‘මත් රකුසාගෙන් මීගමුව බේරා ගනිමු’ මත් විරෝධී පා ගමන සහ රැලිය 25දා | දිනමිණ

‘මත් රකුසාගෙන් මීගමුව බේරා ගනිමු’ මත් විරෝධී පා ගමන සහ රැලිය 25දා

උපාලි කරුණාරත්න

‘මත් රකුසාගෙන් මීගමුව බේරා ගනිමු’ මැයෙන් මීගමුව කලාපයේ මත් විරෝධී පා ගමන සහ රැලිය මේ 25 දින පස්වරු 3.00ට අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සහ මීගමුව ප්‍රදේශයේ සියලුම ආගමික නායකයන්ගේ සහභාගීත්වයෙන් මීගමුව නගරයේ දී පැවැත්වේ.

මේ බැවු අනාවරණය වූයේ ඊයේ (19) බොරැල්ල අගරදගුරු මැදුරේ දී පැවැති මාධ්‍ය හමුවේදීය.

මත්ද්‍රව්‍ය මැඬලීම සඳහා අදාළ ආයතන ඉතා ක්‍රමවත් වැඩපිළිවෙළක් යටතේ ක්‍රියාත්මක විය යුතු යැයි ද පැවැසූ අගරදගුරු හිමිපාණෝ තරුණ පරපුර විනාශ කිරීමට කිසිවකුට ඉඩ දිය නොහැකි බව ද ප්‍රකාශ කළහ.

එහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ,

මීගමුව ප්‍රදේශයේ පවතින මත් උවදුර පිළිබඳ එම ප්‍රදේශයේ පියතුමන්ලා මාව දැනුවත් කළා. පාසල් යන කුඩා දරුවන් ඔවුන්ට නොදැනී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව ඔවුන් පෙන්වා දුන්නා. මේ මත්උවදුර මීගමුවට පමණක් සීමාවන දෙයක් නොවේ. එය ශ්‍රී ලංකාව පුරා ව්‍යසනයක් ලෙස පැතිර තිබෙනවා. රාගම ප්‍රදේශයේ ද මෙවැනි ගැටලුවක් මීට පෙර ඇති වුණා. අප එයට විරෝධය දැක්වූවා. මත්ද්‍රව්‍ය නිසා අනාගත පරම්පරාව විනාශ වෙනවා. මේ පිටුපස බලවත් පුද්ගලයන් සිටිනවා. මත්ද්‍රව්‍යවලට එරෙහිව අප දිගින් දිගටම විරෝධය පළ කළ යුතුයි. මීගමුව ප්‍රදේශයේ පවතින මත්ද්‍රව්‍ය උවදුර පිටු දැකීම සඳහා භික්ෂූන් වහන්සේලා, පියතුමන්ලා ඇතුළු අන්‍ය ආගමික නායකයන් සම්බන්ධ කරගනිමින් අප විරෝධය පළ කරනවා. ඒ අනුව මේ 25 දින මීගමුව නගරයේ පැවැත්වෙන මත්ද්‍රව්‍යවලට එරෙහි රැලියට විශාල පිරිසක් සමඟ පාගමනින් අප මාරිස්ටෙලා විදුහල් භූමියේ සිට ගමන් කරන අතර, මේ සඳහා දරුවන් මත් උවදුරින් බේරා ගැනීම සඳහා කටයුතු කරන සියලු දෙනාට ජාති ආගම් භේදයෙන් තොරව සහභාගි වන ලෙස ආරාධනා කර සිටිනවා. ඔරලෝසු කණුව අසල දී රැස්වීම පවත්වනවා.

මත් උවදුර නැති කිරීම සඳහා ජනාධිපතිවරයා විශේෂ කාර්යය සාධක බළකායක් පිහිටුවා වැඩපිළිවෙළක් සංවිධානය කළා. අප ඒ වැඩ පිළිවෙළින් ලබා දී ඇති ප්‍රතිඥාව පවත්වන රැලියේ දී ලබා ගන්නවා. මේ අවස්ථාවේ දී බලධරයන්ගෙන් ඉල්ලන්නෙ ශ්‍රී ලංකාව පුරා ඇතිවී තිබෙන මත් උවදුර මැඬ පැවැත්වීම සඳහා ක්‍රමවත් ඉක්මන් පියවර ගන්නා ලෙසයි. මත් උවදුර මැඬලීම සඳහා සියලුම ප්‍රදේශවල සිටින ආගමික නායකයන්ට ද ක්‍රියා කළ හැකියි. මත් ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට පැමිණීම වැළැක්විය යුතුයි. මත්ද්‍රව්‍ය නිෂ්පාදනය, ගෙන එන්නන් සම්බන්ධයෙන් දැඩි නීති ක්‍රියාත්මක කළ යුතුයි. මත් ද්‍රව්‍ය නිසා අනාගත ශ්‍රී ලාංකිකයන් විනාශ වෙනවා. මමත් මීගමුව නගරයේ පැවැත්වෙන පා ගමනට සහභාගි වනවා.

සමහර රටවල මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මරණීය දණ්ඩණය ක්‍රියාත්මකයි. අප අනුකම්පාව සහ දයාව ක්‍රියාත්මක කළ යුතුයි. නමුත් කිසිවකුට තරුණ පරපුර විනාශ කරන්න ඉඩ දෙන්න බැහැ. නම්බුකාර ආකාරයෙන් මුදල් උපයන ක්‍රම තිබෙනවා. නමුත් අශික්ෂිත ලෙස මුදල් හම්බ කිරීම අප අනුමත කරන්නෙ නැහැ. පොඩි දරුවකුට ලොසින්ජරයක් දී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කිරීම අනුමත කරන්න බැහැ. රජයේ ආයතන මීට වඩා මේ පිළිබඳ හොඳ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. සමහරු දේශපාලන පාඨයක් ලෙස පමණයි මත්ද්‍රව්‍ය මැඬලීම පිළිබඳ කතා කරන්නෙ. සමහරු මත්ද්‍රව්‍ය මැඬලීම සෝබනයට කරන බවත් පෙනෙනවා. මත්ද්‍රව්‍ය ගැටලුව ජාතික ප්‍රශ්නයක්. පොලිසිය, නීති සම්පාදනය කරන ආයතන මත්ද්‍රව්‍යවලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව කටයුතු කළ යුතුයි. අදාළ අයට දඬුවම් ලබාදිය යුතුයි. රටට මත්ද්‍රව්‍ය ගෙනෙන සංවිධාන පිළිබඳ බුද්ධි අංශ සොයා බැලිය යුතුයි. මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධය අප කළ යුතුයි. 

 

නව අදහස දක්වන්න