයක් විතරක් නෙවෙයි. මේක පොදු ප්‍රශ්නයක්“ වෙදරාල මාමා කීවා.

“ඒක කොහොමද පොදු ප්‍රශ්නයක් වෙන්නේ? හැමෝම වෙදරාල මාමා දිහා බැලුවේ කුතුහලෙන්.

“දැන් බලාපල්ලා රටේ ලෝකෙ මොකද වෙන්නෙ කියලා?

“ඇයි මොකෝ වෙන්නේ? කළු ජෙමා අහනවා.

“ගමේ ප්‍රාදේශීය සභාවට, නගර සභාවට ගමේ එකෙක් පත්කරලා ගමට වැඩක් කරගන්න කියලා ඡන්දයක් තිබ්බා. අන්තිමට ගමට පත්වෙච්චි එකා ගැන, ගමේ වැඩ ගැන අන්දෝ සංසාරයක් නැතිව පාර්ලිමේන්තුවේ ඔළු එහා මෙහා කරගෙන අගමැති ධුරය ගැන සාකච්ඡා පැවැත්වෙනවා. කරන්න ගියේ එකක්. අන්තිමට කෙරෙන්නෙ තවත් එකක්“

“ඒකත් ඇත්ත තමයි“ ඉස්කෝලෙ මහත්තයා කීවා.

“ඉස්කෝලෙ මහත්තයා ගිහින් හාමුදුරුවන්ට කියන්න, ආවාස ගෙයි ටයිල් කරන වැඩෙත් කරමු. හැබැයි මේ වැඩේ කරාට පස්සෙ කියලා. මොකද මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කෙරුවෙ පඩි ටික හදන්න නොවැ. ඒ වැඩේ කරාම ඊට පස්සෙ ටයිල් කරන්න කියලා ආයෙම මදි පාඩු වෙච්චි සල්ලි ටික ආධාර හැටියට එකතු කරමු. මිනිස්සුන්ට එකක් කියලා සල්ලි එකතු කරලා තවත් දෙයක් කරන්න නරකයි“සීලවතී නැන්දා කීවා.

“ඒක හරි. ඉස්කෝලෙ මහත්තයා නම් ඔය පණිවිඩේ හාමුදුරුවන්ට කියයි. ඒත් අපි ඡන්දෙ දුන්නෙ ගමේ මිනිහෙක් ගමේ වැඩ කරන්න පත් කරගන්න මිසක් රටේ අගමැති තෝරන්න නෙවෙයි කියලා මහ තැන්වලට කියන්න පණිවිඩේ ගෙනියන්න කෙනෙක් නෑනේ“ කවුදෝ කෙනෙක් එහෙම කීවා. සමහර විට ඒ වෙදරාල උන්නැහේ වෙන්න ඇති. 

බණ්ඩි රාල
 

 


නව අදහස දක්වන්න