ඔලිම්පික් කමිටුවේ තනතුරු 11කට අද උණුසුම් සටනක් | දිනමිණ

ඔලිම්පික් කමිටුවේ තනතුරු 11කට අද උණුසුම් සටනක්

ප්‍රින්ස් ගුණසේකර
හේමසිරි ප්‍රනාන්දු

වසර 21කට පසු හේමසිරි සභාපති පුටුවට සමු දෙයි

ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති තනතුරට ශ්‍රී ලංකා ඔරු පැදීමේ සංගමයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා සමග ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ හිටපු සභාපති හා වත්මන් උප සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා ඇතුළු 27ක් අද තරග බිමට පිවිසෙයි. ඔලිම්පික් නිලවරණය පාර්ශ්ව දෙකක් අතර සටනක්වී ඇති බැවින් උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ.

වසර 21ක් ඔලිම්පික් කමිටුවේ කටයුතු කරමින් දීර්ඝතම ක්‍රීඩා පරිපාලකයකු වූ වත්මන් මහජන බැංකු සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා ඔලිම්පික් කමිටු නිලවරණයේදී සභාපති තනතුරට තරග නොකර සිය ධූරයෙන් සමුගනියි. ඔහුගේ පූර්ණ සහය සභාපති තනතුරට තරග කරන සුරේෂ් සුබ්‍රමනියම් මහතාට හා ලේකම් තරගයට පිවිසි මැක්ස්වෙල් ද සිල්වා මහතාට ලැබී ඇත. හේමසිරි ප්‍රනාන්දු මහතා ඔලිම්පික් කමිටුවේ සභාපති ලෙස මුල්වරට පත්වූයේ 1997 දීය. ඒ මහතා එතැන් සිට අද දක්වා අඛණ්ඩව එම තනතුරේ කටයුතු කළේය.

ඔලිම්පික් නිලවරණය අවසන් වරට වසර 2009දී පැවැති අතර 2013 පෙබරවාරි 27 වැනිදා නැවත නිලවරණය කැඳවීමට ගත් උත්සහය ක්‍රීඩා ව්‍යවස්ථාව සම්බන්ධයෙන් උද්ගතවූ අර්බුදය හමුවේ අසාර්ථක විය. ඔලිම්පික් කමිටු නිලවරණයට පෙර විගණිත මූල්‍ය ප්‍රකාශ පිළිබඳ සමාලෝචනයක් කිරීමට ද නියමිතව තිබේ.

වසර 9කට පසුව පැවැත්වෙන ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයේදී ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා සුරේෂ් සුබ්‍රමනියම් මහතාගේ පාර්ශ්වයෙන් ලේකම් තනතුරට තරග වදී. ජාතික ඔලිම්පික් කමිටුවේ නිලධාරීන් අතුරින් උප සභාපති ජෝෂප් කෙනී මහතා පමණක් මෙවර සුරේෂ් සුබ්‍රමනියම් පාර්ශ්වයෙන් තරග කරන අතර හිටපු නිලධාරීන් බහුතරයක් රොහාන් ප්‍රනාන්දු පාර්ශ්වයෙන් තරග බිමට පිවිස සිටිති.

හිටපු ලේකම්වරයෙකු වූ එච්. යූ සිල්වා, උප සභාපතිවරුන් වූ ප්‍රීති පෙරේරා, ජෙනරාල් පාලිත ප්‍රනාන්දු, ඩයන් ගෝමස්, දේවා හෙන්රි යන මහත්වරු ද උප ලේකම්වරයකු වූ නිශාන්ත පියසේන මහතා ද රොහාන් ප්‍රනාන්දු පාර්ශ්වයෙන් නිළතලවලට තරග වදිති.

ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයට සාමාජික සංගම් 31කින් ඡන්ද එක බැගින් ප්‍රකාශ වන අතර ක්‍රීඩක කොමිසමට පමණක් ඡන්ද දෙකක් හිමිව තිබේ. එහෙත් ක්‍රීඩක කොමිසමේ ඡන්ද බලය නීත්‍යානුකූල නොවන බවට නිලවරණ කමිටුව පෙන්වා දී ඇත. හොකී හා බැඩ්මින්ටන් සංගම්වලට ඡන්ද අයිතිය ලබාදීම නීත්‍යානුකූල නොවන බවට ක්‍රීඩා ඇමැතිවරයා පැවැසුවද නිලවරණ කමිටු සභාපති ආචාර්ය ආර්.එම්.කේ. රත්නායක මහතා පවසා ඇත්තේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට අනුබද්ධ සියලු ක්‍රීඩා සංගම්වලට ඡන්ද අයිතිය පිරිනැමිය යුතු බවය.

එහෙත් ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පවසන්නේ තම නියෝග අනුව අති විශේෂ ගැසට් පත්‍රයකින් බල රහිත කොට ඇති හොකී - බැඩ්මින්ටන් සංගම්වලට ඡන්ද අයිතිය හිමි කිරීම සිදු නොවිය යුතු බවය.

කෙසේ වුවද ඔලිම්පික් නිලවරණයේ ඡන්ද හිමි නාම ලේඛනය අනුව ජල ක්‍රීඩා, දුනු විදීම, මලල ක්‍රීඩා, බැඩ්මින්ටන්, බේස්බෝල්, බාස්කට් බෝල්, බොක්සිං, කැනොයින් හා කායකින්, පාපැදි, අශ්වාරෝහක, ෆෙන්සින්, පාපන්දු, ගොල්ෆ්, ජිම්නාස්ටික්, හෑන්ඩ්බෝල්, හොකී, ජූඩෝ, කරාටේ, නූතන පංච ප්‍රයාම, ඔරු පැදීම, රගර්, වෙඩි තැබීම, ටෙනිස්, ටේබල් ටෙනිස්, ටයිකොන්ඩෝ, තුන් ප්‍රයාම, වොලිබෝල්, බර ඉසිලීම, රුවල් ඔරු හා ක්‍රීඩක කොමිසම ලැයිස්තු ගත කොට ඇත.

ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වන ආචාර්ය ආර්.එම්.කේ. රත්නායක (සභාපති) මේ අමාත්‍යාංශයේම හිටපු ලේකම්වරුන් දෙපළක් වන එස්. විරිතමුල්ල හා එස්. ලියනගම යන මහත්වරු අද පස්වරු 5ට ආරම්භවන ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණ කමිටු සාමාජිකයෝ වෙති.

සභාපති (තනතුරු 1යි) : සුරේෂ් සුබ්‍රමනියම්, රොහාන් ප්‍රනාන්දු

උප සභාපති (තනතුරු 4යි) : ජෝෂප් කෙනී, අනුර ද සිල්වා, ඩයන් ගෝමස්, අසංග සෙනවිරත්න, මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු, චමින්ද කුමාර, උදයසේන සිල්වා, සුමිත් එදිරිසිංහ, මේජර් ජෙනරාල් දම්පත් පණ්ඩුල

ලේකම් (තනතුරු 1යි): මැක්ස්වෙල් ද සිල්වා, ප්‍රීති විරාජ් පොරේරා, ප්‍රගීත් ප්‍රියංකර පෙරේරා

භාණ්ඩාගාරික (තනතුරු 1යි): මෙල්රෝයී පීරිස්, සේනක රණසිංහ, ගාමිණී ජයසිංහ

නියෝජ්‍ය භාණ්ඩාගාරික (තනතුරු 1යි): නිශාන්ත ද සිල්වා, නිශාන්ත පියසේන

නියෝජ්‍ය ලේකම් (තනතුරු 1යි): වින්ග් කමන්ඩර් චන්දන ලියනගේ, කංචන ජයරත්න

විධායක කමිටු සාමාජිකයන් (තනතුරු 3යි): නාලක ශාන්තසිරි, චානක හසන්ත, ෆයිසාල් මොහොමඩ් හුසේන්, මේජර් ජෙනරාල් ඉදුනිල් ප්‍රියංකර, අජාත් තමේල්, අජිත් කුමාර සියඹලාපිටිය

 


නව අදහස දක්වන්න

Or log in with...