ගම්සභාවට රට භාර දෙන්න පුළුවන්ද? | දිනමිණ

ගම්සභාවට රට භාර දෙන්න පුළුවන්ද?

වසන්ත ප්‍රිය රාමනායක

ලැබි තිබෙන මැතිවරණ ප්‍රතිඵලයට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හරින මෙන් ඒකාබද්ධ විපක්ෂය කරනු ලබන ඉල්ලීම අතිශයින්ම විපක්ෂයේ දේශපාලනයට ආවේණිකය. එහි පදනමක් නොමැත.

රටක පළාත් පාලන මැතිවරණයක් පවත්වන්නේ පළාත් පාලන ආයතනවලට නියෝජිතයන් තෝරා පත්කර ගැනීමටයි. එම නියෝජිතයන්ගෙන් සැදුම්ලත් පළාත් පාලන ආයතනවල කාර්ය වන්නේ ද ප්‍රාදේශීය මංම­ාවත්වල නඩත්තුව, කැළිකසල ඉවත් කිරීම, ඉඩම්, නිවාස ඇතුළු පෞද්ගලික දේපළවලට අයත් සැලසුම් අනුමත කිරීම, පාරිභෝගික අලෙවි සල්, නිසියාකාරව පවත්වා ගෙන යන්නේ ද යන්න සොයා බැලීම තම බල ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ සනීපාරක්ෂාව මහජන සෞඛ්‍ය සේවාවන් පවත්වාගෙන යෑම ආදී ප්‍රාථමික කාරණා රැසක් පළාත් පාලන විෂය පථයට අයත් වේ.

එසේ නොමැතිව ජාතික දේශපාලනයේ දිශානතිය තීරණය කිරීම අග්‍රාමත්‍ය වරයාගේ හා ආණ්ඩුවේ පැවැත් ම, පවතින ආණ්ඩුවේ හා කැබිනට් මණ්ඩලයේ වෙනස්කම් හා ආණ්ඩුවක් විසුරුවා හරින්නේ ද නැද්ද යන කාරණා පළාත් පාලන මැතිවරණය හා සම්බන්ධ නොවේ. කෙටියෙන් සඳහන් කරන්නේ නම් පළාත් පාලන මැතිවරණයක තීන්දුවකින් ඒ මොහොතේ පවතින ආණ්ඩුවේ ඉරණම විසදෙන්නේ නැත. අනෙක් කරුණ වන්නේ වසර 5ක ජනතාව විසින් පත් කරණු ලබන රජයක් එසේ පත් වී වසර තුනක් ඇවෑමෙන් පැවැත්වෙන මැතිවරණයක් නිසා ඉවත් වී යන හෝ ඉවත් වෙන තැනකට කටයුතු සිදු වන සම්ප්‍රාදායන් ප්‍රජාතන්ත්‍රවාදි ලෝකයේ කිසිදු තැනක දක්නට නොලැබේ. අනෙක් කරුණ පළාත් පාලන මැතිවරණයක දී අදාළ පක්ෂවලට ඡන්දය දෙන ජනතාව ද එම මැතිවරණ ප්‍රතිඵලයෙන් ආණ්ඩු වෙනසක් බලාපොරොත්තු වන්නේ නැත. තමන් පළාත් පාලන මැතිවරණයක දී පාවිච්චි කරනු ලබන ඡන්දයෙන් ආණ්ඩුව වෙනස් නොවන බව දැන දැනම ඡන්දදායකයෝ ඡන්දය පාවිච්චි කරති.

රතු එළියක්

මේ සියලු තත්ත්වයන් යටතේ සාමාන්‍ය‍ෙයන් සිදු විය හැකි සංසිද්ධිය වන්නේ පළාත් පාලන මැතිවරණයක් හරහා ජනතාවට, ආණ්ඩුවට එරෙහිව රතු එළියක් කනේ පහරක් එල්ල කිරීමය. කනේ පහරක් යනු පශ්චාත් භාගයට එල්ල කරනු ලබන පහර ලබන්නා විසි වී යන පා පහරක් නොවේ. එසේ වන්නේ නම් ඒ ගැන ආණ්ඩුවක් සැලකිලිමත් විය යුතුය. ආණ්ඩුවකට අනතුරු ඇඟවීම හා ආණ්ඩුවේ පැවැත් ම වෙනස් කිරීම යනු එකක් නොව දෙකකි. මේ දෙක සමාන වන්නේ ද නැත. පසුගිය පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල මඟින් දේශපාලන නොසන්සුන් බවක් හා යම් අස්ථාවරත්වයක් ඇති වී තිබන බව නම් පැහැදිලිය. පරිපාලන වශයෙන් එවන් බිඳවැටීමකට ඉඩ නොතැබීමට ජනාධිපතිවරයා පසුගිය දා කටයුතු කර තිබුණි. එනම් අමාත්‍යංශ ලේකම්වරු කැඳවා රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත්ව පවත්වා ගෙන යෑමට උපදෙස් දීමයි. එහි දී එතුමා සඳහන් කර තිබුණේ රටේ දේශපාලන වශයෙන් යම් නොසන්සුන්තාවයක් පැවැතිය ද ආණ්ඩුවේ පරිපාලන කටයුතු අඛණ්ඩව පවත්වා ගෙන යන ලෙසය. එය නිවැරදි මෙන් ම කාලෝචිත පියවරකි.

දේශපාලන ස්ථාවරත්වය

වෙන විදියකින් ජනාධිපතිවරයා සඳහන් කළේ දේශපාලන වශයෙන් සිදු වෙමින් පවතින කාරණා රාජ්‍ය පාලනයට සම්බන්ධ කර නොගැනීමේ වගකීම අමාත්‍යාංශ ලේකම්වරුන් විසින් භාර ගත යුතු බවයි. සියලුම අමාත්‍යංශවල රාජ්‍ය සම්පත් හා රාජ්‍ය මුදල්වල වගකීම පැවරෙන්නේ අමාත්‍යාංශ ලේකම්වරුන්ට ය.

එහෙත් අමාත්‍යාංශ ලේකම්වරුන් මඟින් රාජ්‍ය පරිපාලන ව්‍යුහය ශක්තිමත් කිරීමෙන් පමණයක් පවතින අස්ථාවරත්වයට නිසි විසඳුම් නොලැබේ. ඊට දේශපාලන ස්ථාවරත්වය ද අත්‍යවශ්‍යය.

“විශේෂයෙන් ම රටේ ආර්ථිකයට මේ වන විට ස්ථාවර මට්ටමකට පත් වෙලා තිබෙනවා. එසේ ම ව්‍යපාර අංශයේ ප්‍රගතිය ඉදිරියට ගමන් කරමින් තිබෙනවා. මේ සියලු දේ තවදුරටත් ඉදිරියට ගෙන යාමට හා යථාර්ථයක් බවට පත්වීමට නම් ඉතා ඉක්මණින්ම රටට දේශපාලන ස්ථාවර භාවය ඇති කරගත යුතුයි. (14.02.2018 මාධ්‍ය) මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි රටක තිබිය යුතු දේශපාලන ස්ථාවරත්වය ගැන සඳහන් කරන්නේ එහෙමය.

එසේ නම් පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසු මේ ඇති වී තිබෙන අස්ථාවරත්වය කුමක් ද ? සාමාන්‍ය‍ෙයන් පළාත් පාලන මැතිවරණයක දී ඡන්දය පාවිච්චි කරණ ප්‍රතිශතය අඩුය. එය 50% - 55% තරම් වේ. මෙවර එය මහ මැතිවරණයක තත්ත්වයට පත්ව තිබුණි. එසේ ම මෙවන් මැතිවරණයක දී බලයේ සිටින පක්ෂය ජය ගැනීම සාමාන්‍ය සිදුවීමකි. බලයේ සිටින පක්ෂයකට යම් පසුබෑමක් ඇති විය හැකි නමුත් මෙතරම් බරපතළ පසුබැමකට ලක් වන්නේ නැත.

එසේ ම අලුත් ම අලුත් පක්ෂයක් සිය ප්‍රථම මැතිවරණය ලෙසින් තරඟ වැද මෙතරම් දැවැන්ත ජයග්‍රහණයක් අත් පත් කර ගත් අවස්ථාවක් ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසය පුරා දක්නට නොලැබේ. ලලිත් ඇතුළත්මුදලි හා ගාමිණි දිසානායක හිටපු ඇමැතිවරුන්ගේ නායකත්වයෙන් ඇරඹි ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ වුව ද අලුත් පක්ෂයක් ලෙසින් 1993 පළාත් සභා මැතිවරණයට තරගවැද ලබා ගන්නේ 12.5%ක ඡන්ද ප්‍රතිශතයකි.

එහෙත් මෙවර පොදු ජන පෙරමුණ පසුගිය පළාත් මැතිවරණයේ දී 44%ක ඡන්ද ප්‍රතිශයක් ලබා ගැනීම සුවිශේෂි සිදු වීමකි. එසේ ම පළාත් පාලන ආයතන 239ක බලය හිමි කර ගෙන හෝ අන් සියලු පක්ෂ අභිබවා ඉදිරියෙන් සිටීමට හැකි වී තිබීම ද අඩුවෙන් තක්සේරු කළ නොහැක.

ප්‍රධාන පාර්ශ්වය

අවසානයේ ජාතික මැතිවරණයක ස්වරූපය ගත් පසුගිය පළාත් පාලන මැතිවරණය ආණ්ඩුවට එරෙහිව ජනමතයක් කර ගන්නා ලෙසින් ඒකාබද්ධ විපක්ෂය කළ ඉල්ලීමට ද අනිමින් ප්‍රතිචාරයක් ලැබී තිබෙනවා වාගේ ය. ලැබි තිබෙන මැතිවරණ ප්‍රතිඵලයට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හරින මෙන් ඒකාබද්ධ විපක්ෂය කරනු ලබන ඉල්ලීම අතිශයින්ම විපක්ෂයේ දේශපාලනයට ආවේණිකය. එහි පදනමක් නොමැත. එහෙත් ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වය වන එක්සත් ජාතික පෙරමුණේ පසුබෑම කැපී පෙනේ. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඡන්ද පනස් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ගත් එම පෙරමුණට මෙවර ලබා ගැනීමට හැකි වී තිබෙන්නේ ඡන්ද 3,612,295කි. එහෙත් ඡන්දය දීමේ ප්‍රතිශතය පාර්ලිමේන්තු හා ජනාධිපති මැතිවරණයක ප්‍රතිශතයට සමානය. මේ නිසා පසුබැම සක්සුදක් සේ පැහැදිලි ය.

වර්තමාන දේශපාලන අර්බුදය මේ සමස්ත දේශපාලන වටාපිටාවේ ප්‍රතිඵලයකි. ඒ ගැන පුදුම විය යුතු නැත. මෙතැන් සිට ආණ්ඩුව ඉදිරියට ගෙන යෑමට නම් රටට දැනෙන ප්‍රතිසංස්කරණයක් සිදු විය යුතුය. එසේ නොමැතිව පැලැස්තර ප්‍රතිසංස්කරණවලින් පලක් නොවේ. මේ ආණ්ඩු සැකැසී තිබෙන්නේ එක්සත් ජාතික පෙරමුණේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ එකමුතුවකිනි. එක්සත් ජාතික පෙරමුණට පාර්ලිමේන්තුවේ තනි බහුතර බලයක් නොමැති බව පැහැදිලියි. එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ ඒකාබද්ධ රජයක් පිහිටුවා ගෙන තිබෙන්නේ එම අඩුව පදනම් කර ගෙනය. එසේ ම ආණ්ඩුවේ සංයුතිය පාර්ලිමේන්තුවට දන්වා පාර්ලිමේන්තු අනුමැතියක් සහිතව ඇති වූවකි.

අවැසි එකඟතාව

මේ නිසා ආණ්ඩුවේ වුණත් සැකැස්ම සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේ ම එකඟතාවය අවැසිය. අනෙක් පැත්තෙන් ආණ්ඩුව පවත්වා ගෙන යෑමට ශ්‍රී.ල.නි.ප. ප්‍රමුඛ එ.ජා.නි.ස. එකඟත්වය අවශ්‍යය. එම එකඟත්වය නොමැති නම් ආණ්ඩුව අවසන් ය. එසේ ම අනෙක් පාර්ශ්වයට (එ.ජා.නි.ස) එකඟ වීමට හැකි ආකාරයට ආණ්ඩුවේ මුණත වෙනස් විය යුතු ය. මතයක් සමාජගත වී තිබුණි. මේ දෙකම නොවන්නේ නම් පාර්ලිමේන්තුවේ ආසන 96ක් හිමි කර ගෙන සිටින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආණ්ඩුවකට මන්ත්‍රීවරුන් 113ක බහුතරයක් පාර්ලිමේන්තුව තුළ පෙන්වීමේ හැකියාවක් තිබේ නම් ඊට ඉඩ දීමට රාජ්‍ය නායකයා ලෙසින් ජනාධිපතිවරයාට සිදු වේ.

වත්මන් අර්බුදය තුළ මේ වන විට නිර්මාණය වී තිබෙන්නේ පාර්ලිමේන්තු බහුතරය ප්‍රදර්ශනය කිරීමට වෙර දරණ මෙහෙයුමකි. එහෙත් ඒකාබද්ධ විපක්ෂයේ අය විකල්ප ආණ්ඩුවක ඇමැතිකම් ප්‍රතික්ෂේප කිරීම තුළින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩු ගොඩනැගීමේ මෙහෙයුම බාල වී තිබේ. එමගින් ස්ථිර ආණ්ඩුවක් ගොඩනඟාගත හැකි ද යන ප්‍රශ්නය මතු වෙමින් පවතී. අවසානේ පවතින සංයුතියම එ.ජා.ප හා එ.ජා.නි.ස. රජය ඉදිරියට යෑමට තිබෙන ඉඩකඩ වැඩිය.

නව අදහස දක්වන්න