රාජ්‍ය සේවා කොමිසමටම වෙන් වූ නව කාර්යාලය විවෘත කිරීම අද | දිනමිණ

රාජ්‍ය සේවා කොමිසමටම වෙන් වූ නව කාර්යාලය විවෘත කිරීම අද

1946 මැයි මස 15 දිනැති ලංකා (ආණ්ඩුක්‍රම) රාජාඥාව මගින් ප්‍රථම වරට ස්ථාපනය කරන ලද රාජ්‍ය සේවා කොමිෂන් සභාව එතැන් පටන් මේ දක්වා රාජ්‍ය සහ පෞද්ගලික අංශයට අයත් ගොඩනැගිලි කිහිපයකම කුලී පදනම මත පවත්වා ගෙන යන ලදී. රාජ්‍ය සේවා කොමිෂන් සභාව ස්ථාපනය කර වසර 70ක් සපුරන මේ අවස්ථාව වන විට එම කොමිෂන් සභාව සඳහාම වෙන් වූ නව කාර්යාල පරිශ්‍රයක් අංක 1200/9, රජමල්වත්ත පාර, බත්තරමුල්ල යන ස්ථානයේ, අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත රුපියල් මිලියන 670ක ප්‍රතිපාදන උපයෝගී කරගෙන අභිනවයෙන් ඉදි කර ඇත. එම රාජ්‍ය සේවා කොමිෂන් සභා නව කාර්යාල පරිශ්‍රය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක සහ ව්‍යවස්ථාදායක සභාවේ සභාපති කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ජනාධිපති ලේකම්, අග්‍රාමාත්‍ය ලේකම් ඇතුළු රජයේ ප්‍රමුඛ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අද දින පෙ.ව.10.30 ට විවෘත කිරීමට නියමිතය.

රාජ්‍ය සේවා කොමිෂන් සභාව යටතේ පිහිටුවා ඇති සෞඛ්‍ය සේවා කමිටුව සහ අධ්‍යාපන සේවා කමිටුව ද මේ පරිශ්‍රයෙහිම ස්ථාන ගත කර ඇති අතර, දහ නව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව රාජ්‍ය නිලධාරීන් පත් කිරීම, උසස් කිරීම, ස්ථාන මාරු කිරීම හා ඔවුන් විෂයයෙහි විනය පාලනය කිරීම පිළිබඳ බලතල එම කොමිෂන් සභාව වෙත පැවැරී ඇත.

නවීන පහසුකම් සහිත නව කාර්යාල පරිශ්‍රය යටතේ, එම කොමිෂන් සභාවේ සභාපති ඩී. දිසානායක මහතා ප්‍රමුඛ කොමිෂන් සභා සාමාජික මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් ජාතියේ විශිෂ්ටත්වය සඳහා කැප වූ රාජ්‍ය සේවයක් උදෙසා කටයුතු කිරීම එම කොමිෂන් සභාවේ අපේක්ෂාවයි. 

නව අදහස දක්වන්න