මෙච්චර අනතුරු | දිනමිණ

මෙච්චර අනතුරු

රථවාහන පොලීසිය පෙන්වා දෙන අන්දමට ශ්‍රී ලංකාවේ රිය අනතුරු ප්‍රමාණය ඉතා ශීඝ්‍රයෙන් ඉහළගොස් තිබේ. සංඛ්‍යා ලේඛන වශයෙන් දැක්වුවහොත්; 2017 වර්ෂය තුළ සැලකිය යුතු හානි සහිත රිය අනතුරු 40,000ක් සිදුවී ඇත. මේ අනතුරු නිසා වටිනා ජීවිත 3100ක් රටට අහිමි වී ඇත. රථවාහන පොලීසිය දක්වන විද්‍යානුකූල තොරතුරුවලට අමතරව සාමාන්‍ය බැලූ බැල්මට ද පෙනී යන්නේ රටේ රිය අනතුරු වැඩි බවය. වෙනත් ලෝක දර්ශක අනුවද පෙනී යන්නේ රිය අනතුරු වැඩි බව ය. සොයා බැලිය යුත්තේ මීට හේතු සාධක කවරේද යන්න ය.

අප කළ විමසුමකදී හෙළිදරව් වී ඇත්තේ මාරක රිය අනතුරු බොහොමයක් සිදුවීමට බලපාන ප්‍රධාන සාධකය අපරික්ෂාකාරී ඉස්සර කිරීම යන්න ය. මිනිසුනට ඇත්තේ පුදුමාකාර හදිස්සියකි. සමහරුන් තමන්ගේ රිය ධාවනය කරනුයේ ඊයේ යා යුතු ගමනක් අද යන අයුරින් ය. තව සමහරුන් රිය ධාවනය කරනුයේ තමන් වේගයෙන් යා යුතු ය. තමන් ප්‍රධානය යන අදහස ඇතිව ය. තවත් සමහරුන් රිය ධාවනය කරනුයේ තමන්ගේම සිතැඟි අනුව ය. ඔහු ගමනක් යයි. ඊට පාර නිදහස්ව තිබිය යුතු ය. මේ සියල්ල ම වැරැදි ය. අතාර්තික ය.

රථවාහන පොලීසිය පෙන්වා දෙන අන්දමට අපේ රිය අනතුරු ඉහළ යෑමට හේතු සාධක ගණනාවක් තිබේ. මාර්ග නීති හා සංඥා නොපිළිගැනීම එක හේතුවකි. අධික වේගය තව හේතුවකි. අනාරක්ෂිත ලෙස රිය පැදවීම තවත් හේතුවකි. බීමත්ව රිය පැදවීම ද නොසැලකිල්ල ද, ඇතැම් වාහනවලට ඔරොත්තු නො දෙන තරම් බර පටවාගෙන යෑම ද අනතුරුවලට තවත් හේතුවක් වී තිබේ. සමහර යතුරු පැදිවල හතර දෙනෙක් යති. තව සමහර ත්‍රිරෝදරථවල හත් දෙනෙක් යති. තවත් සමහර කුඩා ලොරි රථවල ඊට ඔරොත්තු නොදෙන තරම් බර පටවාගෙන යති. මේ සියල්ලම අනතුරකට අත වනන බව අමුතුවෙන් කිව යුතු නැත.

රථවාහන පොලීසිය පෙන්වා දෙන අන්දමට ගිය වසරේ රිය අනතුරු 40,000ක් සිදු වූවා පමණක් නොව; එයින් 3100ක් මිය ගොස් ඇත. ඊට අමතරව 7500ක් දෙනා බරපතළ තුවාල ලබා සිටිති. බරපතළ තුවාල ලැබීම යනු සංකීර්ණ තත්ත්වයක්. සමහරු සදාකාලික අබ්බගාතයෝ බවට පත් වෙති. සමහරු තමන්ගේ දෛනික කටයුතු කරගත නොහැකි තත්ත්වයට පත් වෙති. තව සමහරු රාජකාරි කරගත නො හැකි තත්ත්වයට පත් වෙති. තවත් සමහරු ආබාධිත බව නිසාම ජීවිතය කඩාකප්පල් කර ගනිති. මේ සියල්ල සැලැකිය හැක්කේ විනාශයන් හැටියට ය.

අපේ සමාජය තුළ රිය අනතුරු පිළිබඳ හැඟීම හා අවබෝධය අඩු ය. වාහනයක් ගත් සැණින් අනෙකා පරයා ඉදිරියට යෑම බොහෝ දෙනෙකුගේ ඉලක්කය වී තිබේ. එක අතෙකින් අපේ රටට ඔරොත්තු නොදෙන තරම් රථවාහන සංඛ්‍යාවක් රටේ පවතී.

තව අතෙකින් එම රථවාහනවලට ධාවනය කළ හැකි තරම් පුළුල් මාර්ග පද්ධතියක් රටේ නැත. මාර්ග පද්ධතිය සකස් විය යුත්තේ රටේ භූමි ප්‍රමාණය භූවිෂමතාව, ආර්ථිකය ආදී කරුණු සැලැකිල්ලට ගනිමින් ය. අපට තවත් රථවාහන අවශ්‍ය ද යන්න එක්තරා ගැටලුවකි. එහෙත් පෞද්ගලික වාහන සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යයි.

පෞද්ගලික වාහන සංඛ්‍යාව ඉහළ යෑමට ප්‍රධාන හේතුවක් බවට පත්ව ඇත්තේ පොදු ප්‍රවාහන සේවය දුර්වල වීම ය. අපේ දුම්රියක ගමන් කළ හැකි ද? එදිනෙදා රාජකාරි සඳහා යනෙන පිරිස් හැර සංචාරකයන් වැනි මඟීනට පහසුවෙන් ගමන් කළ හැකි දුම්රිය සේවයක් අපට නැත. බස්රථ සේවාව ගැන කතා කිරීම ද පළක් නැති ක්‍රියාවකි. මීට අමතරව නගරාශ්‍රිත සාර්ථක ප්‍රවාහන සේවාවක් අපට නැත. මේ හේතු නිසා පෞද්ගලික රථවාහන බහුල ලෙසින් මහාමාර්ගයට පිවිසේ. එය වැළැක්විය නොහැකි සාධකයක් ලෙස පවතී.

කුමක් වුව අපරීක්ෂාකාරී රිය ධාවනය යන්න අනතුරු සමඟ තදින් බැඳී සිටී. අපේ රියැදුරන් කහඉරි ළඟවත් නැවැත්වීමට උත්සුක වන්නේ නැත. කහ ඉර පදිකයන්ගේ හා මගීන්ගේ පූර්ණ අයිතියකි. එහෙත් කහ ඉර මත සිදුවූ රිය අනතුරුවලින් ශ්‍රී ලංකාවේ විශාල පිරිසක් මිය ගොස් සිටිති. දියුණු රටවල මෙවන් තතත්වයක් නැත. කහ ඉරකින් පදිකයන් මාරුවන තුරු ඉවසා සිටීමට බැරි රියැදුරෝ අප අතර බහුල වෙති. එබඳු රියැදුරන් රිය ධාවනයට සුදුසු වන්නේ නැත. මෙබඳු ඉක්මන්කාරයන් නිසා රටේ රිය අනතුරු ඉහළගොස් ඇතැ’යි කෙනකු තර්කයක් මතු කළ හොත් අපට ඊට එකඟවීමට සිදු වේ. මේවායෙහි පුළුල් අර්ථය වන්නේ රිය අනතුරු සම්බන්ධයෙන් සමාලෝචනයක් අවශ්‍ය බව ය.

රථවාහන පොලීසිය පෙන්වා දෙන අන්දමට අපේ රිය අනතුරු ඉහළ යෑමට රියැදුරන් මෙන්ම පදිකයන්ද වගකිව යුතු ය. පදිකයන් යන්නෙන් අදහස් වන්නේ මහජනයා යන්න ද අමතක නොකළ යුතුය. සරල නිදසුනක් ගතහොත් පාර මාරුවීමේදී නියමිත නීතිය හා සම්ප්‍රදාය අනුගමනය කරන්නට පෙළඹෙන්නේ කලාතුරෙකින් කෙනකු පමණි. කහ ඉරි, සුදු ඉරි තිබියදී අනතුරුදායක තැන්වලින් පාර මාරුවන බොහෝ අය සිටිති. මෙය විග්‍රහ කළ හැක්කේ නොසැලකිල්ල ලෙසය. නොසැලකිල්ල පවතින තාක් රිය අනතුරු වැළැක්විය නොහැකි ය.

ජනතාව අනිවාර්යයෙන් සලකා බැලිය යුතු කරුණු දෙකක් තිබේ. එක; තමන් රිය පදවන්නේ නම් නියමිත නීතියට අනුව රිය පැදවිය යුතු බව ය. දෙක තමන් මහා මාර්ගයේ ගමන් කරන්නේ නම්; නිසි පිළිවෙළකට හෙවත් නීතියකට ගමන් කළ යුතු බව ය.


නව අදහස දක්වන්න

Or log in with...