ඩී.ආර්. විජයවර්ධන ජන්ම සමරු සතිය | දිනමිණ

ඩී.ආර්. විජයවර්ධන ජන්ම සමරු සතිය

නන්ද සෙනෙවිරත්න යනු ඩී. ආර්ගේ බෑනා කෙනෙකි. ඩී. ආර්. නිතර ගමන් බිමන් යාමේදී නන්ද කැඳවාගෙන ගියේ තම ආරක්ෂාවට වඩා ඔහුට පැවති ළෙන්ගතුකම නිසා විය හැකිය. අප දන්නා කාලයේ පවා බොහෝවිට, කර්තෘ මණ්ඩල වෙත පැමිණි නන්ද හාමු බොහෝ පැරණි කතා කීම පුරුද්දක් කරගෙන සිටියේය.

වරක් ඩී. ආර්. නන්ද බෑනන්ඩිය සමඟ එකල ලංකාවේ හොඳම පොල් වගාවක් ලෙස නම් දරා තිබුණ ගල්පොකුණ වත්තට පැමිණ සිටියේය. ගල්පොකුණ වත්තේ ගාල්කර සිටි ඇතින්න ඩී. ආර්.ගේ විශේෂ අවධානය ලැබීය. වත්තට ගිය වහා නන්ද ඇතින්න වෙත යා යුතුව තිබිණ. ඒ අලිකාරයන්ගේ හෙණ්ඩු පාරවල් නිසා සිදුව ඇති තුවාල ගණන පරීක්ෂා කර ලොක්කාට වාර්තා කිරීම පිණිසය. තමන්ට පැවරුණ කාර්ය සිදුකරන අතර, බංගලා භාරකාර අප්පුහාමි පැමිණ වහා ලොක්කා හමුවන ලෙස දැන්වූ බව නන්ද හාමුට දැන්වීය. නන්ද ලොක්කා වෙත යනවිට ඔහු හමුවේ කඳුලු වගුරවමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු සිටිනු දැකීය. ස්වරූපයෙන් දෙදෙනා මවක සහ දුවණිය බව නන්ද තේරුම් ගත්තේය. කල්පනාවේ නිමග්නව සිටි ඩී. ආර්. නන්ද දුටු වහා දොඩමලු විය.

“නන්ද අපට ප්‍රශ්නයක්... මෙහෙන් වාඩිවුණා නම්.. එසේ කී ලොක්කා කතා කරන්නට පටන් ගත්තේය.

“නන්ද මේ තැනැත්ති මේ ගමේ කෙනෙක්. මේ ඉන්නේ එයාගේ දියණිය. දුවගේ විවාහයට දෑවැද්දට සල්ලි මදිවෙලා ඇවිත් තියෙන්නේ. එයා මට කියනවා එයාගේ අක්කර 10ක පොල්වත්ත රුපියල් පන්දාහකට අරගන්න කියලා.මේ පවුල අමාරුවක වැටිලා ඉන්නේ. ඒ නිසා ඒක මට කොහොමටවත් කරන්න බැහැ.” අවශ්‍ය මුදල් ඇයට දීමට ඩී. ආර්.ට වුවමනා වී ඇති බව නන්ද සෙනෙවිරත්න තේරුම් ගත්තේය.

“නන්ද දැන්ම ගුණසේකර (රියැදුරු) එක්ක කොළඹ යන්න. කන්තෝරුවට ගිහින් මේ තුණ්ඩුව දීලා රුපියල් පන්දහසක් අරන් එන්න.” එක් වරුවක් තුළ මවත් දියණියත් තමන් වෙත කැඳවූ ඩී. ආර්. ඔවුන්ට අවශ්‍යව තිබුණ රුපියල් පන්දහසක මුදල ඔවුන් අත තැබීය.

“මෙන්න අවශ්‍ය මුදල. මේක බාරගන්න. මට ඔබේ ඉඩම එපා. පුළුවන් වෙලාවක ‍මේ සල්ලි ආපසු මට ගෙනත් දෙන්න. “ඩී. ආර්. අඟලෙන් අඟල තම වතුයාය ලොකු කර ගැනීමේ රෝගයෙන් පෙළුණු සාම්ප්‍රදායික වතුකාරයෙක් නොවීය. සිය කුලුදුල් දරුවාද වඩාගෙන මව සමඟ පැමිණි අර දියණිය ඩී.ආර්.ට අර රුපියල් පන්දාහේ මුදල භාරදුන් බවද නන්ද සෙනෙවිරත්න මේ කතාව අවසන් කරමින් කියා තිබිණ. 

නව අදහස දක්වන්න