ගව පට්ට්ය මහ වදයක් යතුරුපැදිය ලොකු සැපයක් | දිනමිණ

ගව පට්ට්ය මහ වදයක් යතුරුපැදිය ලොකු සැපයක්

රූපිකා කේ.බණ්ඩාර

මවුපියන් දඹදිව ගිය අතරේ පුතා ආසාව ඉටු කරගෙන

මව්පියන් දඹදිව වන්දනාවේ ගිය අතරේ ,පියාට අයත් ගවපට්ටිය විකුණා යතුරු පැදියක් ගත් පුතා නිවෙසින් එලවා දමා කුඹුරු කෑල්ලක් විකුණා පියා විසින් යලිත් ගවපට්ටිය ලබා ගනු ලැබීමේ සිද්ධියක් කුරුවිට ගමකින් දැනගන්නට ලැබිණි.

ගොවිතැන් බත් කරමින් ධාර්මිකව හරිහම්බ කරගත් මුදලින් මෙම මව්පියන් දෙදෙනා දඹදිව වන්දනා චාරිකාවක නිරතවූයේ සති තුනක කාලයකටය. තම ගවපට්ටිය පිළිබඳව සොයාබලා සෝදිසියෙන් සිටින ලෙසටත් තමන් එනතුරු නිවෙසේ රැඳෙන ලෙසටත් ඔවුන් තම තරුණ පුතාට අවවාද කර තිබිණි. මව්පියන් ගොස් දෙවන දිනයේදීම පුතා කල්පනා කළේ තම මිතුරන් සමඟ විනෝද වීමට යෑමට මෙම හරක් පට්ටිය මහා කරදරයක් බවය. ඒ බව මිතුරකුට පැවසු ඔහු මිතුරාගේ මාර්ගයෙන්ම කෙසේ හෝ ගැනුම්කරුවකු සොයාගෙන හරක් පට්ටිය විකුණා දැමුවේය. එම මුදලින් පරණ යතුරුපැදියක්ද ඔහු ලබාගත්තේ මිතුරන්ගේ උදව්වෙනි.වන්දනා ගමන නිමාකර මව්පියන් නිවෙසට පැමිණෙද්දී යතුරු පැදියක් මිදුලේ තිබෙනු දුටුවත් ඔවුන් සිතුවේ එය මිතුරකුගේ එකක් බවයි. ටික වේලාවකින් පුතා තමන් බයිසිකලය ගත් බව කියමින් උදම් අනන්නට වූයේය. මුදල් කොයින්දැයි පියා විමසද්දී ඔහු සිද්ධිය හෙළිකළෙන් පියාට ඉවසුම් නැති විය. පහරදීමට තැත්කර පුතාව නිවෙසින් එලවා දැමූ පියා වහාම ගියේ ගවපට්ටිය මිලදී ගත් අයව සොයාගෙනය. තම කුඹුරු කෑල්ලක් යාබද කුඹුරු හිමියාට විකුණා ලබාගත් මුදලින් ගවපට්ටිය බේරාගැනීමට පියා කටයුතු කර තිබේ. 


නව අදහස දක්වන්න

Or log in with...