තම්මැන්නා ඇළේ ගල් බැම්ම ඇළේ | දිනමිණ

තම්මැන්නා ඇළේ ගල් බැම්ම ඇළේ

වැසි සමයේ තම්මැන්නා ඇළ පිටාරයාම නිසා දඹුල්ල නගරයට සිදුවන හානි වැළැක්වීම සඳහා මීට වසර පහකට පමණ පෙර ආපදා කළමනාකරණ අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කළ තම්මැන්නා ඇළ සංවර්ධන ව්‍යාපෘතිය මෙතෙක් නිම නොවීමෙන් මෙම ඇළ මාර්ගය දෙපස පදිංචි පවුල් ගණනාවකටම මුහුණපෑමට සිදුවී ඇත්තේ මහත් පීඩාවකටය.

මෙම ඇළ මාර්ගය ගැඹුරු කර ඇතත් ඇළ බැමි සේදී යාම වැලැක්වීම සඳහා රුපියල් කෝටි ගණනක් වැයකර මෑතකදී ආරම්භ කළ ගල්බැමි ඉදිකිරීම නිසිලෙස සිදුනොවීම මෙයට මූලික හේතුව බව අවට පදිංචිකරුවෝ පවසති. මොවුන් පවසන්නේ දඹුල්ල නගරසභාවේ අනුග්‍රහය මත වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් මෙම ඇළ මාර්ගයෙහි එක පැත්තක ඉදිකර ඇති ගල්බැම්ම මේ වනවිට කඩාවැටීම නිසා නැවතත් වැසි සමයේ මෙම ඇළ ඉවුරු සේදී යාම නොවැළක්විය හැකිබවය.එමෙන්ම මොවුන් වැඩිදුරටත් කියාසිටින්නේ මෙසේ කඩාවැටීමට ලක්ව ඇත්තේ පසුගිය අවදියේ දඹුල්ල නගරසභාවේද මැදිහත්වීම මත ඉදිකරන ලද කළුගල් බැම්ම බවය.එය මේ වනවිට සම්පූර්ණයෙන්ම කැලයෙන් වැසී ගොස් ඇති බැවින් කිසිවකුගේ ඇස නොගැටෙන බවද මොවුහූ පවසති.

ප්‍රමිතියකින් තොරව සිදුකර ඇති මෙම ඉදිකිරීම් පිළිබඳ විධිමත් අධීක්ෂණයක් අදාළ අංශ විසින් නොකිරීම නිසා මෙවැනි තත්ත්වයක් උද්ගතවී ඇත. මෙයින් පීඩාවට පත්ව ඇත්තේ මෙම ඇලමාර්ගය දෙපස නිවාසයන්හි දිවිගෙවන අසරණ පවුල්ය.තම්මැන්නා ඇළ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා රජය විසින් විශාල මුදලක් මේවනවිට වැයකර ඇතත් එමගින් අපේක්ෂිත අරමුණ ඉටුවී නොමැති බවද මොවුන්ගේ මතය වී ඇත.එමෙන්ම මෙම ඇළ හරහා වැටී ඇති පාලම් ආරක්ෂා කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ඉදිකර ඇති ගල්බැමි ද මේ නිසා අවදානම් තත්ත්වයක පවතින බව මොවුහු

අවධාරණය කරති. තත්ත්වය මෙසේ බැවින් මෙම ඇළ ඉවුරු වැසි සමයේ සේදීයාම නොවැලැක්විය හැකි අතර මෙම ස්ථානය ආශ්‍රීතව පදිංචිවී සිටින පවුල් ගණනාවකට දැඩි අවදානමකට මේ නිසා මුහුණපෑමට සිදුවීම ඒකාන්තය.එබැවින් මේ කෙරෙහි අදාළ බළධාරීන්ගේ අවධානය යොමුකිරීම අත්‍යවශ්‍ය බව ඔවූහු කියා සිටිති.

මේ පිළිබඳව මෙම ස්ථානයට නුදුරින් පදිංචිව සිටින පාදෙණිය මහතා පැවසූවේ මෙවැනි අදහසකි.

"වැසිකාලයට දඹුල්ල නගරය යටවීම වැළැක්වීම සඳහා තම්මැන්නා ඇළ සංවර්ධනය කිරීමට රජය ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය හරිහැටි ඉටුනොවීම නිසා අවට පදිංචිකරුවන්ට මුහුණපෑමට සිදුව ඇත්තේ අවදානමකටයි.නගරසභාවේද

මැදිහත්වීම මත මෙහි ඉදිකළ ගල්බැම්මේ කොටසක් දැන් සම්පූර්ණයෙන්ම කඩාවැටිලා. ඒක කරල තියෙන්නේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ. දැන් නැවතත් එම කොටසේ ඉවුරු වැසි කාලයේ සේදී යනවා. ඒ දෙපස ඇති ගොඩනැගිලිවලට මෙය අවදානමක්. එබැවින් රජය විසින් මෙම තත්ත්වය කඩිනමින් නිවැරදිකළ යුතුයි"

ඒ.ඒ.එල්.ඩයස්
මාතලේ දිස්ත්‍රික් සමුහ 

 

නව අදහස දක්වන්න