තිරිසනුන්ගේ කුසගිනි නිවන බෝතලේගම පින්වතා | දිනමිණ

තිරිසනුන්ගේ කුසගිනි නිවන බෝතලේගම පින්වතා

මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද තිරිසනාගේ කුසගින්න නිවන්නට දිවා රෑ නොබලා වෙහෙසෙන හා තමා උපයන ධනයෙන් කොටසක් ඒ සඳහා වැයකොට එම සතුන්වෙතම ගොස් ඔවුනගේ කුසගින්න නිවන ඉතාම දුර්ලභගණයේ පින්වතෙක් පසුගියදා අපට හමුවිය. ඔහු නමින් ජී. ඩී. සෝමවීර ජයනන්ද යි.

වසර කීපයක්ම ඉතාලියේ රැකියාවේ නිරතව සිටි ජයනන්ද මහතා වසර කීපයකට වතාවක් දිවයිනට පැමිණ තම බිරිය හා දරුවන්ගේ දුක සැප වෙනුවෙන් වෙහෙසුනද ඔහුගේ සියලුම බලාපොරොත්තු සුන්වගියේ ඔහුගේ ආදරණීය බිරිද රෝගාතුරව හදිසියේ දිවියෙන් සමුගැන්මෙන් පසුවයි.

මියගිය බිරිය වෙනුවෙන් පින් රැස් කිරීමට වෙහෙසුනු ඔහුගේ යටිසිත පවසා ඇත්තේ තම මියගිය බිරිය වෙනුවෙන් අසරණ සතුනගේ කුසගින්න නිවීමට ප්‍රමුඛතාවයක් දිය යුතු බවකි‍. මිනිසාටත් වඩා තිරිසනා උසස්කොට සලකන ජයනන්ද මහතා පවසන්නේ කුසගින්නට යමක් ඉල්ලා ගන්නටවත් බුද්ධි ශක්තියක් නොමැති තිරිසනාගේ කුසගින්න නිවන්නට බුද්ධියෙන් පරිපුර්ණ මිනිසා දක්වන අලසකම තමාගේ හදවතට වේදනාවක්ව ඇති බවකි.

ඉතාලියේ සේවයේ නිරතව සිටියදීද අසරණ සතුනගේ කුසගින්න නිවාලනුවස් පාස්තා හා පරලුපාන් එක්රැස්කොට ඉතාලියේ කතානියා නගරයේ යම් ස්ථානයකට ගොස් දහස්ගණනක පරවියන්ගේ කුසගින්න නිවූ ඔහු තම ගම් ප්‍රදේශයේ අයාලේ යන කාත්කවුරුත් නැති අසරණ සුනඛයන්ගේ කුසගින්න නිවාලීමට දැන් හුරුපුරුදුව සිටී. දිනකට සහල් කිලෝ 08ක පමණ බත් උයා ඊටම සරිලන වෑංජනයක්ද සූදානම්කර ගන්නා ඔහු දිනපතාම උදේ හවස කිරිමැටියාන තුලාවල කොස්වත්ත හා යක්දෙස්සාව යන ප්‍රදේශකරා තම යතුරුපැදියෙන් යන්නේ එය තම සුපුරුදු රැකියාවක් ලෙසයි. කටින් කතාකළ නොහැකි තිරිසන් සතුනගේ කුසගින්න නිවන්නට කටින් කතා කළ හැකි අපේ මිනිසුන්ට නොහැකි මන්දැයි ප්‍රශ්න කරන ජයනන්ද මහතාගේ මේ අපූරු සත්ක්‍රියාවේ වැරදි හොයන තිරිසන්ගණයේ මිනිසුන්ද සිටින බවත් ඔවුනට මිනිසා දෙවියකු යන කියමන අමතක වී ඇති බවත් ඔහු අවසන් වරටත් අප සමග කීය.

වෙන්නප්පුව විශේෂ - සුනිල් ප්‍රනාන්දුපුල්ලේ 

 

නව අදහස දක්වන්න