කැනඩා අගමැති පිළිගන්න මෝදි ඇවිත් නෑ | දිනමිණ

කැනඩා අගමැති පිළිගන්න මෝදි ඇවිත් නෑ

ඉන්දියා සංචාරයේ නිරත කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ පිළිබඳව කලකට පසු මාධ්‍යයේ අවධානය යොමු වේ. හිටපු ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා, ඊශ්‍රායලයේ බෙන්ජමින් නෙදන්යාහු මෙන්ම අබුඩාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සයිඩ් අල් නහ්යන් ගුවන් තොටුපොළේ දී පිළි ගනු ලැබුවේ ඉන්දීය අගමැති මෝදි විසින් වුවත් කැනඩා අගමැතිවරයා පිළිගැනීමට මෝදි නොපැමිණීම පිළිබඳව මාධ්‍යයේ අවධානය යොමු වී තිබේ. එසේම මෝදි ගේ උපන් ගම වන ගුජරාටයේ සංචාරයට ටෲඩො සමග ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එක් නොවීමද කතා බහට ලක් වී ඇත. සික් අන්තවාදීන් පිළිබඳ කැනඩාව දක්වන මෘදු පිළිවෙත ඉන්දියාවේ අසතුටට හේතුව බව වාර්තා වේ. කෙසේ වෙතත් ටෲඩො සහ මෝදි අගමැතිවරුන් අතර ද්වීපාර්ශ්වීය සාකච්ඡාවක් එළඹෙන සිකුරාදා දිල්ලියේ දී පැවැත්වීමට නියමිතය. එහෙත් ගාන්ධිනගර් හි අක්ශර්ධම් ආශ්‍රමය සහ මහත්මා ගාන්ධි ගේ සබර්මති ආශ්‍රමය වෙත පසුගිය මාසයේ ඊශ්‍රායල අගමැතිවරයා, පසුගිය වසරේ ජපාන අගමැතිවරයා හෝ 2014 චීන ජනාධිපතිවරයා සමග නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා ගමන් කළ ද කැනඩා අග්‍රාමත්‍යවරයා සමග ඊට එක් නොවන බව වාර්තා වේ.

මෙම සංචාරය සඳහා ටෲඩෝ ආර්යාව සහ දරුවෝ ද එක්ව සිටිති. ඉන්දීය සංචාරය පිළිබඳ ඉතා ඉක්මනින්ම අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මෙවන් අපූරු පරිසරයක් මීට පෙර දැක නැති බව පවසා තිබේ. 

 


නව අදහස දක්වන්න

Or log in with...