ගුවන් යානයේ වැසිකිළියෙන් පළා යයි ! | දිනමිණ

ගුවන් යානයේ වැසිකිළියෙන් පළා යයි !

 සිය විස්මිත ආරංචිය හෙළි කිරීමට ප්‍රථම විනිසුරුවරයාට අවශ්‍යව තිබුණේ ඇබග්නේල්ගෙන් පොරොන්දුවක් ලබා ගැනිමටයි. යළිත් වරක් ඇබග්නේල් කරදරේ වැටෙනු දැකීමටත්, තමා ගත් තීරණය වැරැදි එකක් බවට පත්වනු දැකීමටත් ඔහුට අවශ්‍ය වුයේ නැත. හිඳ සිටි තැනින් නැගී සිටි විනිසුරුවරයා කාමරයේ එහා මෙහා සක්මන් කරන්නට විය.

“ඔයාට ජිවිතය අලුතෙන් පටන් ගන්න අවස්ථාවක් ලැබුණොත්, ඔයා මොකද කරන්නේ? ඔයාට ඵලදායි දෙයක් කරන්න පුළුවන් කියලා ඔයා හිතනවාද? අඩුම තරමේ ඔයා ඒ වෙනුවෙන් උත්සාහයක්වත් ගන්නවාද ? “විනිසුරුවරයා ඇසුවේ ඇබග්නේල් දෙස විනිවිදින යන බැල්මක් හෙළමිනි.

“ඔව් සර්, මට අවස්ථාවක් ලැබෙනවා නම්,“ඇබග්නේල් පැවසුවේ තිර හඬකිනි.

“ඔයා හිතනවාද මේ වෙනකොට ඔයා හොඳ පාඩමක් ඉගෙනගෙනයි ඉන්නේ කියලා? “විනිසුරුවරයා යළිත් විමසුවේ තවදුරටත් සිය තීරණය නිවැරදි බැව් තහවුරු කරගැනීමට අවශ්‍ය නිසාය. “ඔව් සර් ඇත්තමයි මම කියන්නේ. මම දැන් හොඳ පාඩමක් ඉගෙනගෙනයි ඉන්නේ. “ඇබග්නේල් විශ්වාසය දනවන ස්වරයකින් පැවසුවේ බලාපොරොත්තු යළි දැල්වෙද්දීය. යම් නොසිතූ පුදුමයක් සිදුවන්නට යන බැව් ඔහුට ඉවෙන් මෙන් දැනෙන්නට විය. යළිත් අසුනේ හිඳගත් විනිසුරුවරයා හඬ අවදි කළේ කල්පනා සහගතව හිස වනමිනි.

“ඔයා වෙනුවෙන් මම අද රෑ මාවම පුදුම කරවන දෙයක් කළා මිස්ටර් ඇබග්නේල්. මීට සති දෙකකට කලින් කවුරුහරි කිව්වා නම් මම මේ වගේ දෙයක් කරන්න යනවා කියලා, ඒ මිනිහා පිස්සෙක් කියලා කියන්නත් ඉඩ තිබුණා. මම ඇමරිකානු තානාපති කර්යාලයේ ඉන්න මගේ මිත්‍රයෙක්ට කතා කරලා ස්වීඩන් නීතියට අනුව ඔයාගේ අයිතීන් උල්ලංඝණය කරන ලෙස ඉල්ලීමක් කළා. මම එයාට කිව්වා ඔයාගේ ඇමරිකානු ගුවන් ගමන් බලපත්‍රය අවලංගු කරන්න කියලා. එයා ඒක කළා."

ඇබග්නේල්ට පුදුමය නිසා කතා කර ගැනීමට පවා නොහැකි විය. මුව ගොළු වුවා සේ ඔහුට දැනිණි. විනිසුරුවරයෙක් තමා වැනි අපරාධකරුවකු වෙනුවෙන් මෙවැන්නක් කරන්නේ ඇයිද කියා ඔහු මවිත විය.තමාගේ පුදුමය සිය ඉරියව්වලින් ප්‍රකාශ වූ බව ඇබග්නේල් දැන ගත්තේ විනිසුරුවරයා ඔහු දෙස බලා මඳහසක් පෑ නිසාය. එය ඇබග්නේල්ගේ ජිවිතයේ විමතියත්, කුතුහලයත්, බලාපොරොත්තුවත් එකට කැටි කළ මොහොතකි.

“මිස්ටර් ඇබග්නේල්, ඔයා දැන් ස්වීඩනයට අනාරාධිත අමුත්තෙක්. “විනිසුරුවරයා පැවසුවේ මුවඟ රැදුණු මද සිනහවකුත් සමඟයි. “මට පුළුවන් දැන් ඔයාව නිත්‍යානූකුලව ඇමරිකාවට පිටුවහල් කරන්න. ඔයා තමන්ගේ රටට පිටුවහල් කරන්න කියලා යුරෝපා රටවලින් කරලා තියෙන ඉල්ලීම් පසුවට කල්දාන්නත් දැන් පුළුවන්. තවත් මිනිත්තු කීහිපයකින් මම අර එළියේ ඉන්න නිලධාරින්ට නියෝග කරනවා ඔයාව ගුවන්තොටුපළට ගෙනියලා නිව්යෝක් බලා පියාසර කරන ගුවන් යානයකට ගොඩකරන්න කියලා. ඒකට අවශ්‍ය සියලු කටයතු සූදානම් කරලයි තියෙන්නේ.

ඔයාගේ රටේ පොලිසියත් සූදානමින් ඉන්නේ ඔයා ඇමෙරිකාවට පය තබපු හැටියෙම අත්අඩංගුවට ගන්න කියලා. ඔයාගේ රටේත් ඔයා නීතියට අවශ්‍ය කරන අපරාධකාරයෙක්. ඒ නිසා ඔයා මෙහෙම එන බව එයාලට දැන්වීම මගේ යුතුකමක්. දැනටමත් එෆ්. බී. අයි. එක සූදානමින් ඉන්නේ ඔයාව පිළිගන්න. ඔයාට එහේදී නඩුවකට මුහුණ දෙන්න වේවි. නමුත් පුතා, ඔයා ඒ තත්ත්වෙට මුහුණ දෙන්නේ ඔයාගේම මිනිස්සු අතරෙදීයි. ඔයා වෙනුවෙන් එහේ ඔයාගේ මව්පියන් හරි ඉන්නවානේ.අනික් කාරණේ තමයි, සමහරවිට ඔයා මේක නොදන්නවා වෙන්නත් පුළුවන්. ඇමරිකාවේදී නියමිත දඬුවම අවසන් කළායින් පස්සේ වෙන කිසිම රටකට බැහැ ආයෙත් ඔයාට දඬුවම් කරන්න කියලා ඒ රටවලට අරගෙන යන්න. ඇමරිකාවේ නීතියට අනුව ඒක තහනම්.

මම මේ වගේ තීරණයකට ආවේ අපි හැමෝගේම, විශේෂයෙන්ම ඔයාගේ යහපත ගැන හිතලයි පුතා. ඔයාගේ රටේදී අදාළ දඬුවම අවසන් කළායින් පස්සේ ඔයාට පුළුවන් යහපත්, ජිවිතයක් ගත කරන්න. ඔයා මාව වැරදිකාරයෙක් කරන එකක් නැහැ කියලා මට විශ්වාසයි."

තමා වෙනුවෙන් මේසා දයානුකම්පාවක් දැක්වූ මේ වියපත්, වැදගත් පුද්ගලයා සිප වැළඳ ගැනීමට ඇබග්නේල්ට අවශ්‍ය වුවත්, ඒ වෙනුවට කළේ කඳුළු පිරි දෑසින් යුතුව ඔහුගේ දෑතම හිතෛශිවන්තව තදින් මිරිකීමයි. තමාගේ අනාගතය වෙනුවෙන් යම් ඵලදායි යමක් කරන බවට ඔහු විනිසුරුවරයාට පොරොන්දු විය.එම පොරොන්දුව බිඳලීමට දවසක්වත් ඔහුට ගත වූයේ නැත. හරියටම කීවොත් ඊට ගත වූයේ පැය දහ අටක් පමණි.පොලිස් නිලධාරීන් ඇබග්නේල් ගුවන්තොටුපළට රැගෙන යන විටත් ඔහුව බලාපොරොත්තුවෙන් පරික්ෂක ජෑන් ලන්ඩ්ස්ට්‍රෝම් බලා සිටියාය. ඇබග්නේල්ගේ ගුවන් ගමන් බලපත්‍රයත්, වෙනත් ලියකියවිලිත්, මැල්මෝ බන්ධානාගරයේදී උපයාගත් මුදලුත් බහාලු කවරයක් ඇය අතේ විය. අතේ වියදමට ඇබග්නේල් අතට ඩොලර් විස්සක් ලබාදෙමින් ඇය ලියිකියවිලි ඇතුළත් කවරය ගුවන් නියමුවා අතට පත්කළේ, ඒවා නිව්යෝක් බලධාරීන්ට භාරදෙන ලෙස ඉල්ලමිනි. ඉන් පසුව ඇය ඇබග්නේල් වෙත හැරුණේ බැරෑරුම් පෙනුමක් ඇතිවය. ඇය ඔහුට සිය අත දුන්නාය.

“සුබ ගමන් ෆ්‍රෑන්ක්. මගේ සුබ පැතුම්. ඔයාගේ අනාගතය හැම අතින්ම වාසනාවන්ත වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා."

ඇය වෙතින් පළවු හැඟීම් කියවා ගැනීම දුෂ්කර විය. නමුත් ඇබග්නේල්ට එය ගැටළුවක් නොවීය.

“මට කවදාවත් ඔයාව අමතක වෙන්නේ නැහැ ජෑන්."

ගුවන් නියමුවාද, ගුවන් සේවිකාවන්ද ඇතුළු බලා සිටි සියල්ලන් පුදුමුයට පත් කරමින් ඇබග්නේල් පරීක්ෂක ජෑන්ව සිප ගත්තේය. ඇය කෙරෙහි තමා තුළ වූ හැඟිම් ඇබග්නේල් ප්‍රකාශයට පත් කළ පළමු අවස්ථාව එය විය. නමුත් එය හුදෙක් ඇය කෙරෙහි ඔහු තුළවු ප්‍රසාදය හා කෘතවේදීත්වයේ සංකේතයක් ලෙස සිදු වූවක් පමණක්ම විය. අදට ද ඇබග්නේල් පරීක්ෂක ජෑන්ව ගෞරවයෙන් යුතුව සිහිපත් කරන්නේ සුන්දර, කාරුණික එමෙන්ම සුහදශීලි මිතුරියක ලෙසයි. නිව්යෝක් බලා ගිය ගුවන්ගමනේදී ඇබග්නේල්ට අසුන් පනවා තිබුණේ පාලන මැදිරියේ වුවද, යානයේ ඕනෑම තැනක සැරිසැරීමට ඔහුට අවසරය ලැබී තිබිණී. ඔහුට සැලකුම් ලැබුණේද සාමාන්‍ය මඟියෙකුට පරිදිමය. නමුත් මින් පළා යා යුතු යැයි ඔහු තීරණය කළේය. වයස්ගත විනිසුරුවරයාගේ කාරුණික ඉල්ලීමට පිටුපෑම තීරණය කළේ ඇයි දැයි හේ අදටත් නොදනී. බොස්ටන්හි සිර මැදිරියක අවම පහසුකම් ඇතිව ගත කළ කෙටි කාලය ඔහුට සිහිපත් වන්නට ඇත. පෙපිග්නන්හි ගෙවුණු පීඩිත ජිවිතය හා සසඳන කළ බොස්ටන් බන්ධනාගාරයේ තිබූ අවම පහසුකම් සුඛෝපභෝගී අංග ලෙස පෙනුණත්, ස්වීඩන් බන්ධනාගාරවල ගත කළ සැප ජීවිතය නිසා ඇබග්නේල්ගේ සිත ඉඳුරාම ඉල්ලා සිටියේ එවන් පහසුකම්වලින් යුතු සිපිරි ජිවිතයකි.

ඇබග්නේල්ගේ නිව්යෝක් ගුවන් ගමන සිදු වූයේ බ්‍රිටිෂ් වෛයිකවුන්ට් වර්ගයේ යානයකිනි. ඇබග්නේල් එහිවූ සෑම අභ්‍යන්තර කොටසක්ම දත් යානයක් විය. ඊට හේතු වූයේ වරක් ගුවන් නියමුවෙකු විසින් ඔහු මෙම වර්ගයේ යානයක් පුරා සංචාරයක් ගෙනයමින් කදිම විස්තර කථනයක් ලබාදී තිබීමය. පැන යා හැකි මඟක් ගැන සැලසුමක් ඒ වන විටත් නොතිබුණත්, ගෙදර වාගේ දන්නා කියන යානයකින් පළා යාම තමා වැන්නෙකුට එතරම් දෙයක් නොවන බව ඇබග්නේල් විශ්වාස කළේය. යානය කෙනඩි ගුවන් තොටුපළේ දහතුන්වන ධාවන පථයේ ගොඩ බා පර්යන්තයට පැමිණීමට විනාඩි දහයක්වත් ගතවන බැව් ඇබග්නේල් දැන සිටියේ මෙබඳු ගමන්වල යෙදීමෙන්ම ලත් අද්දැකිම්වලිනි. ගුවන් යානය ගොඩ බෑමට හරියටම විනාඩි දහයක් තිබියදී වැසිකිළිය වෙත ගිය ඇබග්නේල් එය ඇතුළතින් අගුළු ලා ගත්තේය. වැසිකිළි බඳුන හොඳින් පරික්ෂා කර බැලු ඇබග්නේල්ට අවබෝධ වූයේ එය ගලවා ඉවත් කිරීමට හැකි වන සේ ඉදිකරන ලද වැසිකිළි බඳුනක් බවයි. එහි පාදමේ වු අගුල් ඉවත් කළ ඇබග්නේල් වැසිකිලි බඳුන ගලවා ඉවතින් තැබුවේ, පාදමේ වු යටි දොරක් විවෘත කරමිනි. ගුවන් යානයක පතුලේ ඇති අඩි දෙකක් පමණ විශාලත්වයකින් යුතු එම විවරය භාවිතා කෙරෙන්නේ ගොඩබිමේදී යානය පිරිසිදු කිරීමට යොදා ගන්නා රික්තක නලය ඇතුල් කිරීමටයි. විවරය අසළට ගිය ඇබග්නේල් කල් මරන්නට වුයේ නැකත එළැඹෙන තුරුය.

"තඩ්" යන හඬක් නංවමින් යානය පොළවේ ගැටෙද්දී එම නැකත උදාවිය. දැන් නියමුවා එන්ජිම අක්‍රිය කර පියාපත්, තිරිංග ලෙස ආදේශ කරවමින් යානයේ වේගය බාල කර ධාවන පථයේ ගමන් කරවන අයුරු ඇබග්නේල් සිතින් මවා ගත්තේය. තවත් මොහොතකින් ඔහු ධාවන පථයේ කෙළවරට පැමිණ යානයේ ගමන සම්පුර්ණයෙන්ම නතර කරනු ඇත. රික්තක විවරයෙන් පිටතට පැනීමට සුදුසුම මොහොත වන්නේ එයයි. සිය මනැස් චිත්‍රයට අනුව එම අවස්ථාව එළැඹි බව නිගමනය කළ ඇබග්නේල් තවත් මොහොතක්වත් පමා නොවී වැසිකිළි විවරයෙන් රිංගා ගොස් පතුලේ වු දොර විවෘත කොට එයින් ද රිංගා ගොස් දෑතින්ම එහි දාරයේ එල්ලුණේය.දැන් ඔහු සිටින්නේ පොළවට අඩි දහයක් පමණ ඉහළින් එල්ලෙමිනි. දොරටුව විවෘත වන විටම නියමු මැදිරියේ අනතුරු අඟවන නලාව ශබ්දවන බව ඔහු පෙර ගුවන් ගමන්වලදී ලත් අත්දැකීම්වලින් දැන ගත්තේය.මෙය යානය ගොඩබෑමේදී ඇති වන කම්පනය හේතුවෙන් වන සාමාන්‍ය සිදුවීමකි. එබැවින් නියමුවන් ද ඒ කෙරෙහි එතරම් අවධානයක් දක්වන්නේ නැත. යානය නැවැත්වූ පමාවෙන් විවරයෙන් බිමට පැන්න හෙතෙම දුවන්නට විය. ධාවන පථය ඔස්සේ හැල්මේ ඉදිරියට දිව ගිය ඇබග්නේල් අඳුරට වැදී සැඟවුණේ තමන් පළා යන අයුරු කිසිවකු විසින් හෝ දුටුවාදැයි කියා විපරම් කිරීමටවත් නොසිතාය.

පසුව ඔහුට දැන ගන්නට ලැබුණේ එදා ඔහු කාගේත් දෑස් වසා පළායන්නට සමත් වූ බවයි. කොටින්ම ඔහුගේ පළා යාම පොලීසියට පවා අබිරහසක්ව තිබුණේ ඔහු වීරයකු කරමිනුයි. නමුත් ඒ වැඩි කලකට නොවේ. එෆ්.බී.අයි. නිලධාරින් සමඟ යානය පීරමින් කළ ගවේෂණයේදී ඉවත්කර තිබු වැසිකිළි බඳුන සොයාගෙන තිබුණේ කෝපයෙන් පුපුරු ගසන ඔ‘රයිලි විසිනුයි. එකල ඇමරිකානු මාධ්‍ය නිව්යෝක් පොලිසීය උපහාසයට ලක්කරමින් ඇබග්නේල්ගේ ‘වැසිකිළි වලෙන් පළායාමේ සිද්ධිය වාර්තා කළේ තලු මරමිනි. ගුවන්තොටුපළ වටා වූ උසැති කම්බි දැල් වැටෙන්ද බඩ ගා එළියට පැන ගත් ඇබග්නේල්,එතැනින් දුම්රියපොළට ගොස් ඔහුගේ උපන් නගරය වූ බ්‍රොන්ක්ස් වෙත ප්‍රවේශ පත්‍රයක් මිලදී ගත්තේය. නමුත් ඔහු එහි ගියේ ගෙදර යාමට නොව කෙල්ලෙකු බැලීමටය.

ගෙදර ගියේ නැතිවුණත් වසර පහකට පසු පළමුවරට ඇබග්නේල් සිය මාපියන්ට දුරකතනයෙන් කතා කළේය. සිය මවටත් පියාටත් කතා කළ ඒ අවස්ථා දෙකම සතුට මෙන්ම කදුළ ද දෝරේ ගැලු අවස්ථාවන් විය.ගෙදර එන ලෙස කළ ඉල්ලීම් වේදනාවෙන් වුවද ඇබග්නේල් බැහැර කළේ පියාගේත්, මවගේත් නිවෙස් දැනටමත් පොලිසියේ රැකවල් මැද ඇති බව හේ නිවැරදිව අනුමාන කළ නිසාය. මැල්මෝ නුවර කාරුණික විනිසුරුවරයාට දුන් පොරොන්දුව කඩකිරීම ගැන ඇබග්නේල් ලැජ්ජාවට පත්වුවත්,තවදුරටත් සිර ගෙවල්වල විසීමට ඔහුට හිත දුන්නේ නැත. මවගෙනුත්, පියාගෙනුත් සමුගත් ඇබග්නේල්ගේ ඊළඟ නැවතුම වූයේ බ්‍රොන්ක්ස් නුවර පෙම්වතියයි. නමුත් එය පෙම් කරන්නට ගිය ගමනක් නොවේ.

ෆ්‍රෑන්ක් ඇබග්නේල් විසින් රචිත Catch Me If You Can කෘතිය සහ අන්තර්ජාල තොරතුරු ඇසුරෙනි

සිංහල කළේ
රුක්ලන්ති පෙරේරා

හෙට : බන්ධනාගාරය ගොනාට අන්දවයි

නව අදහස දක්වන්න