මල් තරම් ලස්සන නැති මල් වගාකරුවන්ගේ ජීවිත | දිනමිණ

මල් තරම් ලස්සන නැති මල් වගාකරුවන්ගේ ජීවිත

 වර්තමානයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ දැකිය හැකි නව ප්‍රවණතාවක් වන්නේ නවීන තාක්ෂණය ප්‍රශස්ත මට්ටමින් උපයෝගී කර ගනිමින් කළ හැකි කෘෂි ව්‍යාපාර සඳහා වැඩි නැඹුරුවක් පැවතීමයි. මල් හා විසිතුරු පත්‍ර වගාව ද එවැනි ආකර්ෂණීය කර්මාන්තයකි.

ශ්‍රී ලංකාව තුළ මල් හා විසිතුරු පත්‍ර වගා කෙරෙන අනෙකුත් ප්‍රදේශයන්ට සාපේක්ෂව නුවරඑළිය සහ බදුල්ල යන දිස්ත්‍රික්කයන් හි මල් වගාව කෙරෙහි වඩා හිතකර වූ පාරිසරික තත්ත්වයක් පවතින නමුත් වර්තමානයේ සුළු හා මධ්‍ය පරිමාණ මල් වගාකරුවන්ට නිෂ්පාදන හා අලෙවි ගැටලු රාශියකට මුහුණ දීමට සිදු ව ඇත.

මල් කර්මාන්තයේ වර්ධනය

ගෙවී ගිය දශක කිහිපය තුළ අත් කරගෙන ඇති වර්ධනය නිසා වර්තමානයේ එය ගෝලීය වශයෙන් ඉතා වේගයෙන් පැතිර යන කර්මාන්තයක් බවට පත්ව ඇත. ශ්‍රී ලංකාවේ ද මල් හා විසිතුරු පැළ වගාව ආදායම් උත්පාදන කාර්යයෙහි ලා ඉතා වැදගත් දේශීය කර්මාන්තයක් බවට පත්ව ඇත. මල් වගාව හා ඒ ආශ්‍රිත කර්මාන්තයන් හි පවතින ආකර්ෂණීයභාවය නිසා රැකියා විරහිත තරුණ ප්‍රජාවත්, ග්‍රාමීය මට්ටමේ සුලබව පවතින කාන්තා ශ්‍රමයත් එම කර්මාන්තය වෙත උරා ගැනීමේ හැකියාව ඉහළ මට්ටමක පවතී.

එසේම වැඩි දියුණු කළ මල් ප්‍රභේද වගා කිරීමටත් නිවර්තන හා සෞම්‍ය කලාපයට අයත් ශාක වර්ධනයටත් සුවිශේෂී වූ පාරිසරික තත්ත්වයක් හිමි ශ්‍රී ලංකාවේ මධ්‍යම සහ ඌව පළාත්වලට අයත් බදුල්ල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කයන් හි මල් වගාව ප්‍රචලිත කිරීමේ ඉහළ විභවයක් ද පවති.

එසේ වුවත් මල් වගාවට වැදගත් වන අනෙකුත් ප්‍රදේශයන්ට සාපේක්ෂව මෙම දිස්ත්‍රික්කයන් හි මල් නිෂ්පාදනය ඉහළ නැංවීමට බාධා වන පරිදි සුළු හා මධ්‍ය පරිමාණ මල් වගා අංශය තුළ සැඟවී ගත් ගැටලු හා සීමා ඉදිරියට පැමිණ ඇති බැවින් මෙම කර්මාන්තයේ වර්ධනයට එය බාධාවක් වී ඇත.

එබැවින් මෙම දිස්ත්‍රික්කයන් හි සුළු හා මධ්‍ය පරිමාණ මල් වගාකරුවන් මුහුණ දෙන ගැටලු හා දුෂ්කරතාවන් පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කර එම දිස්ත්‍රික්කයන් හි මල් කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා සුදුසු යෝජනා ඉදිරිපත් කිරීමේ පුළුල් අරමුණින් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය විසින් 2015 වර්ෂයේ දී බදුල්ල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කයන් හි සුළු හා මධ්‍ය පරිමාණ මල් වගාකරුවන් මුහුණු දෙන ගැටලු හා සීමාවන් පිළිබඳ විධිමත් ඇගයීමක් සිදු කරන ලදී. මෙම අධ්‍යනයේ විශේෂිත අරමුණු වූයේ නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ මල් වගාකරුවන්ගේ සමාජ-ආර්ථික තත්ත්වය විමර්ශනය කිරීම, ප්‍රදේශයට අදාළව මල් වගාවේ ස්වභාවය, නිෂ්පාදනය හා අලෙවි රටාව අධ්‍යයනය කිරීම යනාදියයි.

වගාකරුවන් මුහුණ දෙන ගැටලු හා සීමාවන් හඳුනා ගැනීම හා ප්‍රදේශය තුළ මල් කර්මාන්තය දියුණු කිරීමට යෝජනා ඉදිරිපත් කිරීමත් ප්‍රධාන තලයේ ලා සැලකිය හැකිය.

මෙම අධ්‍යයනය සඳහා තොරතුරු සපයා ගැනීමට නුවර එළිය දිස්ත්‍රික්ක සහ බදුල්ල යන දිස්ත්‍රික්ක දෙකෙහි සුළු හා මධ්‍ය පරිමාණ මල් වගාව වැඩි වශයෙන් ව්‍යාප්තව ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වන නුවරඑළිය, වලපනේ, වැලිමඩ සහ බණ්ඩාරවෙල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මල් වගාකරුවන් 140 දෙනකු සමීක්ෂණයට ලක් කළ අතර ක්ෂේත්‍රයට අදාළ නිලධාරීන්ගෙන් ද දත්ත හා තොරතුරු සපයා ගන්නා ලදී.

අධ්‍යයනයේ ප්‍රධාන සොයා ගැනීම් 
වගාකරුවන්ගේ සමාජ-ආර්ථික තත්ත්වය

අධ්‍යයන ප්‍රදේශය තුළ සුළු හා මධ්‍ය පරිමාණ මල් වගාකරුවන්ගේ සමාජ ආර්ථික ලක්ෂණ විග්‍රහ කිරීමේ දී, ඔවුහු සියයට 58 කාන්තා මල් වගාකරුවන් වූ අතර 79‍ක් වයස අවුරුදු 35 ට වැඩි කාණ්ඩයටත් 21‍ක් වයස අවුරුදු 16-35 අතර වූ තරුණ වයස් කාණ්ඩයටත් අයත් වූ 18‍ක් අ.පො.ස. සා.පෙළ සමත් හා 21‍ක් අ.පො.ස. උසස් පෙළ සමත් වූ 79‍ක් මල් වගාව තම ප්‍රධාන ජීවනෝපාය ලෙසින් සිදු ‍කරන්නා වූ කණ්ඩායමකි.

ඔවූන්ගේ මුළු මාසික ආදායම විමසීමේ දි වගාකරුවන්ගේ 63‍ක් ම අයත් වූයේ මුළු මාසික ආදායම රු.25, 000 හෝ ඊට වැඩියෙන් ලබන්නා වූ කාණ්ඩයටය. රු.100, 000 ඉක්මවන මල් වගාකරුවන් ද 14‍ක් විය.

නිෂ්පාදනය හා අලෙවි රටාව

සමස්ත නියැදියෙන් 46‍ක් කැපූ මල් වගාවට ද 36‍ ක් බඳුන්ගත මල් වගාව සඳහා ද දෙවර්ගයම සිදු කිරීමට 16‍ ක් ද යොමු වී සිටියහ. සමස්ත නියැදියෙන් 80‍ක් ම මල් වගාවට භාවිත කරන භූමි ප්‍රමාණය වූයේ අක්කර 1-4 හෝ ඊට අඩු ප්‍රමාණයක් වූ අතර සමස්ත නියැදියේ 54‍ක් තම වගා කටයුතු සඳහා පවුලේ ශ්‍රමය පමණක් භාවිත කරන අතර 46‍ක් පවුලේ ශ්‍රමයට අමතරව කුලී ශ්‍රමයද භාවිත කර ඇත.

අධ්‍යයන නියැදියෙන් 75‍ක් ම ප්‍රදේශයේ පවතින කුමන හෝ මල් සංගමයක සාමාජිකත්වය ලබාගෙන ඇත. එයින් සුවහස් මල් සංගම්වල සාමාජිකත්වය ලබා ඇති පිරිස සාපේක්ෂව ඉහළ ය. එතෙකුදු වුවත් සමස්ත නියැදිය තුළ 80‍ක් ම ඔවුන් විසින් සකස් කරන ලද තවාන්වලින් අවශ්‍ය මල් පැළ සපයා ගෙන ඇත.

දිස්ත්‍රික්ක දෙකෙහි ම ප්‍රධාන අලෙවි ජාලය වූයේ නිෂ්පාදකයා එකතු කරන්නා පාරිභෝගිකයා යන ජාලයයි. කැපූ මල් හා බඳුන්ගත මල් පැළ සඳහා ඉහළ ඉල්ලුමක් පවතින මාස මෙන් ම ඉහළ ආදායම් ලබන මාස වන්නේ මැයි, ජූනි, දෙසැම්බර් හා ජනවාරි යන මාස පමණි.

වගාකරුවන් මුහුණ දෙන ගැටලු

වගාවට අවශ්‍ය නව බීජ හා රෝපණ ද්‍රව්‍ය සපයා ගැනීම ප්‍රධාන ගැටලුවක් වී ඇත. වගාව පිළිබඳ දැනුම හා පුහුණුව ලබා ගැනීමේදීත්, නිෂ්පාදන හා අලෙවි තොරතුරු ලබා ගැනීමේදීත් අවිධිමත් මාර්ග භාවිත කර ඇති අතර නවතාවයෙන් යුතු දැනුම හා තාක්ෂණය වගාකරුවන් වෙත ලැබීමේ ප්‍රමාදය ද ගැටලුවක් වී ඇත. ඒ අනුව සමස්ත වගාකරුවන්ගෙන් 90ක් ම සඳහන් කළ පරිදි මල් වගාව සඳහා ව්‍යාප්ති සේවය ලබා දීම සම්බන්ධ ප්‍රබල ගැටලුවක් පවතී.

වගාව සඳහා ඉහළ වියදමක් දැරීමට සිදුවීමත්, මාර්ග අබලන් වීම හා දුෂ්කර වීමෙන් ගැනුම්කරුවන්ගේ පැමිණීම අඩු වීම හා ප්‍රවාහනයට බාධා වීමත්, ස්ථිර වෙළෙඳපොළක් හා මිලක් නොමැතිවීමත් වගා කරුවන්ගේ ආදායමට අහිතකර ලෙස බලපා ඇත.

එසේම දේශගුණික, කාලගුණික ව්‍යසනවලට මුහුණ දීමට සිදු වීමත්, මහා පරිමාණ මල් වගාකරුවන්ගේ බලපෑමත්, ඉඩම් සඳහා ස්ථිර ඔප්පු නොමැති වීම හා වගා භූමි හිඟයත්, පුහුණු ශ්‍රමය සපයා ගැනීමේ අපහසුවත්, මල් වගාකරුවන් පෙළන ප්‍රධාන ගැටලු අතර විය.

නිගමන

ග්‍රාමීය මට්ටමේ පවතින සුලබ කාන්තා ශ්‍රමය උපයෝජනයටත් තරුණ ප්‍රජාවගේ රැකියා නියුක්තිය ඉහළ නැංවීමටත් මෙම අංශය සතුව පවතින හැකියාව ඉතා ඉහළ ය.

එසේ වුවත් අධ්‍යයන ප්‍රදේශයට අදාළව සුළු හා මධ්‍ය පරිමාණ මල් වගා අංශය තුළ සැගවුණු විවිධ අලෙවි හා නිෂ්පාදන ගැටලු එම කර්මාන්තයේ ප්‍රවර්ධනයට දැඩි බලපෑමක් එල්ල කර ඇති බව මෙම අධ්‍යයනයේ දී තහවුරු වු ප්‍රධානම කරුණ විය.

ඒ අනුව, අධ්‍යයන ප්‍රදේශය තුළ තරුණ හා කාන්තා ශ්‍රමය ඵලදායී ලෙස මට්ටමින් රැකියා අවස්ථා බිහි කිරීමට දායක කරගත හැකි මට්ටමේ කර්මාන්තයක් ලෙසින් මෙය ප්‍රවර්ධනය කිරීමටත්, අපයනය වෙළෙඳපොළ කරා ප්‍රවිෂ්ඨ විය හැකි මට්ටමේ වගා කරුවන් දිරිගන්වමින් මල් අපනයන අංශය දියුණු කිරීමටත් කටයුතු යෙදිය යුතුය. ඒ සඳහා අධ්‍යයන ප්‍රදේශය තුළ සුළු හා මධ්‍ය පරිමාණ මල් වගා අංශයේ පවතින ගැටලු හා දුෂ්කරතා අවම කිරීමේ කාර්යයේ දී මල් වගා ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට අදාළව දැනටමත් විශල කාර්යභාරයක් සිදු කරන ප්‍රධාන ආයතන දෙක වූ ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවට සහ අපනයන සංවර්ධන මණ්ඩලයට තව දුරටත් ඔවුන්ගේ කටයුතු ඵලදායක හා කාර්යක්ෂම අයුරින් සැලසුම් කිරීමටත් ක්‍රියාත්මක කිරීමට පියවර ගත යුතුය.

නිර්දේශ

දේශීය මෙන් ම විදේශීය වෙළෙඳපොළට ගැළපෙන පරිදි ඉහළ ගුණාත්මයෙන් යුතු ඉහළ නිෂ්පාදන සඳහා අවශ්‍ය බීජ හා රෝපණ ද්‍රව්‍ය අධ්‍යයන ප්‍රදේශය තුළ සුලබ කිරීමට සුදුසු ක්‍රමවේදයක් සකස් කිරීම ප්‍රධාන කොට සඳහන් කළ හැකිය.

ඒ සඳහා දැනට මල් වර්ග කිහිපයකට සීමා වී ඇති පටක රෝපණ තාක්ෂණය වගාකරුවන්ගේ අවශ්‍යතාවය අනුව වැඩි මල් වර්ග ප්‍රමාණයකට යොදා ගැනීමට මල් සංගම් හරහා ප්‍රදේශයේ වගාකරුවන්ගේ මල් පැළ අවශ්‍යතාවය වාර්ෂිකව ඇස්තමේන්තු කළ යුතුය. නිපදවන මල් වර්ගවල පැළ ප්‍රමාණය ඉහළ දැමීම සහ එම අවශ්‍යතාව සැපිරීමට පටක රෝපණ තාක්ෂණය භාවිතයට වෙන් කරන මූල්‍යමය ප්‍රතිපාදන ඉහළ දැමීම මඟින් පටක රෝපණ මධ්‍යස්ථානවලට අවශ්‍ය තාක්ෂණික පහසුකම් හා මානව සම්පත් ප්‍රමාණය වැඩි කිරීම සිදු කළ යුතුය.

එසේම අධ්‍යයන ප්‍රදේශය තුළ ස්ථාපිතව ඇති පර්යේෂණ මධ්‍යස්ථානවල ද මල් වගාව සම්බන්ධයෙන් වන පර්යේෂණ වැඩි කිරීමට අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය ලබා දීම කළ යුතුය.

මල් වගාව ආශ්‍රිත රෝග හා පළිබෝධ පාලනය සඳහා නව තාක්ෂණික දැනුම ලබා දීමේ, බද්ධ කිරීම වැනි වගා කටයුතු සම්බන්ධ තාක්ෂණය ලබා දීමේ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම කළ යුතුය. විදේශීය වෙළෙඳපොළට සුදුසු පරිදි මල් නිපදවීමට අපේක්ෂා කරන වගාකරුවන් හඳුනා ගනිමින් දේශීය මෙන් ම විදේශීය පුහුණුවීම් සඳහා යොමු කිරීමටද කටයුතු කළ යුතුය. මේ සඳහා උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති අංශය කාර්යක්ෂම කිරීම, ව්‍යාප්ති සේවක සංඛ්‍යාව හා පහසුකම් සැපයීම හා මල් වගාකරුවන්ට පහසුකම් සැපයීම සිදු කිරීම සඳහා උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ නිලධාරීවරයෙකුගේ අධීක්ෂණයට යටත් කිරීම වැදගත් කොට සැලකිය යුතුය. ප්‍රදේශය තුළ මල් එකතු කරන්නන් හරහා සුළු හා මධ්‍ය පරිමාණ මල් වගාකරුවන් වෙත මහා පරිමාණ මල් වගාකරුවන්ගෙන් ලැබිය යුතු නව දැනුම ලබාදීමට අදාළ ආයතන මැදිහත් විය යුතුය.

නිෂ්පාදන වියදම අවම කිරීම මඟින් ආදායම ඉහළ නැංවීම ගත හැකි ක්‍රියාමාර්ග අනුගමනය කිරීම කෙරෙහි ද සැලකිලිමත් විය යුතුය. මේ සඳහා ප්‍රදේශය තුළ මල් එකතු කිරීමට ප්‍රාදේශීය මට්ටමේ මල් එකතු කිරීමේ මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම, උග්‍ර ජල ප්‍රශ්නය සඳහා නළ ළිං සහ වැසි ජල ටැංකි හඳුන්වාදීම මඟින් ජල බිල්පත් වියදම අවම කිරීම කළ යුතුය.

පසු අස්වනු හානියෙන් මල් නිෂ්පාදකයාට ඔහුගේ ආදායමින් අහිමි වන මුදල රැක ගැනීමට සුදුසු ක්‍රමවේදයක් ලෙස මල් කොළඹට ප්‍රවාහනයට මල් ප්‍රවාහනය සඳහා ම වෙන් වූ දුම්රිය මැදිරියක් වෙන් කිරීමට රජය මැදිහත් වීම ගැන සලකා බැලිය යුතුය.

සුළු හා මධ්‍ය පරිමාණ මල් වගාකරුවන්ට තම නිෂ්පාදන සඳහා ස්ථාවර මිලක් ලබා දීමටත් ඒ මඟින් අපනයන විභවය ඉහළ නැංවීමට අදාළ ආයතන මැදිහත් වී සුළු හා මධ්‍ය පරිමාණ මල් වගාකරුවන් හා මහා පරිමාණ වගාකරුවන් අතර මිල ගණන් පිළිබඳ අවබෝධතා ගිවිසුමක් ඇති කිරීම කළ යුතුය.

නව අලෙවි දිශානතීන් හඳුන්වා දීම ද කාලෝචිතය. මේ සඳහා උනන්දුව, කුසලතාවය හා හැකියාව පවතින මල් නිෂ්පාදකයින් තෝරා ගනිමින් (විශේෂයෙන් තරුණ මල් වගාකරුවන්) ඉලෙක්ට්‍රොනික් අලෙවිය හඳුන්වාදීමේ වැඩසටහන් ආරම්භ කළ හැකිය.

පෞද්ගලික රෝහල්වල මල් අලෙවි කුටි ව්‍යාප්ත කිරීම හා සමාජීය වශයෙන් විශේෂිත අවස්ථා සැමරීම සඳහා මල් භාවිතය ඉහළ නැංවීමට ප්‍රජා ආකල්පමය වෙනස්කම් සිදු කිරීමට වැඩසටහන් සැකසීම ද කාලෝචිතය

නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්කයන්හි සුළු පරිමාණ මල් වගාකරුවන් මුහුණ පාන ගැටලු සම්බන්ධයෙන් කළ පර්යේෂණ වාර්තාව අසුරිණි.

සුසිලා ලූර්දු
ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරිනී හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය

 


නව අදහස දක්වන්න

Or log in with...