නිදහස සහ ස්වාධීනත්වය | දිනමිණ

නිදහස සහ ස්වාධීනත්වය

 නිදහස් උළෙල අවසන් ය. ඒ අප සැමරුවේ 70 වෙනි නිදහස් උළෙල ය. මැතිවරණයේ උණුසුම මැද එහි වැදගත්කම තුනී ව ගොස් තිබුණේ ය. එහෙත් දැන් ඉතින් අපට නිදහසේ ඒ සැමරූ නිදහස ගැන කල්පනා කිරීමට ඉස්පාසුවක් තිබේ. මේ සටහන ඒ කල්පනාවේ ප්‍රතිඵලයකි.

නිදහස වෙනුවෙන් තැබූ සටහන් බොහෝමයක අප තවමත් පරාධීන බව සඳහන් විය. ඒ ලෝකයට ම ණය වී සිටින නිසා ය. එයින් කියවුනේ අප නිදහස් වුව ද තවමත් ස්වාධීන වි නැති බවකි. ඒ කියන්නේ නිදහස හා ස්වාධීනත්වය එකක් නොව දෙකක් බව ය.

නිදහස ලැබීමෙන් සිදු වූ එක් වාසියක් නම් අපට දැන් පරාධීන වීම සඳහා කවරෙකු තෝරාගත යුතු ද යන්නට නිදහස තිබීම ය. ඒ සඳහා නිදහසක් සුද්දා රජ කළ සමයේ අපට තිබුනේ නැත. ඒ කාලයේ අපේ පරාධීනත්වය තිබුනේ බ්‍රිතාන්‍යයට ය. දැන් ඒ සඳහා අපට චීනය ද ඇමරිකාව ද ඉන්දියාව ද වශයෙන් තව බොහෝ රටවල් එකක් හෝ කීපයක් ම හෝ තෝරා ගැනීමට ඉඩකඩ ලැබී තිබේ.

අප දැනටමත් බොහෝ රටවලට හා ආයතනවලට ණය ය. ඒ අපට වුවමනා ඕනෑ ම තැනකින් ණය ලබා ගැනීමට අපට නිදහස ලැබුණු නිසා ය. ස්වාධීනත්වය තවම ලබා ගෙන නැති වුව ද අප නිදහස් යැයි මේ හේතුව නිසා බය නැතිව කිව හැකි ය. ඉවරයක් නැතිව ණය ගැනීම නිසා අප පරාධීන වීම වෙනම කාරණයකි. එහෙත් එයින් අප නිදහස් නැතැයි අදහස් නොවේ.

අප ඊයේ පරාධීන වීම සඳහා තෝරාගෙන තිබුනේ චීනය ය. අද ද එයින් ගැලවිමට අප අපොහොසත් වී ඇති බවක් පෙනෙයි.

එහෙත් මේ පරාධීනත්වය නිසා ම අනුක්‍රමයෙන් අපේ බෙල්ලට තොණ්ඩුව වැටෙමින් තිබේ. අපේ ණය කාරයන්ගේ බෙර පදයට නටන්නට අපට දැනටමත් එක්තරා දුරකට සිදු ව තිබේ. එයින් අදහස් කරන්නේ නිදහස ද, ණය ගැනීමට තිබූ නිදහස ද, ඇතුළත් ව සියලු ආකාරයේ නිදහස ද, අනුක්‍රමයෙන් අපට අහිමි වෙමින් තිබෙන බව ය. ණය ගෙවන්නට බොහෝ දේ උගසට තබන්නට සිදු ව ඇති බව ය.

සුදු අලි නඩත්තුවට ණය ගැනීම

ඒ සියල්ල එසේ වෙද්දී අප තවමත් කල්පනා කරමින් ඉන්නේ සුදු අලියන් බවට පත් ව ඇති රජයේ ව්‍යාපාරයන් රජයේ භාණ්ඩාගාරයෙන් මුදල් යොදවමින් තවදුරටත් නඩත්තු කරන්නට ය. ඒ සඳහා දිගින් දිගට ණය ගන්නට ය.

අප නිදහස ලබා ගත් 1948 දී අප ණය වී සිටියේ නැත. අපට තිබුණේ අතිරික්තයකි. අපි ඒ අතිරික්තය රිසි සේ පරිහරණය කොට අවසානයේ එය අවසන් වූ පසු ණය ද සිත් සේ ගත්තෙමු. ඒ කියන්නේ නිදහස භාවිතා කරමින් අප කර ඇත්තේ එවකට අප සතුව තිබූ ස්වාධීනත්වය අනුක්‍රමයෙන් උගසට තැබීම බව ය.

සුද්දා අපට නිදහස දීමෙන් අප අමාරුවේ දැමුවා යැයි යමෙක් කියන විට එහි දු සත්‍යයක් ඇතැයි හැගෙන්නේ ඒ නිසා ය. එසේ කියන අය අදහස් කරන්නේ දිගට ම රට සුද්දාට ම තිබුණා නම් රට මීට වඩා යහපත් වනු ඇතැයි කියා ය. ඒ කියන්නේ බාර ගත් රට අප අනා ගත්තා කියා ය.

සුද්දා නිදහස දුන්න ද පාලනය බාර දුන්න ද අපට කර ගන්නට බැරි වුනා නේදැයි සිතන විට පපුව හෝස් ගා පත්තු වී යන්නේ ඒ නිසා ය. එහෙත් හැමෝම එහෙම හිතන්නේ නැත. මේ ගැන අපේ වගකීමක් නැතැයි කියා අත සෝදා ගැනීමට එසේ නොහිතන අය භාවිතා කරන අගනා මතවාදයක් තිබේ. ඒ සුද්දා ගියේ කළු සුද්දාට රට බාර දී ගිය බව ය. කළු කෝට් හා ටොප් හැට් පැළඳි ඒ කළු සුද්දො අපේ රට සිතු සේ කාබාසිනියා කළ බව ය. එය සනාථ කරන කාරණාවක් ද තිබේ. එනම් මුල් කාලයේ අගමැති තනතුරු දැරූ සර් ජෝන් කොතලාවල තමන් සංඝයාගේ මතය කොහෙත්ම ගණන් නොගන්නා බව එලිපිට පවසා සිටිමෙන් හා එසේ කරන බවට වග බලා ගැනිල්ලෙනි.

වැරැද්ද අපේ නෙවෙයිද?

ඒ කළු සුද්දාට බාර දී ගියා යැයි කියන මතවාදය සපයන්නේ අපේ ගැලවිල්ල සඳහා පහසුවෙන් සොයා ගත නොහැකි අගනා උත්තරයකි. එයට අනුව වැරැද්ද ඇත්තේ කළු සුද්දන්ගේ උන්ට පාලනය බාර කළ සුද්දාගේ ය. වැදගත්ම කාරණය වැරැද්ද අපේ නොවීම ය.

එහෙත් නිදහස ලැබී වසර 8 ක තරම් කෙටි කාලයක දී අප දන්නා ඉතිහාසයට අනුව සඝ ගොවි ගුරු වෙද කම්කරු පංච මහා බලවේගය එක් වී සුද්දා ම දුන් ඡන්දය භාවිතා කර ඒ කළු කෝට් කාරයින්ගෙන් ලංකාව ගලවා ගෙන සිංහලය රජ කළ බව කියවේ. බෞද්ධාගම ද ඒ හා සමගම කිරුළු පලන් බව කියවේ. බහුතර සිංහල බෞද්ධ ජනතා ඡන්දයෙන් බලයට පත් බණ්ඩාරනායක මහතා තමන් දෙමළ දේශපාලන පක්ෂ සමග ඇති කර ගත් ගිවිසුම බෞද්ධ සංඝයා වහන්සේලාගේ එක විරෝධයක් පිළිගෙන ඉරා දැමීම තුළ සංකේතවත් වන්නේ එතැන් පටන් කළු සුද්දන් යැයි කිව නොහැකි සිංහල බෞද්ධ නායකත්වයක් රට බාර ගත් බව ය.

ඒ කියන්නේ නිදහසෙන් වසර 62 ක් ම ඉන්පසු අපේ අය විසින් මේ සිරිලක පාලනය කර ඇති බව ය. ඒ තත්වය පිළිගන්නේ නම් අපට ගැලවීමක් නැත. වරද අපේ ය. ඒ පාලකයන් අපේ ඡන්දයෙන් බලයට පැමිණ බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ අනුශාසනා වලට අනුව රට පාලනය කළ අය ය. භික්ෂූන් වහන්සේලාගේ පුංචි විරෝධයක් හමුවේ වුව සියල්ල අකුලාගන්නා පාලකයන් රජ කළ ඒ සමස්ත වකවානුව තුළ සියල්ල එන්න එන්නටම නරක් වූවා මිස යහපත් වූයේ නැත. ඒ සියල්ල අවසානයේ අප ඉන්නේ පරාධීනත්වයේ මාවතේ බොහෝ දුරක් පැමිණ අතරමං ව ය.

මේ ගැන දුක් වන බොහෝ දෙනෙකු කියන්නේ අප අපට අවශ්‍ය දේ නිපදවා නොගෙන නැව එනතුරු බලා සිටින ජාතියක් වූ බව ය. ඔවුන්ට අනුව ප්‍රශ්නය ඇත්තේ පිටරටින් බඩු ගෙන්වීමේ ය. ඔවුන් තවදුරටත් කියන්නේ ඒ පරාධීනත්වයට අප හසුවූයේ විදේශ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් හැටියට බව ය. සුද්දන් අපට ඔවුන්ගේ සුකුරුත්තම් බඩු භාණ්ඩ හඳුන්වා දී අප විනාශ කළ බව ය. අපේ නායකයන් විසින් අප මුලා කොට අපට ඒ ඉරණම අත් කර දුන් බව ය (අපි එහි දී ක්‍රියාකාර ඇත්තේ බබ්බු ලෙස බව ය).

ඒ නිසා කළ යුත්තේ ස්වාධීන වීම ය. රටට අවශ්‍ය දෙයින් ස්වයං පෝෂිත වීම ය.

මේ සඳහා ගත් එක් බරපතල උත්සහයක රස විඳීමට මේ රටේ ජනතාවට ලැබුනේ 1970 බලයට පත් වුනු සමගි පෙරමුණු ආණ්ඩුව සමයේ ය. පිටරටින් ගෙන්වීම නතර කරන ලදුව සියල්ල රටේ නිපදවා ගැනීමට බල කෙරුණු ඒ සමය අවසන් වූයේ ආණ්ඩුව ද ගෙදර යැවීමට ජනයා ම කටයුතු කිරිම හරහා ය.

ආර්ථික විද්‍යාෙව් පාඩම

ආර්ථික විද්‍යාවේ මූලික සිද්ධාන්තයන්ට අනුව ඇතැම් භාණ්ඩ හා නිශ්පාදන තම රටේ නිපදවනවා වෙනුවට විදේශයකින් ගෙන්විම ලාභ ය. අප කළ යුත්තේ එසේ ගෙන්වා ගත හැකි පරිදි විනිමය උපදවා ගැනීම ය. ඒ අනෙත් රටවලට අවශ්‍ය අපට වඩාත් ලාභදායක ලෙස නිපදවිය හැකි දේ නිපදවා ඒ රටවලට අලෙවි කිරිම හරහා ය.

1977 බලයට පත් වූ ආණ්ඩුව කල්පනා කළේ එසේ ය. විවෘත ආර්ථිකය පැමිණියේ ඒ අනුව ය. ඊට මානුෂික මුහුණුවරක් දුන්නා මිස පසු ව පැවති ආණ්ඩු ද එය වෙනස් කිරීමට කරදර වූයේ නැත්තේ ජනතාව ඉදිරියේ ඔවුන් කුමක් කීව ද ඇත්ත දැන සිටි නිසා ය.

ප්‍රශ්නය නම් එසේ කළ ද අපට ස්වාධීන වීමට බැරි වීම ය. ස්වාධීන වීමට බැරි වූවාට ඒ හරහා අඩු වශයෙන් පරාධීනත්වයෙන් අපට මිදිය හැකි ව තිබුනේ ය.

මෙය තරමක ප්‍රහෙලිකාවකි. ස්වාධීනත්වයේ විරුද්ධ පදය පරාධීන ව තිබිය දි ස්වාධීන නොවී පරාධීනත්වයෙන් ගැලවිය හැක්කේ කෙසේ ද? මෙතැනින් ඔබ්බට යෑමට පෙර මේ භාෂා හරඹය අප විසින් ලිහා ගත යුතු ය.

ස්වාධීන යන පදය ඉංග්‍රීසියෙන් independent ය. පරාධීන යන පදය ඉංග්‍රීසියෙන් dependent ය. මේ දෙකටම නැති එහෙත් මේ දෙකේම සංකලනයක් වන තව පදයක් ඉංග්‍රීසි බසේ තිබේ. ඒ Inter-dependent ය. අවාසනාව අපට ඒ සඳහා සිංහල භාෂාවෙන් පදයක් හොයා ගැනීමට බැරි වීම ය. ආසන්න තේරුම අන්තර් පැවැත්ම ය. ස්වාධීනත්වයත් නැතිව පරාධීනත් නැතිව එකිනෙකා මත යැපෙන තත්වයකට කියන නම ඒක ය.

ලෝකයම යන දිසාව

මුළු ලෝකයම යන්නේ ඒ දිසාවට ය. කිසිම රටක් ස්වයං පෝෂිත නැත. ඒ නිසා ම ස්වාධින නැත. හැම රටකට ම ජාත්‍යන්තර වෙළඳාම අවශ්‍ය ය. ලෝකයේ සාමයට බාධා පමුණුවන රටවලට ආර්ථික සම්බාධක පැනවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කටයුතු කරන්නේ ලෝකයේ ආන්ඩු මට්ටු කිරීමේ හොඳම ක්‍රමය ඒක නිසා ය.

අපට අරහං ව ඇත්තේ ද මේ තත්වය ම ය. අපි ශ්‍රේෂ්ඨ ජාතියක් නිසා එවැනි ආණ්ඩු මට්ටු කිරීම් කොහොමටත් ඉවසන්නට සූදානම් නැත. ඒ නිසා ම අප උත්සහ කරන්නේ ස්වාධීන වන්නට ය. ඒ දිගින් දිගට පරාධීන මාවතේ ගමන් කරමින් වීම වෙනම දෙයකි. ඒ නිසා ඇතැම් අය කියන්නේ අප අඩුවශයෙන් අහරින් ස්වයං පෝෂිත විය යුතු බව ය. එයින් වත් ස්වාධීන විය යුතු බව ය. මොහොතකට ඒ කාරණය එසේ යැයි අපි පිළිගනිමු. එසේ පිළිගෙන ඇති වෙන්නට වී වවමු.

ආර්ථික සම්බාධක පැනවූ විට අපට හාල් තිබෙන තාක් බඩ ගින්නේ නොමැරී සිටිය හැකි යයි ඇතැම් හු විශ්වස කරති. එය ඇත්ත ද? අවාසනාවට නැත. අපට බඩ ගින්නේ මැරෙන්නට සිදු වනු ඇත්තේ ඇති පදමට හාල් තියා ගෙන ය. ඒ එසේ තිබෙනවා යැයි කියන හාල් වී වවන පළාත් වලින් සෙසු පළාත් වලට ගෙනෙන්නට නොහැකි ව ය. ඒ ඉන්ධන නැතිව අපට හාල් ප්‍රවාහනය කළ නොහැකි නිසා ය.

අප තේරුම් ගත යුත්තේ මේ යුගයේ රටක ස්වාධීනත්වය යනු විහිළුවක් බව ය. ඉන්ධන ද බොහෝ ඛණිජ ද ඇති රුසියාව වැනි විශාල රටකට විනා සෙසු රටවලට එසේ පැවතිය නොහැකි බව ය. ඒ නිසා ස්වාධීනත්වය නැමැති මිරිගුව පසුපස යනු වෙනුවට අප කළ යුත්තේ පරාධීනත්වයෙන් මිදිම ය. ඒ සඳහා ලෝකයේ සෙසු රටවල් සමග අන්තර් පැවැත්මක් ඇති කර ගැනීම ය. ඒ සඳහා අපේ දේ අප ම නිපදවා ගැනීම සෑහෙන්නේ නැත. අප කළ යුත්තේ ලෝකයට අතවශ්‍ය දේ නිපදවන රටක් බවට ද පත් වීම ය.

අතීතයේ සිදුවූ දේ

ලෝකයේ සෙසු රටවල් දෙස බැලිය යුත්තේ අප ගිල ගැනීමට මාන බලන සතුරු සමූහයක් ලෙස නොවේ. අපට ගනුදෙනු කළ හැකි තවත් සමාන රටවල් දෙස ය.

ලංකාව ඈත අතීතයේ සිටම ලෝක වෙළඳ පොළ සමග සම්බන්ධව සිටියේ ය. චීනයට අලි ඇතුන් යැවෙන්නේ පරාක්‍රමබාහු කාලයේ ය. පෙරදිග හා අපරදිග වෙළඳාම කෙරෙන වෙළඳ භූමියක් බවට එදා රට පත් ව තිබුනේ ය. භාෂා ගණනාවක් කතා කිරීමට දත් රජ කෙනෙකු අපට සිටියේ ඒ වෙළඳාම එදා රටට අතිශය වැදගත් කොට සැලකූ නිසා ය. පෙරදිග ධාන්‍යගාරය යැයි අප රටට නම් ලැබුනේ අප සෙසු ලෝකයට අවශ්‍ය ධාන්‍ය නිපදවා විකුණූ නිසා ම නොවේ. ධාන්‍ය වෙළඳාම සම්බන්ධයෙන් තොටුපලක් වූ නිසා ය. එසේ දිග්විජය කළ අප දැන් ලෝකයට බියෙන් පසු බා සිටින්නේ ස්වාධීනත්වය නැමැති බඩකඩුත්තුවක් නිසා ය.

පුංචි දරුවෙකු කුඩා කාලයේ අන් අය මත රැඳෙයි. ඒ නිසා හේ පරාධීන යැයි අපි කියමු. තරුණ වියට එළඹෙන මේ දරුවා ක්‍රමයෙන් ස්වාධීන වීමට උගනී. එහෙත් ඒ අන්තර් පැවැත්මක් ඇති පුද්ගලයෙකු ලෙස පසු කලෙක සමාජය තුළ තහවුරු වීමේ අපේක්ෂාවෙනි. කුටුම්භයක් යනු ස්වාධීන ආයතනයක් නොවේ. අන්තර් පැවැත්මක් ඇති ආයතනයකි. ඒ තුළ වුව ද ඇත්තේ එහි සාමාජිකයන් අතර අන්තර් පැවැත්මකි. එය සෙසු සමාජය සමග ද ඇති කර ගන්නේ අන්තර් පැවැත්මකි. ස්වාධීනත්වය පරාධීනත්වයෙන් ගැලවීමට පමණි. අවසානය අන්තර් පැවැත්ම ය.

ක්‍රිව 1948 දී නිදහස ලැබූ අපි ස්වාධීන වීමු. ඒ ඉක්මණින් පරාධීන විමට ය. දැන් අවශ්‍ය මේ පරාධීනත්වයෙන් මිදීම ය. ඒ සඳහා සෙසු අය සමග අන්තර් යැපුම් තත්වයකට යා යුතු ය. ඔවුන්ට අපත් ඔවුන් අපටත් අවශ්‍ය තත්වයකට අප යා යුතු ය.

1977 දී එම ගමන ආරම්භ කරන ලද නමුත් අද ඒ ගමන අප යන්නේ බකල් ගසමිනි. සිදුවෙමින් තිබෙන්නේ එම ගමනට මානුෂික මුහුණුවරක් දීම සඳහා කරන ලද ඇතැම් වැඩ නිසා අපනයන වෙළඳාමට නිසි රුකුලක් රජයෙන් නොලැබීම ය. ඒ වෙනුවට සිදු වෙමින් තිබෙන්නේ අපනයන වෙළඳාමෙන් අමාරුවෙන් උපයන විනිමය එය තව තවත් දියුණු කරනු පිණිස යොදා ගන්නේ නැති ව අර්ථ විරහිත ලෙස නාස්ති කර දැමීම ය. ඇතැම් තැනක ආරක්ෂණ ප්‍රතිපත්ති අනුගමනය කරමින් ඒ වෙළඳ෦ාමට වැට කඩොලු බැඳීම ය. වෙනත් නාස්තිකාර සහනාධාර සපයමින් මිනිසුන් තුළ දිගින් දිගට යැපුම් මානසිකත්වයක් ගොඩ නැගීම ය. ඒ තුළ රැකියා කිරිම සඳහා ඔවුන් තුළ ඇති උනන්දුව මොට කර දැමීම ය. රැකියා දීමේ වගකීම කරට ගෙන උපාධිධාරීන් දහස් ගණනින් කිසිදු අවශ්‍යතාවයක් නොමැති ව රජයේ රැකියා වලට බඳවා ගෙන ඔවුන් ද අතරමං කර රට ද අගාධයට ගෙන යෑම ය. යහපත් මහජන ප්‍රවාහන සේවයක් සපයන්නේ නැතිව ත්‍රී වීලර් සංස්කෘතියක් ගොඩ නගමින් තරුණ ජනයා ත්‍රී වීල් තුළට ගාල් කිරීම ය.

අප අද විනිමය උපදවා ගන්නේ නුපුහුණු ශ්‍රමය පිටරට පැටවීමෙනි. ඒ ගෘහ සේවිකාවන් හා රියැදුරන් හැටියට සේවය කරනු සඳහා ය. ඒ විනිමය උපයෝගී කරගෙන අපට කළ යුතු ව තිබුනේ පුහුණු ශ්‍රමය පිටරට පැටවිය හැකි රටක් බවට පරිවර්තනය වීමට ය. ගෘහ සේවිකාවන් රියැදුරන් ලෙස නොව හෙද හෙදියන් වෛද්‍යවරුන් ලෙස අපේ මිනිස් ශ්‍රමය පිටරට යැවීමට ය (දැනට සීමාසහිත ලෙස එසේ යන පිරිසක් සිටියත් ඒ උදවියගෙන් රටට වැඩක් නොවන්නේ ඔවුන් මුළුමණින් සංක්‍රමණය වන නිසා ය. ඒ සඳහාවත් නිශ්චිත ප්‍රතිපත්තියක් සකස් කර ගැනීමට අප අපොහොසත් ව ඇත).

ආණ්ඩුව කළ යුත්තේ කුමක්ද?

ලංකාවේ මේ වන විට පරිගණක මෘදුකාංග වෙළඳාම සරුවට කෙරෙයි. ආණ්ඩුව කළ යුත්තේ එවැනි නව අපනයන අවස්ථාවන්වලට රුකුල් දීම ය. ලංකාවේ මිනිසුන්ට වඩා හොඳින් කළ හැකි එවැනි නව ක්ෂේත්‍ර විමසමින් ඒවා කිරීමට ජනයාට දිරි දීම ය. මුල්‍ය ආධාර ලබා දීම ය. නිකම්මු ටිකක් බිහිකරන සහනාධාර යොමු කළ යුත්තේ රැකියා උත්පාදනය ඇති කරන එවන් ව්‍යාපාරවලට ය.

දැනටමත් අප ඉදිරියෙන් ඇති සංචාරක ව්‍යාපාරය විනිමය උපයා ගත හැකි තෝතැන්නකි. එම ව්‍යාපාරයට නව අගයක් එක් කිරීමේ බොහෝ ඉඩ පවතී. අප උසස් තත්වයේ නවීන රෝහල් බිහි කරන්නේ නම් පැමිණෙන සංචාරකයින්ට සංචාරයට අමතරව ඔවුන්ගේ රෝගවලට ප්‍රතිකාර ද ලබා ගත හැකි කේන්ද්‍රයක් බවට රට පත් කළ හැකි ය. වෛද්‍යවරුන් වීමට සිහින මවන සුදුසුකම් ඇති දක්ෂ සිසුන් ගණනාවකට ඒ මගින් සෞඛ්‍ය ක්ෂේත්‍රය විවෘත කර දිය හැකි ය. ඒ වෙනුවට අප කරමින් සිටින්නේ සුදුසුකම් ලබා පැමිණ සිටින වෛද්‍ය උපාධීධාරින්ට ද වැට කඩොළු බැඳ රටින් පන්නා දැමීම ය.

නිදහස සම්පූර්ණ කර ගත හැක්කේ එවැනි නව ක්ෂේත්‍රයන් සොයමින් ඒවා පුළුල් කරමින් කරන ආර්ථික ප්‍රතිසංස්කරණයන් මගින් පමණකි. ඒ වෙනුවට කිසිදු රටක් විසින් සාක්ෂාත් කර ගෙන නැති ස්වාධීනත්වයක් පතා දැගලීමට අප තීරණය කරමු නම් අප කරන්නේ අපට ම බොරු කර ගැනීමකි.

හැත්තෑ වෙනි නිදහස් සමරන මේ වසරේවත් හරි මග හොයා ගැනීමට අප විසින් නොපමාව කටයුතු කළ යුතු ය.

නිශාන්ත කමලදාස

නව අදහස දක්වන්න