බහුතරය පෙන්වන්න | දිනමිණ

බහුතරය පෙන්වන්න

වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජිතමුනි සොයිසා

පුංචි ඡන්දයේ ප්‍රතිඵලය, ආණ්ඩුවේ ඉදිරි ගමන, අතත් පොහොට්ටුවත් එකතු කරන්නට කරන කතා බහ,අගමැති වෙනස් කිරීම ආදිය පිළිබඳ අදහස් දක්වමින් වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ ඇමැති විජිත් විජිතමුණි සොයිසා මැති හමුවට එක්වේ.

* මහින්ද මහත්තයට ජම්පර් ඇන්දීම අපේ පිළිවෙත නෙමේ
* යන යකෙකුට යන්න කියල සම්මුතිවාදය පෙරට යන්න ඕන

පළාත් පාලන මැතිවරණයෙන් ජනතාව ලබාදුන් සංඥාව ඔබ තේරුම් ගන්නේ කොහොමද?

මේක අමුතුම විදිහේ සංඥාවක්. පැහැදිලිවම අපිට තරවටුවක් තියනවා. ඒක අපි පිළිගන්නවා. හැබැයි මේ ප්‍රතිඵල උන්මාදයක් වගේ කියලත් හිතෙනවා. දැන් බලන්න මහියංගණයේ පොදුජන පෙරමුණේ ලැයිස්තුව අවලංගු වුණ­ාම විජිත ස්වාමින්වහන්සේ ලැයිස්තුවක් දාලා තිබුණා. උන්වහන්සේ ඡන්දේ ඉල්ලන්න කීවේ පන්සලට එන උපාසක උපාසිකාවන්ට. එක උපාසිකාවකට ලැයිස්තුවට එන්න කීවා. ඒ උපාසිකාව අනේ හාමුදුරුවනේ මට නම් බෑ මගේ දුව දාන්නම් කීවා. දුව දැම්මා. දුව ජනතා විමුක්ති පෙරමුණට කැන්වසින් යනවා. නමුත් දුව දිනුවා ස්වාධීනව. තව උපාසක මහත්තයෙකුට ඉල්ලන්න කීව­ාම එයාගේ පුතා දැම්මා. පුතා කොළඹ වැඩ. ඡන්දෙන් පස්සේ පියා පුතාට කෝල් කරලා කිව්වා පුතේ උඹ දිනුම් කියලා.

මහරගම නගර සභාව බලන්න. දැන් ඒකට කියන්නේ බඩල්ගම නගර සභාව කියලනේ. මේ රටේ ජනතාව තමන්ගේ ගම් සභාවට නගර සභාවට මහ නගර සභාවට තමන්ට සුදුසු කෙනෙක් පත්කර ගැනීමට තිබූ අවස්ථාව අවභාවිත කළා. ඒක දේශපාලන අවභාවිතාවක්. ප්‍රදේශයට ඡන්දය ඉල්ලන පුද්ගලයා දකින්නේ නැතිව එයාගේ තොරතුරු දන්නේ නැතිව දේශපාලන පසුබිම ගැන හිතන්නේ නැතිව ඡන්දය පාවිච්චි කළා. ඉතිං එතකොට මේ මැතිවරණය දේශපාලන විචාරකයන්ටත් කරුණු කියන්න අමාරු මැතිවරණයක්. එක දේශපාලන විචාරකයෙක් කියලා තිබුණා. මේ ප්‍රතිඵලය විකෘතියක් කියලා. ඒක තමයි නියම විචාරය. මේක හරියට ශක්‍රදේවේන්ද්‍රයා ඇවිල්ලා අපිට අමෘතය කාපං කියලා දුන්නහම අපි නිකං අමෘතයෙන් කසිප්පු පෙරුවා වගේ වැඩක් මේක. මේ ආණ්ඩුව හොඳ දෙයක් දුන්නා. ජනතාව ඒක නරකට පාවිච්චි කළා.

ඔබ කියන්නේ ජනතාව අවිඥානිකව ඡන්දය පාවිච්චි කළා කියලනේ

අනිවාර්යෙන්ම

එහෙම කරන්න ජනතාවට පසුබිමක් ඇතිනේ. ඔබට හිතෙන විදියට මොකක්ද ඒ පසුබිම?

ජනවාරි 08 ජනවරමෙන් පස්සේ අපේ මන්ත්‍රීවරුන් ඔක්කෝම ජනාධිපතිගේ ඇ‍ඟේ එල්ලුණානේ. හැබැයි අපිට ලොකු ආස්වාදයක් තිබුණා. ඒක තමයි සම්මුතිවාදය. සම්මුතිවාදය තුළ අපි බලාපොරොත්තු වුණා සංහිඳියාවක් ඇති කරන්න. මේ සම්මුතිවාදය ජනතාවට තේරෙන්නේ නෑ කියලා සමහරු කීවා. හැබැයි ජනතාවට විතරක් නෙවෙයි සමහර දේශපාලනඥයින්ට තේරුණෙත් නෑ. සම්මුතිවාදය ඇති කෙළේ රටේ සංහිඳියාව ඇති කරන්න. නමුත් රටේ සංහිඳියාව ඇති කරන්න එකතු වූ අය කාගේ කාගේ හරි අඩුපාඩු කතා කරලා ආණ්ඩුවේ සංහිඳියාව ඇති කරන්න අසමත් වුණා. මේක දැක්කා රටේ මිනිස්සු ඔවුන්ට කල්පනා වුණා දැන් රජයක් නැති ගානට පත්වෙලා තියනවා කියලා. ඒ අතර ජනතාවට පීඩනයකුත් දැනුණා. ඒ තමයි ජීවන බර. පොහොර සහනාධාරය නැති වුණා. තෙල් ප්‍රශ්නය ආවා. පාසල් නිල ඇඳුමේ ප්‍රශ්නය ආවා.

ආණ්ඩුව ජනතාවට දැනෙන එදිනෙදා ප්‍රශ්න විසඳීමට උත්සාහ නොගත් බව ඔබ පිළිගන්නවාද?

ඒ ප්‍රමාණයටම පිළිගන්න බෑ. අපි රජයේ සේවකයන්ට රුපියල් දහදාහක පඩි වැඩි කළා. තෙල් මිල අඩු කළා. ගෑස් මිල අඩු කළා. වතුර බිල, ලයිට් බිල අඩු කළා. අත්‍යාවශ්‍ය ආහාර මිල පාලනය කළා. බෙහෙත් මිල අඩු කළා. අක්ෂි කාච නොමිලේ දුන්නා. ඊටත් වඩා මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩු කාලේ පවරපු නඩුවලට මේ ආණ්ඩු කාලේ අච්චු කළා. මහින්ද මේක රණවිරු දඩයමක් කියලා ඉදිරියට අරන් ගියා. මං බන්ධනාගාර පුනරුත්ථාපන නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස සිටියදී මට හොඳට මතකයි, ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් එක්ක සාකච්ඡා කරලා නීතිපති, පොලිස්පති ආදී අදාළ සියලු දෙනා ගෙන්නලා අපි කිව්වා, බන්ධනාගාරවල නඩු අහලා වැරදිකරුවන්ට දඬුවම් දෙමු කියලා; නිවැරදිකරුවන් නිදහස් කරමු කීවා. ත්‍රස්තවාදී සැකකරුවන් 11000ක් නිදහස් කළා. පස්සේ මේ රටේ ලොකු ජාතිවාදයක් අරන් ගියා. මේක සුබවාදී ගමනක් නෙවෙයි. රට අරන් යන්නේ භයානක තැනකට. සමහරු සිංහ කොඩිය ගහගෙන තමයි ඡන්දය දාන්න ගියේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුදු දහමට තැන නැති කරනවා. රණවිරුවෝ දඩයම් කරනවා. මේවා තමයි එයාලා කි‍ව්වේ.

මේවා විපක්ෂය මහ ජනතාව තුළ රෝපණය කළ අදහස් නේ. ඇයි මේවා බොරු කියලා ජනතාවට කියන්න ආණ්ඩුව අපොහොසත් වුණේ?

කවුන්ටර් ඇටෑක් එකක් කෙළේ නෑ. ඔවුන් මේවා ලඝුකොට තැකුවා. රටේ ජනතාවගේ හැඟීම් දැනීම් හඳුනන ඇමැතිවරු හිටියා. ඒත් ඒකට කන් දුන්නේ නෑ. ඒකයි වෙච්ච වැඩේ. ගොවියන්ට ඕනෑ පොහොර ටික වතුර ටික ළමයින්ට ඕනෑ. ඩෙස් පුටු වතුර ලැබුණේ නැහැ. ඔය එක වීල් එකක් හරියට වැඩ කළාට අනික් වීල් අනික් පැත්තට කැරකෙන කොට අරවත් ගැලවිලා විසිවෙනවා.

මේ මැතිවරණය තිබ්බේ පළාත්පාලන සභිකයින් තෝරා ගැනීමට නේ. මැතිවරණයෙන් පස්සේ ආණ්ඩු පෙරළියක් අගමැති වෙනසක් ගැන කතා කරනවා. මේ මාතෘකා ආවේ කොහෙන්ද?

සංහිඳියාව ඇති කරන්න ගිහින් රජයේ සම්මුතිය නැති වුණා කියලා මං කලින් කිව්වේ. රජයේ සම්මුතිය නැති වෙනකොට රටේ මිනිස්සුන්ට රාජ්‍යයක් නෑ කියලා තේරුණා. අපි එක්සත් ජාතික පක්ෂයට එල්ල කළ චෝදනාවල වාසිය මහින්ද මහත්තයා අහක ඉඳගෙන ඔඩොක්කුවට දා ගත්තා. ඒවායේ වාසිය ගියේ මහින්ද මහත්තයාට. දැන් ශක්තිමත් රජයක් ශක්තිමත් රටක්. යහපත් ආර්ථිකයක්. ඒක ගොඩනගන එක අපේ වගකීමක්. මේ ගම්සභා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට හා අනිකුත් පළාත් පාලන ආයතනවලට නියෝජිතයන් ‍තෝරනවා නම් ඒක වඩාත් හොඳයි.

නමුත් පළාත් පාලන මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තේරීම ප්‍රායෝගිකද?

කිසිම ප්‍රායෝගික බවක් නෑ. මං ඔලොක්කුවටයි කියන්නේ. මේ ගම් සභා ඡන්දයෙන් පස්සේ ජනවාරි 08 දීපු ජනවරම නිශේධනය වෙන්නේ නෑ. පාර්ලිමේන්තුවට කාටවත් හරියට වරමක් ලැබුණෙත් නෑනේ. එහෙම නම් ජනපතිගේ වගකීම මොකක්ද ඒ තමයි තිරසාර රජයක් පවත්වාගෙන යෑම. රටේ අනාගත සුබසිද්ධිය සඳහා.

ජනාධිපතිවරයා මැතිවරණය ඔන්න මෙන්න කියලා එජාපයට බරපතල ලෙස ප්‍රහාර එල්ල කළා. විපක්ෂය ශක්තිමත් වෙන්න ඒක හේතුවක් නෙවෙයිද?

මේ රාජ්‍යයට වගකිවයුතු පුද්ගලයා ජනපතිවරයා නිසා ඔහුට විශාල වගකීමක් තිබෙනවා. බැඳුම්කර වංචාව වගේ ලොකු හොරකමක් වුණහම ඒ ගැන ජනපතිවරයා සොයා බැලිය යුතුයි. හැබැයි මෙතන බිලියන 11 යි. 2008 සිට 2015 දක්වා බිලියන 4000ක බැඳුම්කර වංචා සිදුව තිබෙනවා. බිලියන 11 හොරු එතුමා ඇල්ලුවා. ඒ සල්ලි අය කර ගත්තා. ඒ වගේම එතුමාට වගකීමක් තියනවා අර බිලියන 4000 ගියේ කොහාටද කියලත් හොයන්න.

මේ බිලියන 4000ට සිදු වුණේ මොකක්ද? කවුද මේවා හොරකම් කළේ කියා ඉදිරි වසර දෙක තුළදී සොයා බලනවාද?

දැන් පොඩි හොරා අල්ල ගත්තා. පොඩි හොරා අල්ල ගත්තා කියලා ලොකු හොරාට යන්න දෙන්න බෑ. ලොකු හොරාත් අල්ලන්න ඕනෑ. ඒකට එක්සත් ජාතික පක්ෂයයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි එකට එකතුවෙලා ශක්තිමත් රජයක් හදන්න ඕනෑ. යන යකාට යන්න කියලා යන කෙනෙක් ගියපුවාවේ. ඉන්න කෙනෙක් හිටපුවාවේ. යන යකා කොරහා බිඳගෙන ගියත් ඉදිරි වසර දෙක අපි හරියට ආණ්ඩු කරන්න ඕනෑ.

යහපාලන ආණ්ඩුව ඉදිරියටත් ගෙනයන බව ස්ථිරද? ඉදිරියේ දී ගිවිසුම් ගහනවාද?

ලියවිල්ලකින් එන ගිවිසුමකට වඩා අවබෝධයෙන් විශ්වාසයෙන් ක්‍රියාත්මක වන ආණ්ඩුව වැදගත්. අන්‍යෝන්‍ය අවබෝධයක් නැති පිරිසක් ඇතුළේ හිටපු නිසයි ජනපතිවරයාටත් ලොකු පීඩනයක් ආවේ.

ඔබ කීවා අප්පච්චි මළා කියලා. මේ ප්‍රතිඵලවලින් අප්පච්චී උට්ඨානවීමක් පෙන්නුම් කරනවාද?

මම නම් කියන්නේ එක්කෝ අපි දෙගොල්ලෝ එකතු වෙලා මේ ආණ්ඩුව ගෙනියන්න ඕනෑ. එහෙම නැතිනම් මහින්ද මහත්තයාට ආණ්ඩුව බාරගන්න කියන්න ඕනැ. එතකොට ර‍ඟේ පෙනෙයි. හැබැයි මහින්ද මහත්තයා ඒකටත් සූදානම් නෑ. එයා හොරගල් අහුලනවා. අඩු මාසෙන් හම්බ වෙන්න බෑ. නියම කාලයට බබා හරියට හොඳට වදන්න ඕනෑ. බබා වදලා බලන්නකෝ මොකක්ද වෙන්නේ කියලා. ජාත්‍යන්තරය අ‍පේ ගෙල හිර කරනවා. ආර්ථික සම්බාධක පනවනවා. නැවත විදුලි පුටුව එනවා. රණවිරු දඩයම නැවත සිදුවෙනවා. මේ රට බෙදෙනවා. නැවත ත්‍රස්තවාදය එනවා. මේ රට එයාලා ගෙනියන්න හදන්නේ එතැනට. මේකට හැම දේශපාලනඥයෙක් වගේම ඡන්දදායකයාත් වගකිව යුතුයි.

රටේ පවතින තත්ත්වය පිළිබඳ ජනපතිවරයා කරනවා කිව්ව ප්‍රකාශය දිනෙන් දින කල් යන්නේ ඇයි?

ප්‍රකාශයක් කරන්න ඕනෑ තිරසාර පදනමක සිටයි. එය ඉදිරියට කරයි. නමුත් මේ ඡන්දය මඤ්ඤං වෙලා ගහපු ඡන්දයක්.

අගමැතිවරයා ධුරයෙන් ඉවත් කරන්න ශ්‍රී.ල.නි.ප.මන්ත්‍රීවරුන් පිරිසක් උත්සාහ කරනවාද

එජාපයට පාර්ලිමේන්තු ආසන 106ක් තියනවා. අපිට තියෙන්නේ 95 යි. ඒකත් එක තැනක නෑ. එහෙමනම් කොහොමද බහුතරය පෙන්නන්නේ. බහුතරය පෙන්වන අයට ආණ්ඩුව බාර දෙන්න ජනපති සූදානම්. මේ රටේ ජනතාව මහින්ද අගමැති කරන්නනේ ඡන්දය දුන්නේ. කෝ දැන් එයාලගේ වැඩ. ඒ අතර තව වරදක් වුණා. මහින්ද මහත්තයාගේ ප්‍රජා අයිතිය නැති කරනවා කියලා කිව්වා. ඒක වැරදියි. මහින්ද මහත්තයාට ජම්පර් අන්දන එක නෙවේ අපේ තේමාව ගමේ පාලනය හරියට ගෙනියන එක. ඒ වැරදි කතා මේ ප්‍රතිඵලයට බලපෑවා.

ශ්‍රී.ල.නි.ප. ය හා එජාපය එකට එක් වූ විට බහුතරයක් තිබෙන පළාත් පාලන ආයතනවල බලය ගන්නවාද

ඔව්. පළාත් පාලන ආයතන 60ක් විතර දෙගොල්ලෝ එකතු වුණොත් පිහිටුවන්න පුළුවන්. අපි ඒවායේ බලය පිහිටුවනවා.

සමහර මාධ්‍ය රට අස්ථාවරයි කියා කියන ප්‍රකාශය පිළිගන්න ඔබ සූදානම්ද?

රටේ යම් කැලඹීමක් ඇති වුණා. ඩොලරය ටිකක් ඉහළ ගියා. ඒවා තාවකාලිකයි. ආයෝජකයෝ එන්නේ මේ මැතිවරණ ප්‍රතිඵල මත පමණක් නොවේ. ඇත්තටම ආයෝජකයෝ අපේ රට දිහා බලන එකත් පුදුමයක්. තුන්සිය හැටපස් දවසේම උද්ඝෝෂණ , පිකටිං . ආණ්ඩුව කරනවානම් හරියට කරන්න ඕනෑ.

සමහරු කියන්නේ ආණ්ඩුවට පණ නෑ. දැඩි තීරණ ගන්නේ නෑ කියලයි.

හොඳ දේ හරියට පරිහරණය කරන්න ජනතාව දැන ගත්තේ නෑ. අපේ රටේ මිනිස්සු රාජාණ්ඩුවක් යටතේ ජීවත් වුණු අය. කම්මුල් පාරත් එකයි. බත් පිඟානත් එකයි. ඒ නිසා විධානය අවශ්‍යයි.

ශ්‍රී.ල.නිපයේ මන්ත්‍රීවරුන් පිරිසක් අගමැතිවරයා ඉවත් කිරීමට සාකච්ඡා කරලා තියනවාද?

අගමැතිවරයා ඉවත් කරන්න අපිට බහුතරය තියෙන්න එපෑයැ. මනමාලයා හොයන්නේ නැතිව මඟුලක් කන්න බෑනේ. බහුතරය හොයා ගන්නේ නැතිව සාකච්ඡා කළාට වැඩක් නෑ.

උසස් පෙළ සිසුන්ට ලබා දීමට ගිය ටැබ් පරිගණක නැවැත්වීමට කටයුතු කළේ ඇයි?

නැවැත්වීම නෙවෙයි ඒක තාවකාලිකව කල් දාලයි තියෙන්නේ. බිලියන 4ක් ඊට අවශ්‍යයි. මේවගේ ලොකු මුදලක් දීලා අරඹලා අනිටු ප්‍රතිඵල ආවොත්. මේක පියවරෙන් පියවරට ඉදිරියේදී අරඹාවි. ඊට වඩා ප්‍රමුඛතාව දෙන සමාජ කර්තව්‍යයන්වලට ප්‍රමුඛත්වය දෙන්න ඕනෑ.

ඔබ කියලා තියනවා කියන තරම් යකා කළු නෑ කියලා. එහෙමනම් යකා මොන වගේද?

ඔව්. එහෙම දරුණු නෑ. මේක මවාගත්ත මනෝමූල තත්ත්වයක්. මේ මනෝමූල තත්ත්වය මවාගත්ත එකයි වැරැද්ද. පූර්ව නිගමනවලට ඇවිත්. අගමැති වෙන්න ඡන්දේ දෙන්න කීවා. අගමැති වෙන්න ඡන්දේ දුන්නා. ප්‍රජා අයිතිය නැති කරනවා කියලා පපුවට ගහගත්තා. අපේ කොල්ලෙක් කෙල්ලෙක් ඡන්දේ ඉල්ලුවේ මහින්ද රාජපක්ෂ මහත්තයාත් සමගයි. මේ ඔක්කෝම කරලත් මහින්ද මහත්තයා ගිය ජනපතිවරණයේදී ගත්තට වඩා ඡන්ද අඩුයි. ඔහුට විරුද්ධ ඡන්ද වැඩියි. මෙහෙම ගත්තෙත් ජනපතිවරයාගේ පින්තූරය ලොකුවට ගහගෙන අපේක්ෂකයාගේ පිංතූරය මුද්දරයක් විතර ගහගෙනයි. උපාසක අම්මලා කල්පනා කළා මගේ දෙයියෝ මේ උත්තමයාගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න යනවා. ඒ හින්දා ඡන්දේ දෙන්න ඕනෑ කියලා.

පාර්ලිමේන්තුව විසුරුවලා මහ මැතිවරණකට යන්න කියා කියන අයට ඔබ දෙන පිළිතුර

19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව වසර හතර හමාරක් ගතවනතුරු පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ. මටනම් තේරෙන්නේ නෑ මේ හාදයෝ ජනතාවගේ ඔළුවලට මොනවා දානවද කියලා. ජනපතිවරයාටවත් පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ. මේ අය ඔක්කෝම කෙළින්නේ මඤ්ඤං

ගාමිණී බණ්ඩාරනායක


නව අදහස දක්වන්න

Or log in with...