විදුහල්පතිවරිය මිය යෑම ගැන අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක් | දිනමිණ

විදුහල්පතිවරිය මිය යෑම ගැන අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක්

සිතාරා සේනානි

විදුහල්පතිවරුන් සඳහා ලබාදෙන නායකත්ව පුහුණු වැඩසටහනක් අතරතුර හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිවරිය මිය යෑමේ සිදුවීම පිළිබඳව අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක් පවත්වන ලෙස අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතාට උපදෙස් ලබා දී තිබේ. එමෙන් ම විදුහල්පතිවරුන් සඳහා ලබාදෙන නායකත්ව පුහුණු වැඩමුළු අදාළ පරීක්ෂණ අවසන් වන තුරු නතර කිරීමට ද ඇමැතිවරයා නියෝග කැර තිබේ. හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිවරිය කුරුණෑගල වාරියපොළ, වයඹ නායකත්ව පුහුණු කඳවුරේ පසුගියදා පැවති පුහුණු වැඩසටහනක් අතරතුර හදිසි අනතුරකට ලක්ව රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වූවාය.

විදුහල්පතිවරුන්ගේ පෞරුෂ සංවර්ධනය හා නායකත්ව ගුණාංග ඉහළ නැංවීම අරමුණු කරගනිමින් මෙම පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කැර ඇති අතර, විදුහල්පතිවරුන්ගේ ආරක්ෂාව, සෞඛ්‍යය සහ අනෙකුත් පහසුකම් පිළිබඳව අවධානය යොමු කරන ලෙස අධ්‍යාපන ඇමැතිවරයා උපදෙස් ලබා දී තිබියදී සිදු වූ මෙම අවාසනාවන්ත සිදුවීම පිළිබඳ වගකිවයුතු නිලධාරීන්ගෙන් කරුණු විමසීමට අධ්‍යාපන අමාත්‍යාංශය මේ වනවිට පියවර ගෙන ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කරයි .

අනතුරින් මිය ගිය විදුහල්පති රෝහිණී අතපත්තු මහත්මිය අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ මීට පෙර රන්ටැඹේ සහ කුඩාඔය පැවති මෙවැනි නායකත්ව පුහුණු වැඩසටහන් දෙකක් සඳහා ද සහභාගී වී ඇති අතර, ඇය කැඩෙට් නිලධාරිනියක ලෙස ද කටයුතු කර ඇති බවත් අමාත්‍යාංශය පවසයි. 


නව අදහස දක්වන්න

Or log in with...