කප්රුකට වෙච්ච දේ! | දිනමිණ

කප්රුකට වෙච්ච දේ!

පොල් මිල පහළ බසින බවක් පෙනෙන්නට නැත. පොල් සැපයුම අඩු වී ඇති බැවින් පාලන මිලක් නියම කළ ද එය සාර්ථක වන්නේ නැත. පොල් වැනි පාරිභෝගික භාණ්ඩයකට පාලන මිලක් නියම කිරීම ද ප්‍රායෝගික නැත. සතොස වැනි රාජ්‍ය ආයතන කේන්ද්‍රකොට පොල් බෙදාහැරීමට උත්සාහ කළ ද ඒ මඟින් මුළු රටට අවශ්‍ය පොල් ලබාදීමට හැකියාවක් නැත. තත්ත්වය මෙසේ තිබියදී පොල් ඉඩම් කට්ටිකර විකිණීම ද ජයට ම සිදුවන බව පෙනෙයි. පොල් ඉඩම් විකිණීමට අදාළ නීතියක් ඇතත් එය ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නැත. අපේ වාර්තාකරුවකුගේ නිරීක්ෂණයකින් පැහැදිලි වන්නේ වයඹ පළාතේ පොල් ඉඩම් කට්ටි කර විකිණීම ඉතා හොඳින් සිදුවන බව ය. මීට අදාළ වාර්තාවක් ද ඊයේ අප පත්‍රයේ පළකර තිබිණි.

ශ්‍රී ලංකාවේ පොල් වගාව සම්බන්ධයෙන් වගකියන රාජ්‍ය ආයතන කිහිපයක් තිබේ. පොල් සංවර්ධන අධිකාරිය, පොල් වගාකිරීමේ මණ්ඩලය, පොල් පර්යේෂණ ආයතනය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඒ අතර වෙයි. මීට අමතරව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ද පොල් වගාවට සහාය දෙයි. එහෙත් මේ කිසිදු ආයතනයක් වයඹ පොල් වගාවට සිදුවන විනාශය ගැන නොබලන බව බොහෝ දෙනා පෙන්වා දෙති. මීගමුව - කුරුණෑගල ප්‍රධාන මාර්ගය දිගට සාරවත් පොල් ඉඩම් ගණනාවක් කට්ටි කර විකුණන බව අප වාර්තාකරුවා පෙන්වා දෙයි. දඹදෙණිය, මත්තේගම ආදී ප්‍රදේශවල ද පොල් ඉඩම් විකුණන බව කියති. පොල් ඉඩම් විකුණන්නේ නැවත වගාව සඳහා නො වන බව ද ඉතා පැහැදිලි ය.

පොල් හිඟය කෙතරම් බලවත් ද යත්; පොල් ත්‍රිකෝණයට අයත් ප්‍රදේශවල ද පොල් ගෙඩිය රුපියල් හැත්තෑවට හා අසූවට අලෙවි වෙයි. මීට වසර කිහිපයකට පෙර රටේ ‍පොල් ඉඩම් හෙක්ටයාර් හාරලක්ෂ හතළිස් දහසක් තිබුණු බව සඳහන් ය. අද පවතින මුළු පොල් ඉඩම් ප්‍රමාණය හරියට ම කියන්නට අප දන්නේ නැත. එහෙත් බැලූ බැල්මට පෙනී යන්නේ එය හරි අඩකින් පමණ අඩු වී ඇති බව ය. අක්කර විස්සට වැඩි පොල් ඉඩමක් දැකගත හැක්කේ ඉතා කලාතුරෙකින් ය. අලුත් වගාවන් දැකගැනීම අපහසුය. පොල් වගාව පිළිබඳ බරපතළ ගැලුවක් ඇති’මුත් ඊට ස්ථාවර විසැඳුමක් යොදන බවක් ද පෙනෙන්නට නැත. මහජනයාට දැකගන්නට ඇත්තේ දිනෙන් - දින පොල් මිල ඉහළ යන බව පමණකි.

අපගේ අත්දැකීමට අනුව පොල් වගාවේ පරිහානියට බලපාන ප්‍රධාන කරුණු කිහිපයක් තිබේ. ඉන් පළමුතැනට වැටෙන්නේ පොල් ඉඩම් කට්ටි කර විකිණීම ය. එය ජාවාරමක් බව සමහරු පෙන්වා දෙති. දෙවන හේතුව වන්නේ රටේ පවත්නා දැඩි නියඟය යි. ප්‍රමාණවත් වර්ෂාපතනයක් නැති විට පොල් ඵලදාව අඩු වෙයි. නැතහොත් පොල් ගස විනාශ වෙයි. තෙවන හේතුව වන්නේ පොල් ගසට රෝග වැලඳීම ය. වරක් මයිටා නමින් කෘමි වසංගතයක් පැතිර ගියේ ය. තව වරක් බැක්ටීරියාවක් නිසා පොල් ගසේ කොළ කහ පැහැගැන්වී පසුව ගස විනාශ විය. මේ රෝගය නිසා පොල් ගස් දෙලක්ෂ හැත්තෑපන්දහසක් විනාශ වූ බව කියති. තවත් වරක් කඳ හීන්වීමේ රෝගයක් පැතිර ගියේ ය. මේ සියල්ලෙන්ම සිදුවූයේ පොල් නිෂ්පාදනය පහත වැටීම ය.

සංඛ්‍යා දත්ත පරීක්ෂා කරන විට පෙනී යන්නේ 2006 සිට පොල් වගාවට හෙනහුරා ලබා ඇති බව ය. පොල් පර්යේෂණ ආයතනය විද්‍යාඥයන්ගේ ද සහාය ලබාගෙන පොල් රෝගවලට ප්‍රතිකාර කළේය. වරක් එංගලන්තයේ නොට්හැච් විශ්වවිද්‍යාලයයෙන් පවා උපදේශන ලබාගෙන තිබේ. එහෙත් එක රෝගයක් නිවාරණය වන විට තව රෝගයක් ඉස්මතු වෙයි. තව අතෙකින් පොල් වගාකරුවන් උපදේශන නිසි අයුරින් ක්‍රියාවට නංවන්නේ නැත. මේ නිසා රෝග නිවාරණය හෝ රෝග පාලනය හෝ හරියට සිදුවන්නේ නැත. පොහොර හා පලිබෝධ නාශක නොයොදා ඵලදාව පමණක් අපේක්ෂා කරන වගාකරුවෝ බොහොමයක් සිටිති. මේ අය පොල් ඉඩම් කට්ටිකර විකිණීමට සහයෝගයක් ලබා දෙන බව ද රහසක් නො වේ.

පොල් වගාවේ පරිහානිය රටේ ආර්ථීක ක්ෂේත්‍ර කිහිපයකට බලපායි. එක; පොල් අපනයනය යි. එහි ආදායම දිනෙන් දින පහළ යයි. දෙක; පොල් පරිභෝජනය යි. පරිභෝජනය සඳහා රටින් පොල් ගෙන්වීමට වුවමනා කාලයක් පැමිණ තිබේ. තුන; පොල් ආශ්‍රිත අතුරු නිෂ්පාදනවල තත්ත්වය යි. මේ අතුරු නිෂ්පාදනවලින් ලක්ෂ අටකගේ පමණ රැකියා ගැටලු විසැඳී ඇති බව කියති. පවත්නා තත්ත්වය දිගට ම තිබුණහොත් ඒ සියලු දෙනාට රැකියා අහිමි වනු ඇත. ඒ පමණක් නො ව පොල් වගාවට සම්බන්ධ රාජ්‍ය ආයතනවලින් ද ප්‍රයෝජනයක් නැතිව යනු ඇත. වරක් දිවි නැඟුම වැඩසටහන යටතේ පොල් පැළ ලක්ෂ හතළිහක් බෙදාදීමේ වැඩසටහනක් ආරම්භ කළේය. එහෙත් ඒවා වගාකළ තැන් සොයා ගැනීම අපහසු ය. ඇතැම් දේවල් සිදු වී ඇත්තේ ප්‍රචාරණයට පමණි.

ඉන්දුනීසියාව, මැලේසියාව, පිලිපීනය, ඉන්දියාව, තායිලන්තය, වියට්නාමය වැනි රටවල් පොල් වගාව ඉතා සාර්ථකව කරගෙන යයි. මේ රටවලට අවශ්‍ය පොල් එම රටවලම නිෂ්පාදනය වන අතර ඉතිරිය අපනයනය කෙරේ. ශ්‍රී ලංකාවට හිමි ව තිබුණේ පොල් නිෂ්පාදනය අතින් ලෝකයේ හතරවන ස්ථානය යි. එහෙත් අද වන විට අපේ නිෂ්පාදනය අනුව අපට එම ස්ථානය හිමිවන්නේ නැත. වසරින් - වසර පොල් නිෂ්පාදනය අඩු වෙයි. පොල් මිල ද ඉහළ යයි. මේ අන්දමින් කාලය ගෙවී ගියහොත් ශ්‍රී ලංකාවේ කප්රුක අතුරුදන් වී ඇතැ’යි කියන්නට සිදු වේ. 2020 වන විට පොල් අපනයනයෙන් රුපියල් බිලියන 130 ක් ඉපැයීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි. එම ආර්ථීක ඉලක්කය ජයගැනීමට නම්; පොල් වගාව උඩු - යටිකුරු කළ යුතු ව තිබේ. පොල් පර්යේෂණ ආයතනය Òකප්සෙතÓ නමින් ද, Òකප්සුවයÓ නමින් ද අලුත් පොල් වර්ග දෙකක් හඳුන්වා දී ඇත. මේවා වසර තුනක් වැනි කෙටි කාලයක් තුළ පීදෙයි. ඵලදාව ද වැඩි බව කියති. එහෙත් මේ පොල් වර්ග නිසි සාත්තුවක් ඇතිව පවත්වාගෙන යා යුතුය. ඊට වගාකරුවන් පෙළැඹවිය යුතු ය.

වයඹ පොල් ඉඩම්වල අර්බුදය දෙස නැවත හැරී බැලුවහොත් එය වහා විසැඳිය යුතු බව පෙන්වා දිය යුතු ය. අපේ සාර්ථක ම පොල් වගාව ඇත්තේ වයඹ පළාත තුළ ය. රජය හා ආයතන මැදිහත් වී මේ ඉඩම් කොල්ලය නැවැත්විය යුතු ය. නැවත පොල් වගාව සේ ම තිබෙන පොල් වගාව රැකගැනීමත් වැදගත් ය. පොල් වගාව සම්බන්ධයෙන් දැඩි තීන්දු - තීරණ ගෙන එය ආරක්ෂා කරන තැනකට අප යා යුතුය. එසේ නොවුණහොත් අප කාටත් එළොව පොල් පෙනීමට ඉඩ තිබේ. 

 


නව අදහස දක්වන්න

Or log in with...