පින්නදූව පිවිසුම් මාර්ගයේ අපද්‍රව්‍ය ඉවත් කරන්න සැමගේ දායකත්වය | දිනමිණ

පින්නදූව පිවිසුම් මාර්ගයේ අපද්‍රව්‍ය ඉවත් කරන්න සැමගේ දායකත්වය

ගාල්ල උතුර සමූහ - දික්වැල්ලේ තිලකරත්න

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාලු පිවිසුම් මාර්ගයේ පින්නදූවේ සිට දෙවට දක්වා වූ මාර්ගය දෙපස විවිධ අපද්‍රව්‍ය දැමීම හේතුවෙන් එම ප්‍රදේශයේ පරිසරයට දැඩි බලපෑම් එල්ල වී ඇත.

මනස්කාන්ත පරිසර පද්ධතියකින් හෙබි අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුම් මාර්ගයේ දෙපස ආහාර අපද්‍රව්‍ය මෙන්ම විවිධ පොලිතීන් වීදුරු ප්ලාස්ට්ක් අපද්‍රව්‍ය බැහැරකර තිබෙනු දැකිය හැකිය.

මෙම තත්වය සම්බන්ධයෙන් අවධානය යොමුකළ ගාල්ල දිස්ත්‍රික් ජෛව විවිධත්ව අධ්‍යාපන සහ ගවේශන සංගමය වලහන්දූව ජනාධිපති විද්‍යාලයේ දියණියන් සහ ප්‍රදේශයේ පිරිස් අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවා තිබිණි.

ගාල්ල දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුම් මාර්ගයේ පින්නදූව සිට නුගදූව දක්වා පෙදෙස මනරම් කුඹුරු යායකින් සමන්විතව පවතින අතර නුගදූවේ සිට දෙවට දක්වා පෙදෙස කඩොලාන පද්ධතියකින් අනූන වූවකි.

මෙම පරිසර පද්ධතිය නිසාවෙන්ම එහි සුවය විඳින්නට නතරවන ඇතැම් කණ්ඩායම් අපද්‍රව්‍ය මෙම කඩොලාන පද්ධතියේ දෙපස දමා යාම හේතුවෙන් මෙම කසළ පාසල් දුවා දරුවන්ට ඉවත් කිරීමට සිදුවීම කෙතරම් කණගාටු දායකදැයි මෙම කසළ අවිධිමත්ව බැහැරකර යන පුද්ගලයන් සිතන්නේ නැත.

ජනාධිපති විද්‍යාලයීය දියණියන් සහ ප්‍රජාව එක්ව ක්‍රියාවට නැංවූ මෙම පිරිසිදු කිරීමේ කටයුතු මගින් පසුගියදා පිරිසුදු කිරීමට හැකිවී ඇත්තේ පින්නදූවේ සිට මීටර් පන්සියයක පමණ ප්‍රමාණයක් වන අතර එතැන් සිට මාර්ගයේ දෙවට දක්වා මේ වන විට පිරිසිදු කර නොමැත.

මෙම තත්වය සම්බන්ධයෙන් අප සමග අදහස් දැක්වූ මෙම ව්‍යාපෘති යට මුල්වූ ගාල්ල ජෛව විවිධත්ව අධාපන සහ ගවේශණ සංගමයේ සභාපති ක්‍රිශාන් වේවැල්වල මහතා අප සමග මෙසේ පැවසීය.

ඇත්තටම අධිවේගී මාර්ගයේ ගාලු පිවිසුම වන පින්නදූවේ සිට දෙවට දක්වා දිවෙන කොටසේ අපද්‍රව්‍ය බැහැර කිරීම බරපතළ ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අධිවේගී මාර්ගයේ ගමන් කරන විවිධ පුද්ගලයන් විවේක ගන්න ආහාර ගන්න මෙම ස්ථානයේ නතර වෙනවා .

ඔවුන් තමන්ගේ අපද්‍රව්‍ය මේ මාර්ගය දෙපස දමා යනවා.ඒ විතරක් නෙමේ ඇතැම් පිරිස් මත්පැන් පානය කරන්න මෙම මාර්ගය දෙපස යොදා ගන්නවා. අපි පිරිසිදු කළ ප්‍රදේශයේ මත්පැන් බෝතල්, ප්ලාස්ටික් කොප්ප, බෝතල් දකින්නට තිබුණා. අපි ජනාධිපති බාලිකාවේ දියණියන් යාත්‍රා කලායතනයේ සාමාජිකයන් ප්‍රදේශවාසීන් එක්වෙලා මෙසේ අපද්‍රව්‍ය දාලා තිබුණ කොටසක් පිරිසිදු කළා.

නමුත් අපි අද පිරිසිදු කළත් සතියක් යද්දි නැවත තිබුණ තත්වයට පත්වෙලා තියෙවි. ඒ නිසා මෙම තත්වය වළක්වන්න ආදාළ ආයතන පියවරයන් ගත යුතුව තියෙනවා. කසළ බැහැර කරන පුද්ගලයන් නීතියේ රැහැනට කොටු කරගන්න පොලීසියට වගකීමක් තියෙනවා.

ඒ වගේම මේ පිවිසුම් මග දෙපස නඩත්තුව මාර්ග සංවර්ධන අධිකාරියටත් අයිති කාරණයක්. මේ මාර්ගය දෙපස අපද්‍රව්‍ය ඉවත් කිරීමේ වැඩපිළිවෙළක් තාම නෑ. ඒ විතරක් නෙමේ මේ මාර්ගය දෙපස අපද්‍රව්‍ය බැහැර කිරීමට එකම බහලුමක්වත් නෑ. මිනිස්සු අධිවේගී මාර්ගයේ එන්නේ මුදල් ගෙවලයි. ඒ නිසා මෙහෙම එන අයට පහසුකම් සලසන එක මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්ය භාරයක්.

ප්‍රදේශවාසී තරුණයකු වන නවීන් දේවින්ද මහතා-

මේ මාර්ගයේ කසළ බැහැර කිරීම් කරන්නේ වාහන වලින් එන වැදගත් යයි කියන මහත්වරුන්. ගෙදර තියෙන කසළ ටික වාහනේ දාගෙන ඇවිත් මේ මාර්ගයේ පාලු ස්ථාන වල හලලා යන අය ඉන්නවා. හැබැයි මේ අය පොලීසියට අහු වෙන්නේ නැති එක තමයි පුදුමේ. ඒ වගේම මේ වගේ අය අල්ලා ගන්න පොලීසියේ වැඩපිළිවෙළකුත් නෑ.

අපි ඉල්ලීමක් කරනවා මේ මාර්ගය විධිමත්ව නඩත්තු කරන්න කියාල. ඒ වගේම අපද්‍රව්‍ය බැහැර කරන පුද්ගලයන් අත්අඩංගුවට අරගෙන නඩු පවරන්න කටයුතු කරන්න කියලා. එපමණක් නෙමේ මේ මාර්ගය දෙපස කසළ බහාලීමට බඳුන් ස්ථාපනයකරලා එකතු වන කසළ ඉවත් කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. කලයිවු ස්නූක් මහතාටත් අප ස්තූතිය පලකරනවා.

ගාල්ල දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව ප්‍රවේශය ආශ්‍රිතව අපද්‍රව්‍ය බැහැර කිරීම් පාලනය කිරීමට කිසියම් වැඩපිළිවෙළක් සකස් කරදෙන ලෙස ප්‍රදේශවාසීහු අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. 


නව අදහස දක්වන්න

Or log in with...