අපවත්වී වදාළ ශ්‍රී සාරානන්ද සඟ පරපුරේ ගිරාඹේ ආනන්ද නාහිමිපාණෝ | දිනමිණ

අපවත්වී වදාළ ශ්‍රී සාරානන්ද සඟ පරපුරේ ගිරාඹේ ආනන්ද නාහිමිපාණෝ

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ උපසම්පදා පුණ්‍ය මහෝත්සවය සඳහා රාජ්‍ය ගෞරවය ලබාදීම ආරම්භ වුණේ අනුරාධපුරයෙන්. ඒ අනුව බලනවිට සාරානන්ද සඟ පරපුරින්, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායට විශාල ගෞරවයක් සැලසුණා. 2010 වසරේ පැවති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 67 වැනි උපසම්පදා විනය කර්මයත් අනුරාධපුර පූජා නගරයේ සිදුකළා. මේ පුණ්‍ය කර්මයේදීත් අපගේ මැදිහත්වීමෙන් කුල දරුවන් 135 දෙනෙක් පැවිදි කරන්න හැකිවුණා.

අනුරාධපුර ශ්‍රී සාරානන්ද පිරිවෙන් මහා විහාරාධිපති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක, ගිරාඹේ ආනන්ද නාහිමිපාණෝ එදා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මෙන් දෙව් මිනිසුන්ගේ සතුටට හේතුවන අයුරින් සීලවන්තව, ගුණවන්තව, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්තව දෙව් මිනිසුන්ගේ චිත්ත ප්‍රසාදය ඇති වන ආකාරයෙන්, සම්මා සම්බුද්ධ ශාසනය බැබළ වූ මහ තෙරනමකි.

එවන් උදාර ගුණ සමුදායකින් යුත් ඒ උත්තම බුද්ධ පුත්‍රයාණන් වහන්සේගේ ජීවන තොරතුරු, උන්වහන්සේගේම වදනින් මම මෙසේ සනිටුහන් කරන්නෙමි.

ජන්ම භූමිය

මා උපන්නේ වයඹ පළාතට අයත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ, උඩපොළ, ඕතොට කෝරළයේ, ගිරාඹේ කියන ග්‍රාමවරයේ දී. මගේ උපන් දිනය ලෙස සඳහන් වී තිබෙන්නේ වර්ෂ 1938 දී.රෝහල් පහසුකම් තිබුණේ නැහැ. ගමේ වෙද මහත්තයා තමයි, කාගේත් දුකට සැපට පිහිට වුණේ. මගේ තාත්තා අතින් රෝගීන් දහස් ගණනක් සුවපත් වන්න ඇති.

මගේ මෑණියන් වහන්සේගේ නම බේබිනෝනා. එතුමියගේ ගම, පොල්ගහවෙල, මගේ තාත්තාගේ ගම ගිරාවේ. මට සහෝදරයන් දෙන්නෙක් සිටියා. සහෝදරියන් 8 දෙනයි. එක්කෙනෙක් ළමා වියේදීම නැතිවෙලා. මගේ පවුලේ මාත් සමඟ 11 දෙනයි. දැනට මගෙ වැඩිමහල් සහෝදරියන් දෙදෙනාම ජීවතුන් අතර නැහැ. ලොකු අයියත් නැති වුණා. මට බාල සහෝදරයෙකුත් නැති වුණා. අනෙක් අය ජීවතුන් අතර ඉන්නවා. එදා අපේ පියාණන් වහන්සේත්, කාලයට තාලයට ගැළපෙන ආකාරයෙන් හොඳ දරු පවුලක් හදාගෙන මගේ අම්මාත්, ඒ දරුවනුත් සමඟ සතුටින් ජීවත් වුණා.

මූලික අධ්‍යාපනය

අපේ ගමේ පන්සලක් තිබුණා. ඒක අයිති වෙලා තිබුණේ පොල්ගහවෙල විජයානන්ද පිරිවෙනේ වැඩ විසු , මාත්ගමුවේ පඤ්ඤාසේකර ලොකු හාමුදුරුවන් වහන්සේට, අද වාගෙම ඒ කාලෙත් පවුලකට දරුවෙක් උපන්නට පස්සේ, බහ තෝරන අවධියේදී අත පොත් තබනවා. ඒක සමහර දෙමාපියෝ සලකන්නේ මංගල්‍යයක් හැටියටයි. එදා අවුරුදු තුනේ දී පමණ, සුබ නැකතින් මගේ අත පොත් තැබුවේ. මාත්ගමුවේ පඤ්ඤාසේකර නායක හාමුදුරුවෝ.

පුංචි කාලේ ඉඳලාම මා ඉගෙනීමට ආදරය කළා. මගේ තාත්තා නිතර බණ කතා, ගැමි කතා ආදිය කියලා දුන්නා. මගේ අක්කලත්, අයියලත් මාව ළං කරගෙන පාඩම් කියලා දුන්නා. නිසි වයස් එළඹිමෙන් පස්සේ අවුරුදු 5දී පමණ මාව රත්මල්ගොඩ මහා විද්‍යාලයට භාර දුන්නා. ඒ පාසලේ දෙවැනි පන්තිය දක්වා මා ඉගෙන ගත්තා. ගුරුවරුන්ගේ ආදරය කරුණාව නොඅඩුව මා වෙත ලැබුණා.

මහණකමට යොමුවීම

සියඹලාණ්ඩුවේ කස්සප හාමුදුරුවෝ මගේ ඥාති සහෝදර හාමුදුරු නමක්. උන් වහන්සේ මගේ බාප්පා කෙනෙක්ගේ දරුවෙක්. ඒ ඥාති සම්බන්ධය නිසා උන්වහන්සේ අපේ ගෙදරට නිතර එනවා යනවා. දවසක් අපේ තාත්තාව හමුවෙන්න, උන්වහන්සේ වැඩම කළා. එදා අපේ කුඹුරුවල කමත් ගහනවා. බැත සාදනවා. මාත් බැත මලුවල දමාගෙන, ගෙදරට ගේන්න උදවු වුණා.

මාත් බැත මල්ලක් උස්සාගෙන ගෙදර එනකොට කස්සප හාමුදුරුවෝ ඇහුවා ‘මල්ලී, උඹට මහණ වෙන්න බැරිදැ’යි කියල. මම කිව්වා ‘ පුළුවන්’ කියලා. තාත්තාගෙනුත්, අම්මාගෙනුත් ඇහුවා. මට තියෙන ආදරය නිසා අම්මා ටිකක් අකමැති වුණත්, තාත්තාගේ කැමැත්ත දුන්නා. ඊට පස්සේ අපේ සියඹලන්ගමුවේ කස්සප හාමුදුරුවෝ මාව පේරාදෙණියේ සාරානන්ද විහාරයට එක්කරගෙන ආවා. එය සිදු වුණේ 1949 අවුරුද්දෙ, ජනවාරි මාසේ 01 වැනිදා.

එදා සාරානන්ද පිරිවෙන හඳුන්වනු ලැබුවේ, විජයවර්ධනාරාමය කියලයි. කස්සප හාමුදුරුවෝ මාව එවකට විහාරාධිපතිව වැඩ විසු අතිපූජනීය සියඹලන්ගමුවේ ගුණරතන නායක හාමුදුරුවන්ට භාර දුන්නා. උන්වහන්සේ මාව ඉතාම ආදරයෙන්, කරුණාවෙන්, සෙනෙහසින් බාර ගත්තා. මවුපියන්ගෙන් ඈත්ව සිටි මා, දින කිහිපයක් ගත වන තුරාම තරමක කාන්සියෙන් සිටියත්, නායක හාමුදුරුවන්ගේ ආදරය හා කරුණාව නිසාත්, මගේ ඥාති සහෝදර කස්සප හාමුදුරුවෝ නිසාත්, ඒ තත්ත්වයෙන් තරමක් හෝ මිදුණා.

මා පැවිදි වීමට පෙර මාස 9ක පමණ කාලයක් පිරිවෙන් විහාරයේ නතර වී සිටියා. එහිදී පැවිදි වීමට අවශ්‍ය මූලික බණ දහම් ඉගෙන ගත්තා. සියඹලන්ගමුවේ නායක හාමුදුරුවෝ මහා උගතෙක්. ඒ වගේම වියතෙක්. උන්වහන්සේගේ මඟ පෙන්වීම අනුව මහණකමට අවශ්‍ය බණ දහම් වගේම බුද්ධ ගජ්ජය, සකස් කඩය , නාමාෂ්ඨ ශතකය, ගණදෙවි හෑල්ල, උම්මග්ග ජාතකය, සද්ධර්මරත්නාවලිය ආදී පොත් කටපාඩම් කෙරෙව්වා. කතන්දර කියා දුන්නා.උපසම්පදා අධිශීලයට පත් වුණේ. මෙය සංවිධාන කරන ලද්දේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කුරුණෑගල ප්‍රාදේශීය සංඝ සභාවේ මූලිකත්වයෙන්. මගේ පැවිදි ආචාර්ය පාදෝත්තම සියඹලන්ගමුවේ ගුණරතන නාහිමිපාණන් වහන්සේ, උපසම්පදාවේදීත් මගේ ආචාර්යවරයා ලෙස කටයුතු කළා. උපසම්පදාවෙන් පසු මා රඹුක්කන, යෝධගම අශෝකාරාමයට වැඩම කළා. 1958 සිට 1960 දක්වා වර්ෂ දෙකක තරම් කාලය තුළ මා එහි සංවර්ධනයට ඉමහත් දායකත්වයක් ලබා දුන්නා.

පේරාදෙණිය සාරානන්දයෙන් නාරම්මලට

ගුරු දේවෝත්තම නාහිමිපාණන් වහන්සේගේ ඉල්ලීම පරිදි පේරාදෙණිය ශ්‍රී සාරානන්ද පිරිවෙණේ පරිපාලන කටයුතු සිදු කරගෙන යන අතර, අපේ නායක හාමුදුරුවන්ගේ කාව්‍යමය ධර්ම දේශනයක් අහපු, එන්. එච්. සීලවතී ‍මහෝපාසිකාව විසින් ඉඩම් පූජාවක් සිදු කළා. මේ විදියට අපේ නායක හාමුදුරුවන් කෙරෙහි පැහැදුණු බොහෝ සැදැහැවතුන් උන්වහන්සේට ඉඩ කඩම්, කෙත්වතු හා ආරාම ආදිය පූජා කළා.

අපේ නායක හාමුදුරුවන්ගේ කවි බණ අහල, ඊට පැහැදුණ සීලවතී උපාසිකා මාතාව ‘අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ මේ පැත්තේ වැඩ සිටිනවා නම් පන්සලක් හරි, පිරිවෙනක් හරි පවත්වාගෙන යන්න. මම ඉඩම් පූජාවක් කරන්න කැමැතියි කියලා ප්‍රකාශ කළා. එතුමියගේ ඉල්ලීම නායක හාමුදුරුවෝ පිළිගත්තා. ඒ හේතුවෙන් නාරම්මල, රනවින්න ප්‍රදේශයේ අක්කර 15ක පමණ භූමි භාගයක් සමඟ අක්කර 2ක කුඹුරකුත් සඟ සතු කරමින් අපේ නායක හාමුදුරුවන්ට පූජා කළා. එතුමියගේ සහායෙන් අවශ්‍ය කරන ගොඩනැගිලි තාවකාලිකව ඉදි කළා. කුල දරුවන් 25 දෙනෙකු පමණ සසුන්ගත කරමින්, එහි සීලවති පිරිවෙන ආරම්භ කළා. අද නාරම්මල ‘සීලවතී මහ පිරිවෙන’ ලෙස හඳුන්වන්නේ, එදා අපේ ගුරු දේවෝත්තම නායක හාමුදුරුවන් ආරම්භ කළ පිරිවෙනයි.

මේ පිරිවෙන ආරම්භ කරනවාත් සමඟම දෙබත්ගම නාරද නායක හාමුදුරුවෝ එහි වැඩ සිටියා. උන්වහන්සේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ, කාරක සංඝ සභාවේ සාමාජික හිමි නමක්. උන්වහන්සේ අපේ ගුරු දේවෝත්තම නායක හාමුදුරුවන්ගේ සහෝදරයෙකුගේ ගෝලයෙක්. පිරිවෙන ආරම්භයේ සිට ඉතා හොඳින් උන්වහන්සේ එහි පරිපාලන කටයුතු කරගෙන ගියා. මේ පිරිවෙනට කිට්ටුව කඩේක මත්පැන් විකුණනවා කියලා දෙබත්ගම නාරද හාමුදුරුවන්ට දායකයෝ පැමිණිලි කළා. ඒ අනුව උන්වහන්සේ එහි සත්‍ය අසත්‍යතාව සොයා බලමින්, පිරිවෙනට නුදුරුව මත්පැන් විකිණීම නතර කරන ලෙසට කඩහිමියාට දැනුම් දුන්නා.

මේ හේතුව නිසා ඒ මත්පැන් විකුණූ මුදලාලි, හාමුදුරුවෝ සමඟ අමනාප වුණා. දෙදෙනා අතර, ගැටුමක් ඇති වුණා. මේ කඩහිමියා ඉඩම් පරිත්‍යාග කළ සීලවතී උපාසිකාවගේ ඥාති හිත‍‍වතෙක්.මේ කඩකාරයා සීලවති පිරිවෙණින්, හාමුදුරුවන්ව ඉවත් කරන ලෙස සීලවතී උපාසිකාවගෙන් ඉල්ලා සිටියා. මේ ඉල්ලීම සීලවතී උපාසිකාව විසින් අපේ ගුරු නායක හාමුදුරුවන්ට දැනුම් දුන්නා. මේ ඉල්ලීම නිසා තරමක කෝපයට පත් අපේ නායක හාමුදුරුවෝ ‘මුරකාරයෝ අස් කරන්න වගේ උන්නාන්සේලාව පන්සල්වලින් අස්කරන්න මට බැහැ’ කියලා ප්‍රකාශ කළා. ඒ වගේම මේ භික්ෂූන් වහන්සේ යම්කිසි පිළිවෙළකටයි ස්ථානය පවත්වාගෙන යන්නේ. ගමට, පළාතට හානියක් වන ආකාරයෙන් යමෙක් විසින් යමක් කරනවා නම් ඔවුන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කිරීම භික්ෂුවකගේ යුතුකමක්. ඒ නිසා උන්වහන්සේව අස් කරන්න කොහෙත්ම මට පුළුවන්කමක් නැහැ’ කියලා තදින්ම ප්‍රකාශ කළා. මේ හේතුව නිසා සීලවතී නෝනා අපේ නායක හාමුදුරුවන් එක්ක අමනාප වුණා.

මේ ඉඩම පූජා කළ සීලවතී නෝනා, අපේ පන්සලේ වැඩ හිටපු පොඩි හාමුදුරුවන්ට කිරිබොන්න කියලා එළදෙනුන් හත් අට දෙනෙක් වත්තේ බැඳලා තිබුණා. ඒ සඳහාම ගොවි මහතෙක් පන්සලේ නතර කරලා සිටියා. සීලවතී නෝනා තරහා වෙච්ච නිසා මේ සියල්ලක්ම නැතිවුණා. ඒ හේතුව නිසා පිරිවෙන ගෙනියන්න බැරිවුණා. නායක හාමුදුරුවෝ පිරිවෙන වසා දැමීමට තීරණය කළා. සියම් නිකායෙන් බැහැරව මහනුවර මඟුල් මඩුවේදී අන් නිකායික භික්ෂුවකට නායක පදවියක් පිළිබඳ අක්ත පත්‍රයක් ප්‍රදානය කළේ නම් එය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පදවි ප්‍රාප්ති උත්සවයකට පමණක් බව ඉමහත් සතුටින් මා ප්‍රකාශ කරන්න කැමැතියි. එදා දිවංගත ශ්‍රීමත් ආර්. ප්‍රේමදාස මැතිතුමා විසින් අනුනායක පදවියේ අක්ත පත්‍රය, මහනුවර මඟුල් මඩුවේදී අපේ ගුරු දේවෝත්තම නාහිමියන්ට ප්‍රදානය කළා.

1981 වසරේදී අනුරාධපුර පැවති උපසම්පදාව පිළිබඳව මට මතක් වෙනවා. එතකොට සාරානන්ද පූණ්‍ය භූමිය තුළ තිබුණේ කාමර 23 යි. ප්‍රදේශයේ සංඝ සභාව මූලිකත්වයෙන් උපසම්පදාව සංවිධාන කළා. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ එම උපසම්පදා උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස දිවංගත ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා සහභාගි වුණා. එතුමා අතින් අපේ සීමා මාලකයේ දී බුද්ධ පූජාව තැන්පත් කළා. උත්සවය රාජ්‍ය ගෞරවය සහිතව පවත්වනු ලැබුවා. අපි “එදා විජයබා - මෙදා ජේ. ආර්.” යනුවෙන් ආදර්ශ පාඨයක් ඇතුළත් කොට අනුරාධපුර නගරය පුරා පෝස්ටර් ප්‍රදර්ශනය කළා.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ උපසම්පදා පුණ්‍ය මහෝත්සවය සඳහා රාජ්‍ය ගෞරවය ලබාදීම ආරම්භ වුණේ අනුරාධපුරයෙන්. ඒ අනුව බලනවිට සාරානන්ද සඟ පරපුරින්, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායට විශාල ගෞරවයක් සැලසුණා. 2010 වසරේ පැවති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 67 වැනි උපසම්පදා විනය කර්මයත් අනුරාධපුර පූජා නගරයේ සිදුකළා. මේ පුණ්‍ය කර්මයේදීත් අපගේ මැදිහත්වීමෙන් කුල දරුවන් 135 දෙනෙක් පැවිදි කරන්න හැකිවුණා. එය සිදුකළේ රුවන්වැලි මහ සෑ මළුවේදී මා හිතනවා .ඒකත් අප ලද ජයග්‍රහණයක්. ඒ වගේම නිකායට ගෞරවයක්.

සාරානන්දයෙන් ඉටුවන සමාජ සේවා

අනුරාධපුර සාරානන්ද ජාතික, ආගමික හා ශාසනික සේවා ඉටුකරනවා පමණක් නොව, නැති බැරි මිනිසුන් නගාසිටුවීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. මේ වනවිට මගේ නායකත්වයෙන් නැති බැරි මිනිසුන්ට ගෙවල් 7 ක් හදලා දීලා තිබෙනවා. ඒ වගේම දහම් පාසල් රාශියකට ඒවායේ ඇති අඩුපාඩුකම් සොයා බලමින් වාර්ෂිකව උදව් කරනවා. රෙදිපිළි, පොත්පත් ආදිය ලබා දෙනවා. සාරානන්දය මූලිකව තරුණ බෞද්ධ සංගමයකුත් අපි ආරම්භ කළා. එයත් මූලික කරගෙන අනුරාධපුර අවට පන්සල් හත අටක්ම හැදුවා. සම්බුදු තෙමඟුල සමරමින් වෙසක් උත්සවය මහත් ඉහළින් සිදුකළා. 2002 දී ම විසින් ආරම්භ කළ වෙසක් පෙරහර උත්සවය, අවුරුදු 2ක් අඛණ්ඩව කරගෙන ගියා. රජය පෙරළුනාට පස්සේ අපේ මහ ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායක මැතිතුමා පෙරහර කරන්න භාර ගත්තා. අපේ පෙරහර නතර කළා. එතුමා කළෙත් නැහැ. අපට කරන්න දුන්නෙත් නැහැ. පසුගිය වර්ෂයේ දී යළිත් පෙරහර කරන්න අපි පටන් ගත්තා.

පොසොන් උත්සවය සමරමින්, අනුරාධපුරයට වන්දනාවේ එන බැතිමතුන් සඳහා බත් දන්සල් 14 ක් පමණ අපේ දායක පිරිසගේ සංවිධායකත්වයෙන් පවත්වාගෙන යනවා. බත් දන්සල් 7 ක්, තේ, කෝපි, පොල්පලා දන්සල් 3 ක්, එළවළු සුප් දන්සලක් ආදී ව‍ශයෙන් පෝයදාත්, ඊට පසුවදාත්, මේ ආකාරයෙන් දන්සල් 14 ක් මගේ අනුශාසකත්වයෙන් පවත්වනවා. ඇසළ පෝයත්, අපට ඉතා වැදගත්. ඇසළ පුන් පොහොය වෙනුවෙන් අනුරාධපුර වන්දනාවේ එන බැතිමතුන් සඳහා දන්සල් 3 ක් දෙනවා. ‘සාරානන්ද ඇසළ දන්සල කියලයි ඒකට කියන්නේ, කෑගල්ල, යටියන්තොට ආදී ප්‍රදේශවලින් කණ්ඩායම් ඇවිත් ඒ මහා පින්කම්වවලට දායකත්වය ලබාදෙනවා.

සෑම වර්ෂයකම වස්සාන සමයේ දී විශේෂ ආගමික වැඩසටහන් රාශියක් සාරානන්ද පින්බිම තුළ ක්‍රියාත්මක වෙනවා. වස් තුන් මාසය අවසානයේ පැවැත්වෙන කඨින චීවර පූජා මහා පින්කම් ගරු ගාම්භීර ආකාරයෙන් පවත්වනවා. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායික ප්‍රාදේශීය සංඝ සභාවේ සියලුම සංඝයා වහන්සේලා මේ කඨින පූජා පින්කමට වැඩම කරනවා. මෙහිදී අපේ පිරිවෙන්වල ඉගෙනුම ලබන කුඩා ස්වාමීන් වහන්සේ සියලුම දෙනා සඳහා සිවුරු පිරිකර ආදියද පූජා කරනවා. ඒ වගේම අනුරාධපුර ප්‍රදේශයේ නොදියුණු ගම්බද පාසල් කිහිපයක්ම තෝරාගෙන ඒවායේ ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණ කටයුතු කරනවා. දරුවන්ට අවශ්‍ය පොත්පත් වගේම පාවහන් ආදිය ද ලබාදෙනවා.

සාරානන්ද පුණ්‍ය භූමිය ඕනෑම ජාතියක, ඕනෑම ආගමක, ඕනෑම කුලයක අයෙකුට විවෘතයි. ලොව්තුරා බුදුපියාණන් වහන්සේත් සියලුම භේද ඉවත දමා ජාති, කුල, බේදයෙන් තොරව සම්බුද්ධ ශාසනය ලොව ප්‍රචලිත කළා. මේ රටේ ජීවත්වන දමිළ ජනතාව අපේම පිරිසක් ලෙස සලකා මා අවස්ථා කිහිපයකදීම ක්‍රියා කළා. 1983 ජූලි කලබලය අවස්ථාවේදී අපේම මිනිසුන්ගේ නොමනා ක්‍රියා නිසා විනාශයට පත්වීමට ගිය දෙමළ මිනිසුන්ගේ ජීවිත සිය ගණනක් මා විසින් බේරා ගත්තා. ඔවුන්ට සාරානන්ද පින්බිමේ තබාගෙන මාස කිහිපයක් කන්න බොන්න දුන්නා. ඔවුන්ගේ බිය සැක දුරු කළා. මේවා සිහිපත් වන විට මට ඇති වන්නේ අපමණ සතුටක්.

අනුරාධපුර සාරානන්ද පිරිවෙන

මේ පිරිවෙන අපේ නායක හාමුදුරුවෝ ආරම්භ කළේ, විශ්වවිද්‍යාල ක්‍රමයෙන් බැහැරවයි. උන්වහන්සේ මෙයින් අපේක්ෂා කළේ ප්‍රාචීණ පණ්ඩිත උපාධිය දක්වා උගත් පිරිසක් බිහි කිරීමටයි. මේ පිරිවෙන ආරම්‍භයේ සිටම දෙමළ භාෂාව විෂයයක් වශයෙන් උගන්වනවා. දෙමළ භාෂාව මේ රටින් නැති වෙන්නේ නැහැ. අපි භික්ෂුන් වහන්සේලා වශයෙන් දෙමළ භාෂාව ඉගෙන ගැනීම ඉතා වැදගත්. අඩු තරමින් දෙමළ මිනිස්සු කියන දේවල් තේරුම් ගන්න තරම්වත් දෙමළ භාෂා දැනුමක් අප සතුව තිබිය යුතුයි. අපේ පිරිවෙනින් ඉගෙන ගෙන දෙමළ මාධ්‍යයෙන් විභාග සමත් වී විශාල පිරිසක් ගුරු වෘත්තියේ නියැළෙමින් අද පාසල්වල දෙමළ භාෂාව උගන්වනවා. දෙමළ භාෂාවෙන් උපාධි සමත් වූ අයත් අප අතර විශාල පිරිසක් ඉන්නවා.

නේපාලයෙන් කුල දරුවන් 30 දෙනෙක් ගෙනැවිත් සසුන් ගත කළා. මේ අය සිංහල භාෂාව දන්නේ නැහැ. ඒ වගේම අපි ඔවුන්ගේ නේපාල භාෂාව දැන සිටියේ නැහැ. ඒ නිසා මේ අයට ඉගැන්වීමේ පහසුව සඳහා අපි නේපාල ස්වාමීන් වහන්සේ නමක් ගෙන්වා ගත්තා. නේපාලයේ සාගර හාමුදුරුවෝ අපේ පිරිවෙනේ ගුරුවරයකු වශයෙන් වැඩ කරනවා. උන්වහන්සේට රජයේ පත්වීමක් ලබාදෙන්න අපට බලයක් තිබුණේ නැහැ. ඊට හේතුව විදේශික භික්ෂුවකට ශ්‍රී ලංකාවේ පිරිවෙනක හෝ රජයේ ගුරුපත්වීමක් ලබාදීමට නොහැකිවීමයි. උන්වහන්සේව පිරිවෙනේ රඳවාගෙන කාලයක් තිස්සේ උන්වහන්සේගේ අවශ්‍යතා මා විසින් ඉටුකළා. නමුත් ඒක දිගටම කරගෙන යාම අපට අපහසුවක්. ඒ වගේම නේපාල ජාතික හාමුදුරුවන්ටත් කිසියම් මදිපුංචිකමක් වෙන්නටත් ඉඩ තිබුණා. මේ කාලේ අධ්‍යාපන ඇමැති පදවිය හෙබවූයේ සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා. මා එතුමා හමුවෙලා මේ ප්‍රශ්නය ගැන කතා කළා. ජනාධිපතිතුමන්ගේ ඉල්ලීම පරිදි මා කුල දරුවන් 1000 ක් සසුන් ගත කළා. කුල දරුවන් 30 දෙනෙක් නේපාලයෙන් ගෙනැවිත් මහණ කළා. දැනට ඒ අය මා ළඟ ඉන්නවා. මේ අයට කතා කරන්න අපි භාෂාව දන්නේ නැහැ. ඒ නිසා ඔවුන් වෙනුවෙන් නේපාල ජාතික හිමිනමක් අපේ පිරිවෙනට පත්කරන ලෙස මා ඉල්ලා සිටියා. ඒ අනුව මෙතෙක් පැවති සම්ප්‍රදායන් කඩා බිඳ දමමින්, නේපාල ජාතික සාගර ස්වාමීන් වහන්සේට, අපේ පිරිවෙනේ ගුරුපත්වීමක් ලබාදීමට මට හැකිවුණා.

විදේශ ධර්මදූත සේවා

විදේශගතවී සිටින මගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගෙන් දායක දායිකාවන්ගෙන් නිතර නිතර ඔවුන් සිටින රටවලට පැමිණෙන ලෙසට ආරාධනා ලැබෙනවා. අනුරාධපුර සාරානන්දය වැනි විද්‍යස්ථානයක්, ඒ වගේම ශාසනික සේවා රැසක් ඉටුකරන මධ්‍යස්ථානයකින් කෙටි කාලයකට හෝ බැහැරවීම බරපතළ ප්‍රශ්නයක්. නමුත් බොහෝ දෙනාගේ අවශ්‍යතාව අනුව රටවල් ගණනාවකට වැඩම කොට ධර්ම දූත සේවයේ යෙදෙන්නට මට අවස්ථාව ලැබුණා.

ඉන්දියාවට වැඩම කළ ගමනේදී ලොව්තුරා බුදු පියාණන් වහන්සේගේ බුද්ධත්වය සිදුවූ ස්ථානය වූ ලුම්බිණියටත්, බුදු වූ ස්ථානය බුද්ධගයාවටත්, පිරිනිවන් පෑ ස්ථානය වූ කුසිනාරා නුවරටත්, ඒ වගේම ඇසළ පෝදා ප්‍රථම ධර්ම දේශනය පැවැත්වූ ස්ථානය වූ බරණැස ඉසිපතනාරාමයටත් ගොස් ඒවා වැඳ පුදා ගත්තා. දැක බලා ගත්තා. ඒ වගේම ජර්මනියටත්, ප්‍රංශයටත්, ඕස්ට්‍රියාවටත්, නේපාලයටත්, ඉන්දුනිසියාවටත්, මැලේසියාවටත්, සිංගප්පූරුවටත්, තායිලන්තයටත් යාමට මට අවස්ථාව ලැබුණා. මේ සෑම රටකම ජීවත්වන අපේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා මට බොහෝම සමීප වුණා. ආදරයෙන් ගෞරවයෙන් සත්කාර කළා. උන්වහන්සේලා ලංකාවට වැඩම කරන අවස්ථාවලදී අනුරාධපුර සාරානන්දයේ නේවාසික පහසුකම් ලබාදීමට මා ක්‍රියා කර තිබෙනවා.

ජීවන ගමනේදී පැමිණි බාධා එමටයි.

මා ඉගෙන ගන්නා අවදියේදී , එනම් වර්ෂ 1965 දී පැවති මහ මැතිවරණය තුළින් දේශපාලන කටයුතුවලට සම්බන්ධ වීම නිසා අනාගත අභිවෘද්ධිය උදෙසා ඉගෙන ගැනීමට තිබුණු අවස්ථා නැති වූ බව සඳහන් කළා. ඔබට මතක ඇතැයි සිතනවා. ඒ කෙසේ වෙතත් ජාතියේ පියාණන් ලෙස සැලකෙන දිවංගත ඩී. එස්.සේනානායක ශ්‍රීමතාණන් විසින්, උතුරු මැද පළාත මූලිකව කෘෂිකර්මාන්තය හා කර්මාන්ත නගාසිටුවීම සඳහා කළ අතිඋදාර මෙහෙවර මා බෙහෙවින් අගය කළා. ඒ අනුව මා සිත තුළ කිසියම් දේශපාලන දර්ශනයක් ඇතිවුණා. ඒ අනුවයි මා ක්‍රියා කළේ.

මගේ ගුරුදේවෝත්තම නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ශිෂ්‍ය පුත්‍රයින් වහන්සේලා වූ අප සැම අනුරාධපුර ශ්‍රී සාරානන්දයට පැමිණි දා සිට ගිහි පැවිදි දෙපාර්ශ්වයෙන්ම පැමිණි බාධා එමටයි. ඒවා නම් ගම් වශයෙන් මෙහි සඳහන් කළ හැකි වූවත් මා ඉන් බැහැර වන්නේ ඔවුන්ට මෙත් සිත පතුරවමින්.

එහෙත් මට මෙහිදී නොකියාම බැරි එක් සිද්ධියක් තිබෙනවා. එක් වකවානුවකදී බලයට පත් රජයේ නායකයනුත්, අනුරාධපුර පාලනය කළ රාජ්‍ය පාලකයනුත් මට නොසෑහෙන සේ අරියාදු කළා. මොනම ආකාරයකින්වත්, සාරානන්දයට ඇතුළත් වීමට නොහැකි වන පරිදි බැරල් දමා, කටුකම්බි ගසා පාර වසා දැමුවා. විහාරවාසී සංඝයා වහන්සේට දානය ලබාදීමත්, ඒ අය අහිමි කළා. දැඩි සේ පොලිස් මුරකාවල් යොදා තිබුණා.

අපේ දායක පින්වතුන් ඉසුරුමුණු හන්දියේ සිට පන්සලට දානෙ ගෙනාවේ පා ගමනින්. මා අයුක්තිය, අසාධාරණය ඉවසුවේ නැහැ. රජයේ නීතිය ක්‍රියාත්මක කළ උතුරු මැද පළාත් සභාවේ ප්‍රධානියාට විරුද්ධව නඩු පැවරුවා. විහාරස්ථානයට විරුද්ධව නඩු පැවරුවා. විහාරස්ථානයට ඇතුළුවීමට ඇති බාධා වහාම ඉවත්කරන ලෙසට නඩුකාරතුමා නියෝගයක් ලබා දුන්නා. මහ ඇමැතිතුමා ඇතුළු එවකට රජයේ බලවතුන් ඒ නියෝගයත් ප්‍රතික්ෂේප කළා. මේ අසාධාරණයට විරුද්ධව මා නැගී සිටියා. මගේ ශිෂ්‍ය පුත්‍රයින් වහන්සේලා සමඟ එකතු වී පොලිසියේ විරෝධතා මැද, තිබුණු මාර්ග බාධක සියල්ලක්ම ඉවත් කොට, යළි විහාරස්ථානය වැඳ පුදා ගැනීමට පැමිණෙන සැදැහැවතුන්ට ඉඩ කඩ ලබාදුන්නා. මම එදත් අයුක්තියට, අසාධාරණයට හිස නැමුවේ නැහැ. අදත් එහෙමයි. මගේ ගුරු පරපුරෙන් ලැබුණු ඒ ආදර්ශ මා අපවත්වන තුරුම පවතිනවා නියතයි.

‘නහි වේරේන වේරානි’ යන බුදු වදන තුළින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ‘වෛරයෙන් වෛරය නොසන්සි‍ඳෙන බවයි’. එය මා බෙහෙවින් අගය කළා. අනුරාධපුර සාරානන්ද පින්බිම ඇරඹීමේ මුල් අවස්ථාවේ සිටම හතුරුකම් කළ සැමට මා මෛත්‍රී කළා. එදත් එහෙමයි. අදත් එහෙමයි. හෙටත් මගේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා එලෙසම ක්‍රියා කරාවි. මගේ පැවිදි දිවියට 68 වසරක් සැපිරෙන දිනයේදී මගේ සතුරන්, මිතුරන් ලෙස සලකා, ඔවුන්ට පින් පෙත් පුදනවා. මා එසේ කරන්නේ ඔවුන් ශාසනයටත්, මහ සඟරුවනටත් බාධා කරමින් අත්පත් කරගත් මහා පාපකර්මයෙන් මුදාගැනීමේ අදහසින්, මගේ ඒ චේතනාව තුළ ඔවුන්ටත්, මටත් පින් සිදුවී දෙලොවම සුගතිගාමී වන බව මගේ ඒකාන්ත විශ්වාසයයි.

දැන් මගේ වයස අවුරුදු 78 යි. ඉන් පුරා 68 වසරක්ම උතුම් වූ ප්‍රවෘජ්‍යා භූමියේ රැ‍ඳෙමින් ලොව්තුරා බුදුපියාණන් වහන්සේ දේශනා කළ පරිදි, විශේෂයෙන්ම මා පැවිදි වූ දා ප්‍රකාශ කළ පරිදි “මාගේ මේ ජීවිතය අනුන් උදෙසාය” යන වදන සනාථ කරමින් මුළු ජීවිත කාලයම කැප කළා. ගිහි පැවිදි ඕනෑම කෙනෙකුට ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදිය උරුමයි. මාත් දැන් මහලුයි. නිතර නිතර ලෙඩදුක්වලින් පෙළෙනවා. ඒ ධර්මතාවයෙන් මිදෙන්නට මටත් බැහැ. ඔබටත් බැහැ. අපි ජීවත්වන කාලය තුළ කිසිවකුටත් හිංසාවක් පීඩාවක් නොවන ආකාරයෙන් ජීවත්වීමයි වටින්නේ. ඒ නිසා ගෙවී ගිය කාලය තුළ මා කළ උතුම් පුණ්‍ය ක්‍රියා සිහිපත් කරමින් සතුටු වෙනවා. සැනසෙනවා.

මා මෙලොවට බිහිකළ සදාදරණීය මෑණියන්ටත් කවා පොවා ඇති දැඩි කළ ආදරණීය පියාණන්ටත් මා මහණකමට යොමු කළ මගේ ඥාති සහෝදර සියඹලන්ගමුවේ කස්සප ස්වාමීන්ද්‍රයන් වහන්සේටත්, සිවුරු පටිය කරේ දමමින් මාව උතුම් වූ ප්‍රවෘජ්‍යා භූමියට පත් කළ සියඹලන්ගමුවේ ශ්‍රී ගුණරතනාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේටත්, ගෙවී ගිය ජීවිත කාලය තුළ මා ආදරයෙන් රැකබලාගත් මගේ ශිෂ්‍ය පුත්‍රයින් වහන්සේලාටත් මගේ පැවිදි සහෝදරයන්ටත් මට සිවුපසයෙන් උපස්ථාන කරමින් ලෙඩට දුකට පිහිට වූ සතර පේරුවේ දායක පින්වතුන්ටත්, දෙස් විදෙස් පැවිදි ගිහි මිතුරන්ටත් පුණ්‍යානුමෝදනා කරනවා. තුණුරුවන්ගේ ආශිර්වාදය පතනවා. ඔබ අප සැමට ජාති, ජරා, ව්‍යාධි, මරණ දුකින් නිදහස්, පරම රමණීය වූ අමා මහ නිවන් සම්පත්තියම ලැබේවායි මෙත් සිතින් මා ප්‍රාර්ථනය කරනවා.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ
අධිකරණ ලේඛකාධිකාරී මහාචාර්ය
අෂ්ටංගනේ රතනපාල නාහිමි


නව අදහස දක්වන්න

Or log in with...