දේශීය නිෂ්පාදන මිලදී ගැනීමට අනුමැතිය නොදීමෙන් ගැටලු රැසක් | දිනමිණ

දේශීය නිෂ්පාදන මිලදී ගැනීමට අනුමැතිය නොදීමෙන් ගැටලු රැසක්

සන්ධ්‍යා කරුණාරත්න

සෞඛ්‍ය අමාත්‍යාංශ වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂවරයා දේශීය නිෂ්පාදන මිල දී ගැනීම (Buy back) සඳහා සැපයුම්කරුවන්ට අනුමැතිය ලබා නොදීම හේතුවෙන් ගැටලුකාරී තත්ත්වයක් උද්ගතව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

ඉතා ඉක්මණින් මේ ක්‍රමය ක්‍රියාවට නංවා අවශ්‍ය ඖෂධ සපයා ගන්නා ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා උපදෙස් ලබා දී තිබියදීත් එය ක්‍රියාත්මක නොකර දිනෙන් දින මේ ක්‍රමය අනුමත කිරීම කල් දැමීම හේතුවෙන් සැපයුම්කරුවන් අතර ගැටලුකාරී තත්ත්වයක් පවතින බව ද එම ආරංචි මාර්ග පවසයි.

වෛද්‍ය සැපයීම් අංශයට පැමිණෙන දේශීය ඖෂධ සපයන්නන් රජයේ ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව වෙත යැවීමට වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂවරයා උත්සාහ කරන බවත් වෛද්‍ය සැපයීම් අංශය සමඟ අත්සන් කරන ගිවිසුම වසර පහක් සඳහා වන අතර, රජයේ ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සමඟ අත්සන් කරන ගිවිසුම අවුරුදු පහළොවකට වලංගු වන බවත් වාර්තා වේ.

රජයේ රෝහල්වලට අවශ්‍ය ඖෂධ රජයේ ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව හරහා වෛද්‍ය සැපයීම් අංශයට මිල දී ගෙන සිදු කරන ක්‍රියාවලිය හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මුදල් අනවශ්‍ය ලෙස නාස්තිවීමකට ලක් වන බවත් මිලියන ගණන්වලින් සිදු වන එම නාස්තිය වළක්වා එය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුව සඳහා යෙදවීමට හැකි බවත් එම ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

ගත වූ වසර තුන තුළ දී වෛද්‍ය සැපයීම් අංශයෙහි වංචා දූෂණ වැඩි වශයෙන් සිදු වී ඇති බවට වාර්තා වන්නේ යැයි ද, මේ අක්‍රමිකතා හේතුවෙන් ආණ්ඩුවට සිදු වන මුදල් පාඩුව සම්බන්ධයෙන් වගකිව යුත්තන් සොයා බැලිය යුතු යැයි ද එම ආරංචි මාර්ග පවසයි.

රජයේ ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවෙහි නිසි ක්‍රමවේදය වනුයේ එම ආයතනයෙන් ඖෂධ ඇතුළු ශල්‍ය ද්‍රව්‍ය නිෂ්පාදනය කර රජයේ රෝහල්වලට ලබාදීම වුවත් එමඟින් දැනට සිදු කරනුයේ ද දේශීය වශයෙන් අඩු මිලකට පිටතින් මිල දී ගෙන වැඩි මිලකට වෛද්‍ය සැපයීම් අංශයට ලබාදීම යැයි ද, උදාහරණයක් ලෙස කොට්න් ක්‍රේප් බැන්ඩේජ් රුපියල් හතළිස් පහක් වැනි අඩු මුදලකට දේශීය නිෂ්පාදකයාගෙන් මිල දී ගෙන එය රුපියල් 97.50 කට වෛද්‍ය සැපයීම් අංශයට ලබා දී ආණ්ඩුවේ මුදල් අනවශ්‍ය ලෙස නාස්ති කිරීමක් යැයි ද එම ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකිව යුතු නිලධාරීන් සොයා බලා වැරැදි නිවැරැදි කිරීමට උත්සාහ ගන්නේ නම් අමාත්‍යාංශය හරහා වංචා කරන කෝටි ගණනක මුදල් මහජන සේවය සඳහා යෙදවීමට හැකි වනු ඇතැයි ද එම ආරංචි මාර්ග පවසයි. 


නව අදහස දක්වන්න

Or log in with...