මැටිහක්ක මරුකටක් | දිනමිණ

මැටිහක්ක මරුකටක්

එල්ලාවල ගඟේ මැටිහක්ක තොටුපළෙන් එගොඩ මෙගොඩ යාමට සිදු වී තිබෙන්නේ මහත් වූ අවදානමක් කරපින්නාගෙනයි. කණුග්ගල්ල, එල්ලාවල, පහළගම.ඉහළගම ඇතුළු ගම්මානවල වැසියන් තම අවශ්‍යතාවලට මෙම මාර්ගය භාවිත කරනුයේ එය ඉතා කෙටි මාර්ගයක් බැවිනි.මෙම ස්ථානයට කම්බි පාලමක් හෝ ලබා දෙන ලෙස වරින්වර කළ ඉල්ලීම් ගඟ දියේම ගසාගෙන ගොස් ඇති බවට ඔවුහු මැසිවිලි නඟති.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සෙනවිරත්න බණ්ඩාර මහතා -

පාසල් දරුවන් ඇතුළු විශාල පිරිසක් මෙතැනින් එගොඩ මෙගොඩ යනවා.මේ ප්‍රදේශයට වැඩි කාලයක් තිබෙන්නෙ වැස්ස. වර්ෂා දිනවලට හරිම දුෂ්කරයි.දරුවන් පාසල් යන එන විටත් ගඟෙන් එගොඩ කරන්න වෙනවා.සමහර දිනවල එක් අයෙක් හත්අට දෙනා එගොඩ කරනවා. සපත්තු මේස් දාන්නේ ගඟෙන් එගොඩ වෙලා. ගඟේ වතුර වැඩි දිනවලට මවුපියන් දරුවන් හිස මත තබාගෙනයි එගොඩ කරන්නේ. මෙම ස්ථානයේ දරුවෙක් දියේ ගිලි මියගියා. එක් අවස්ථාවක පාලමක් ඉඳිකිරීම සඳහා ස්ථාන පරික්ෂණයකුත් කළා. ගමේ අයගේ එකම ඉල්ලීම කම්බි පාලමක් හෝ ලබා දෙන ලෙසයි.

හිටපු සබරගමු පළාත් සභා මන්ත්‍රී නමින්ද අනුරප්‍රිය මහතා-

මේක කෘෂිකාර්මික මාර්ගයක්.ගොවිතැන් කටයුතුවලට අවශ්‍ය පොහොර,යන්ත්‍ර සූත්‍ර මෙන්ම ගොවි නිෂ්පාදන රැගෙන එන්නේද මෙතැනින්.මගේ මුදල් ප්‍රතිපාදන යොදවා ගඟ ළඟට එන මාර්ගය කොන්ක්‍රීට් යොදා සකස් කළා. නමුත් ගඟෙන් එගොඩ වෙන්න ක්‍රමයක් නෑ. මා ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයකුව සිටි කාලයේ සිටම පාලමක් ලබාගැනීමේ යෝජනාව ඉදිරිපත් කළත් එය ඉටු කරගැනීමට නොහැකි වුණා.

රූපිකා කේ.බණ්ඩාර
කුරුවිට සමූහ 

 

නව අදහස දක්වන්න