වර­දක වග­කීම | දිනමිණ

වර­දක වග­කීම

මිනිහෙක් වරදක් කළ විට/ අපරාධයක් කළ විට එහි වගකීම ජාතියටම හිමි විය යුතු නොවේ. එම අපරාධය/වරද තනිව ගෙන ඔහු හෝ ඇයට එරෙහිව නීති පද්ධතියක් යටතේ පර්යේෂණයක් සිදු වී ඔප්පු වීමෙන් දඬුවම් ලැබිය යුතුයි. හිටලර් නිසා ජර්මන් ජාතියම යුදෙව් විරෝධී (Anti-semetic) ලෙස අප සලකන්නේ නැත. කළු මිනිසුන් සියල්ලන් අපරාධකරුවන් ලෙස සලකන්නේ නැත. සියලුම දකුණු අමෙරිකානුවන් නීති විරෝධී සංක්‍රමණිකයන් හෝ දරුණු අපරාධකරුවන් ලෙස සලකන්නේ නැත. කොටි ත්‍රස්තවාදීන්, මුස්ලිම් ත්‍රස්තවාදීන් ගේ අපරාධ නිසා සියලුම දෙමළුන්, මුසල්මානුවන් ත්‍රස්තවාදීන් ලෙස සලකන්නේ නැත. බොදු බල සේනාව නිසා සියලුම බෞද්ධයන් ම්ලේච්ඡ ලෙස සලකන්නේ නැත. සියලුම සිහින් ඇස් ඇති ආසියානුවන් විභාගවලදි ලකුණු සියයම තමන් විසින්ම ගනු ලබන්නේ යැයි සලකන්නේ නැත. අමෙරිකාවේ ජනාධිපතිගේ ට්වීට් කියවා සියලුම ඇමරිකානුවන්ගේ මානසික තත්ත්වය ගැන නිගමනවලට එලඹෙන්නේද නැත.

කෙනෙක් කළ අපරාධයක් නිසා ජාතියක් හෝ අගමකට අයත් සියලුම දෙනා වරදකරුවන් ලෙස හැඳින්වීම අපරාධයකි. වාර්ගික අගතිය (racial profiling) බලවත් වරදකි.

එසේම පිරිමියාද, දරුවාද, හිරකරුවාද, ගැහැනියද, දෙමළාද, සුද්දාද, කල්ලාද, දුප්පතාද, පෝසතාද සියලුම දෙනා මිනිසුන් ලෙස සළකන උදාර ඔබට ඒ යුද හමුදා නිලධාරියාද මිනිසකු ලෙස ගැනීමට හැකි විය යුතුයි. ඔහු කළ දේ නීතියෙන් විසඳිය යුතු ක්‍රියාවකි. ඔහු නිසා ඔහුගේ ජාතියේ, රටේ සියලුම මිනිසුන් racially profile කිරීමෙන් අපරාධකරුවන් කියා හංවඩු ගැසීමෙන් ඔබ කරන්නේ අපරාධයකි.

දෙමළ ත්‍රස්තවාදියාත් රජයේ යුද භටයාත් යන දෙදෙනාම යුද්ධයෙන් අන්ත අසරණ වූ, තමන්ට තමන් අහිමි වූ, බෝම්බවලට කුඩූ වූ, ජිවීත උඩු යටිකුරු වූ දෙමළ මිනිසාද, මුස්ලිම් මිනිසාද, සිංහල මිනිසාද ඔවුන්ගේ ආදරණීයන්ද යන මේ සියලුම පිරිස තුළ මිනිසකු සිටින බව තේරුම් නොගන්නා තෙක් ඔබට සාමය උදාවන්නේ නැත.

මිනිසකු අතින් වන වරදකට ජාතියක් හිමිකරදීමෙන් අපරාධය කරන්නේ ඔබයි. කෙනකු කළ වරදකට ජාතියක් අමුණා ඔහු ජාතික වීරයකු කරන්නේ ඔහුගේ ක්‍රියාව පසසන අය පමණක් නොවේ. ඔහුගේ ක්‍රියාව අනුමත නොකළත් එය ජාතියටම අමුණන ඔබත් කරන්නේ ඔහුගේ ක්‍රියාව ජාතික ක්‍රියාවක් කිරීමයි.

ඒ මිනිහාගේ වරද ඒ මිනිහාට බාරදෙන්න. ඔහුට එයට නිසි දඬුවම් ලැබීමට ඉඩ දෙන්න. ඒ වරදට ඔබ සහභාගී නොවන්න. මිනිසෙක් තනිව කරනා වරදරකට ජාතියක් ඇමිණුනු විට, එකතු වී ජාතික අපරාධ/ ජාතිවාදී අපරාධ කිරීමට ඒවාට කැමැති මිනිසුන් පෙළඹේ. එවැනි වරදකරුවන් ඒ වරදේදී තනි කරන්න. හොඳින් හෝ නරකින් වරදට ජාතික උපස්ථානය නොදී ඉන්නට වග බලා ගන්න. ඔහු කළ දේට ජාතියේ අදාළත්වයක් නැති බවත් ඔහු හැසිරුණේ ඔහුගේ පුද්ගලික හේතු/විශ්වාසයන් උඩ මිස වරදට ජාතියක් නැති බවත් පිළිගන්නා සමාජයක ජාතියේ නාමයෙන් ඔවැනි දේ කිරීමට තව කෙනෙක් ඉදිරිපත් වීමට පෙර දෙවරක් සිතනු ඇත.

කිසියම් තැනක තනි පුද්ගලයෙකු අතින් වෙන ත්‍රස්තවාදි ප්‍රහාර පවා (lone wolf attacks) ඔවුන් කිසියම් ත්‍රස්තවාදී කණ්ඩායමක් වෙනුවෙන් කළ බවට ලෝකයට දැන ගැනීමට අරින්නේ තමන්ගේ අපරාධයේ වගකීම තව කිහිප දෙනෙකු අතර බෙදා ගැනීමටයි. ඒසේම එවැනි අපරාධ සිදු වූ විට යම් යම් ත්‍රස්තවාදීන් ඉදිරියට පැමිණ ඒ තමන්ගේ කණ්ඩායමේ කෙනකු විසින් වූ අපරාධයක් බවට උත්කර්ෂයට පමුණුවයි. ඒවැනි වැළඳගැන්මක් වන්නේ තවත් අය විනාශකාරී අපරාධ කිරීමට පෙළඹීමක් හැටියටයි. ඔවුන් එවැනි අවස්ථාවලින් මහත් ප්‍රයෝජනයක් ලබන්නේ ඔවුන්ගේ ත්‍රස්තවාදයේ/කණ්ඩායමේ නාමයෙන් අනෙක් අය තැතිගැනිවීමට බය කිරීමට එවැනි අවස්ථා උපකාර වීම නිසයි. ජාතිවාදය, ආගම්වාදය මුල් කරගෙන ද්වේෂසහගත අපරාධ තනිව කරනා අයව කණ්ඩායමකින් පිළිගත් පසුව තවත් අය අනුන් කරන දේම කරන්නන් (copycat) බවට පත්වී එවැනි අපරාධ කිරීමට පෙළඹීමට ඇති ඉඩ ත්‍රස්තවාදීනට සුබ පැතුමකි.

සාමාන්‍යයෙන් ත්‍රස්තවාදය මැඬීමේදී කණ්ඩායමක් එකතු වී සිදු විය හැකි අපරාධවලට වඩා තනියෙන් කරනා (lone wolf terrorism) අපරාධ ලේසියෙන් වළක්වා ගැනීම කළ හැක. ඒ නිසා අපරාධකරුවන්ට එකතු වීමට ඉඩ නොදීමේ ඇත්තේ යහපත් ප්‍රතිඵලයකි. තනිව කෙරෙන ත්‍රස්තවාදය කණ්ඩායමකට නොගාවා සමහර ප්‍රජාපාලනයන් කරන්නේ තනි අනාගත ත්‍රස්තවාදීන් පසුබට කිරීමයි.

නමුත් වර්ගවාදය නිසා කෙනෙක් ජාතිවාදී, ආගම්වාදී ද්වේෂ සහගත අපරාධයක් කළ විට ජාතිවාදය නැත, ආගමවාදය නැත කියා බොරු ප්‍රතික්ෂේප කිරීමක් සිදු කිරීම නොමනා වේ. වර්ගවාදය, ජාතිවාදය, ආගමවාදය මෙලොව හැම රටකම ඇති ප්‍රශ්නයකි. සිදුවිය යුත්තේ අපරාධකරුවා තමන්ගේ ජාතියේ කියා නොපිළිගැනීමයි. එය එක්තරා ආකාරයක පිටුවහල් කිරිමක් වැනිය. අපරාධකරුවාට පවා අනෙක් සියලුම මිනිසුන් සේ සාධාරණ නඩු විභාගයකට අයිතියක් ඇති නිසා ඒ වෙනුවෙන් ඉඩ ලබාදී ඔහු/ඇය වටා ජාතිකව, ආගමිකව රොක් නොවීමෙන් ඔහුගේ වරද බවට පත් කළ යුතුයි.

උදාහරණයක් ලෙස x ජාතික ජෝන් ඩෝ හමුදා සෙබළා y ජාතික ජේන් ඩෝ සිවිල් තරුණියට ලිංගික අපරාධයක් කළ විට එය x ජාතිය විසින් y ජාතියට එරෙහිව වු අපරාධයක් යැයි පිළිගැනීමෙන් වක්‍රාකාරයෙන් ජාතිවාදයට රුකුල් ලැබේ. බොහෝ විට එවැනි පිළිගැනීමකින් යම් පිරිස බලාපොරොත්තු වෙන්නේ වින්දිතයාගේ යුක්තියට වඩා අපරාධයට හේතු සැපයීමයි. කූට දේශපාලනඥයෝ එවැනි සංවේදී අවස්ථාවලින් බොහෝ ප්‍රයෝජන ලබා ගනිති. අවසන විසල් අපරාධයක සියල්ලන් ගොදුරු බවට පත් වී ඇත. අපරාධකරුවන් ඔබේ ජාතියෙන් නෙරපා හරින්න. 

හිමාලි එන්. ලියනගේ

නව අදහස දක්වන්න