අපේ රටේ සබරිමලේ | දිනමිණ

අපේ රටේ සබරිමලේ

ආශිර්වාද පිය ගැට පෙළ

හින්දු දර්ශනය ලොව පැරැණිම හා දිගු කලක් අඛණ්ඩ ජන පිළිගැනීමට ලක් වූ ආගමකි. ඉපැරැණි වාර්තා අනුව හින්දු ආගමට ඉන්දියාව තුළ අවුරුදු පන්දහසකට ආසන්න අතීතයක් තිබේ. හින්දු දර්ශනය ලොවට හදුන්වා දුන්නේ මහා භාරතයෙනි.එනිසා බුදු දහමේ මෙන්ම හින්දු දහමේද තිඹිරි ගෙය ලෙස හදුන්වා දිය හැක්කේ ඉන්දියාවයි. හින්දු දහම ඉන්දියාව මුලිකව ආසියානු කලාපය පුරා පැතිර ගිය අතර මෙරට බහුල වශයෙන් හින්දු ආගම ප්‍රචලිත වී අවුරුදු දෙදහසක් යැයි ඇතැම්හු කියති. අද වන විට උතුරු නැගෙනහිර ප්‍රදේශවල බහුල වශයෙන්ද අනෙක් ප්‍රදේශවලද හින්දු භක්තිකයෝ සිටිති. ඔවුන්ගේ පුදබිම් බවට පත්වන්නේ කෝවිල්ය.මෙම කෝවිල්වලද විවිධ සම්ප්‍රදාය කිහිපයකි. එවැනි විවිධ සම්ප්‍රදාය අතර ඉන්දීය ප්‍රාන්ත සම්ප්‍රදාය අනුව මෙම සම්ප්‍රදායන් මෙන්ම චාරිත්‍රද වෙනස් වේ. තමිල්නාඩුවේ සහ කේරලයේ සම්ප්‍රදාය අතර වෙනස් කම් රැසකි. ඒ අනුව මෙරට කෝවිල් සම්ප්‍රදායන්ද වෙනස් වේ.

එහෙත් මෙරට බහුල වශයෙන් පැතිර ඇත්තේ තමිල්නාඩු සම්ප්‍රදාය සහ ඇදහිලි මුල් කර ගත් කෝවිල්ය. අනෙක් සම්ප්‍රදායන් ඇත්තේ අඩු වශයෙනි. එහෙත් මෙම සම්ප්‍රදායේ කෝවිල්වලටද බැතිමතුන්ගේ විශාල ආකර්ශනයක් තිබේ. මේ ආකාරයේ වෙනස් ඇදහිලි වලට ආකාර්ශණය වූ පිරිස් නිතර යන එන කෝවිල් රැසකි. ඒ අතරින් කොළඹ මට්ටක්කුලිය අලුත් මාවතේ ඇති සමස්ත ලංකා ආනන්ද ඵෛයප්පන් කෝවිලයි.මෙය ඉදිකර ඇත්තේ ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ සබරිමලේ හෙවත් සබරි කන්ද දෙවොලට සමාන ආකෘතියක ස්වරූපයෙනි. කේරළයේ සබරිමලේ කෝවිල යනු එරට මහා පිළිගැනීමක් ඇති කෝවිලකි.මෙරට බොහෝ බැතිමතුන් මෙම කෝවිල වෙත ගොස් ආශිර්වාද ලබා ගැනීමට විශාල කැමැත්තක් දක්වති.එහෙත් මෙම සබරිමලේ කෝවිලට ගොස් ආශිර්වාද ලබා ගැනීමට විශාල මුදලක් වැය වේ. එනිසා මෙම මහා දෙවොල වෙත යාමට මෙරට හින්දු බැතිමතුන්ට ලැබෙන්නේ අල්ප අවස්ථාවකි.

ඒ නිසා හින්දු දානපතියන් එක්ව මට්ටක්කුළිය අලුත් මාවතේ ආනන්ද අයියප්පන් කෝවිල හෙවත් සබරිමලේ කෝවිලේ අනුරුව ඉදිකර තිබේ. මෙහි කේරළයේ කෝවිලේ ඇති සියලු වන්දනා අංග තිබෙන අතර මේ නිසා මෙයට බැතිමතුන්ගේ ආකර්ශණය ලැබී තිබේ.

සබරිකන්ද කෝවිල හෙවත් සමස්ත ලංකා ආනන්ද ඵෛයප්පන් කෝවිලේ ඇති සුවිශේෂම අංගය වන්නේ පඩි දහ අට නැගීමය. මෙය හිතුමතේ කළ හැකි දෙයක් නොවේ. ඒ සඳහා විශාල කැප වීමක් හා පේ වීමක් කළ යුතුය. මෙය දින හතලිස් පහක් පිරිය යුතු කාර්යයකි. මෙම සිරිත මුලිකවම සිදු කරනු ලබන්නේ දේව ආශිර්වාදය ලබා ගැනීමේ අරමුණෙනි. මේ ගැන අප කෝවිලේ සිටින දේවගැතිවරයකි වන රාජ් මෝහන් මහතාගෙන් විමසුවෙමු.“ අපි මෙතැනට එන්නෙ පේවිලා.. අපි විතරක් නොවෙයි මේ පඩි දහ අට නගින්න එන අයත් පේවිලා එන්න ඕනැ. මස් මංශ අනුභවය අතහැර දවස් හතලිස් පහක් පිරිසුදුවට ඉන්න ඕනෑ..මෙතැනදි තවත් දෙයක් තියෙනවා මේ පඩි පෙළ නගින්න අවසරය තියෙන්නෙ අවුරුදු දහයෙන් පහළ ගැහැණු ළමයින්ට අවුරුදු පනහ ඉක්මවු කාන්තාවන්ට සහ ඕනෑම වයසක පිරිමින්ට පමණයි.. හින්දු ආගමේ පිරිසුදු භාවය ඉතාමත් ඉහළින් බලනවා ඒ නිසා තමයි මේ විදිහේ සීමා කිරීම් කර තියෙන්නේ. මේ සම්ප්‍රදාය පමණක් නොවෙයි කේරළයේ සබරිමලේ කෝවිලෙත් මේ සම්ප්‍රදාය මේ විදිහටම සිදු කරනවා..අපට ඕනෑ වෙලා තියෙන්නේ කේරළයේ සිරිත් විරිත් ඒ විදිහටම මෙරටදී ඉටු කිරීමටයි. මේ කෝවිලට බැතිමතුන් ආකර්ශණය වන්නේත් වන්දනාවට ලක් වන්නේත් මේ නිසයි.

හින්දු බැතිමතුන් පමණද මේ පුද බිමට එන්නේ.? අප දේවගැතිවරයාගෙන් විමසුවෙමු.එහෙම භේදයක් නැහැ දෙවියන්ට ජාති ආගම් භේද නැහැ සරණක් අවශ්‍ය කරන හැමෝටම උදව් වෙනවා.. අනෙක අපි ජාතිය ආගම බලන්නේ නැහැ. අපේ කෝවිල මනුස්සකම මුල් කර ගෙනයි වැඩ කරන්නේ.

මෝහන් දේවගැතිතුමා සඳහන් කළ ආකාරයට ජාතීන් අතර සහ විවිධ ආගමිකයන් අතර සමගිය අපට මෙම පුද බිමේදි දක්නට ලැබුණි. සියල්ලෝම එක සෙවණක සිට තම ඇදහිලිවල නියැලුනි.

අලුත් මාවතේ ආනන්ද ඵෛයප්පන් කෝවිල හෙවත් සබරිමලේ කෝවිලට දේවගැතිවරු පැමිණෙන්නේ ඉන්දියාවේ කේරළයෙනි. මෙය ආනනද් අයියපන් කෝවිලටම අනන්‍ය වු දෙයකි. මෙහි පැමිණෙන දේවගැතිවරු සඳහා ඇත්තේද අමුතු ආහාර රටාවකි. ඔවුන් සඳහා කිසිදු ආහාරයක් පිටතින් ගෙන ඒමට හැකියාවක් නැත. සියලු ආහාර කෝවිලේම පිසින අතර මස් වර්ග ඇතුළු හින්දු දහමට අකැප කිසිදු ආහාරයක් මෙහි පිසින්නේ නැත.

පුදබිමට පැමිණෙන බැතිමතුන් වැඩිම ප්‍රමාණයක් එන්නේ මොන කරුණු වෙනුවෙන්ද අප ප්‍රධාන පූජක නම්බුදි තුමාගෙන් විමසුවෙමු. “ කේරළයේ සබරිමලේ කෝවිල නමක් දිනා ගෙන තියෙන්නෙ නවග්‍රහ පූජා පිළිබඳවයි. තවත් දරු සම්පත් ගැන විශේෂ පුජා මෙහි පවත්වනවා..අපේ සම්ප්‍රදාය අනුව කළ හැකි ඉහළම පුද පුජා විදිහක් තමයි නවග්‍රහ පුජා කියන්නේ.දරු සම්පත් කියන්නෙත් එහෙම දෙයක් මේ වගේ දේවල් ඉටු කිරීම තමයි මේ කෝවිලේ ප්‍රධාන කාර්ය වන්නේ. මේ පුද පූජා විධි ගැන සමහරු ප්‍රශ්න කරන්න පුළුවන්. ඒත් මේක තමයි අපේ සම්ප්‍රදාය අපේ පිළිගැනීම වෙලා තියෙන්නේ.

අවුරුදු දාහතකට පෙර ඉදි වූ මෙම දෙවොල එදාටත් වඩා අද වන්දනාවට හා බැතියට ලක්ව තිබේ. මෙයට හේතුව ලෙස මෙහි පැමිණෙන බැතිමතුන් සඳහන් කරන්නේ වෙනත් පුදබිම්වලට වඩා මෙහි විශේෂත්වයක් සහ බැතිය නංවන්නක් බවයි..

එහිදී අප සමග කතාබහට එක් වු නවරාජා රේණුකා මහත්මිය දක්වන්නේ මෙවැන්නකි.“ අපිට කේරළයට ගිහින් සබරි කන්ද කෝවිල වන්දනා කරන්න බැහැ ඒකට ආර්ථික ශක්තියක් නැහැ. මට ලොකු ආශාවක් තිබ්බා කවදා හරි සබරි කන්ද කෝවිලට යන්න ඒත් මට අද සතුටින් මෙතැනට එන්න පුළුවන්..ඇත්තටම මට කේරළයට ගියා වගේ හැඟීමක් ඇති වෙනවා. මේ කෝවිල ඇත්තෙන්ම විශ්මිත නිර්මාණයක් වගේම අනුහස් ඇති තැනක් විදිහට හඳුන්වන එකේ වරදක් නැහැ.

නාගේන්ද්‍රන් මහතා මෙම කෝවිල පිහිටි ප්‍රදේශයේම ජිවත් වෙන පැරැණි නගර වැසියකි.“ ඉස්සර මෙතැන තිබුණෙ හිස් බිමක් විදිහට මෙතැන අලංකාර වුණේ අගයක් ඇති වුණේ කෝවිල නිසා. අද අපේ ගමටත් මේ කෝවිල හින්දා අගයක් ඇති වෙලා තියෙනවා. මේ පුදබිමට අද වෙනකොට බැතිමතුන් පිට පළාත්වලින් පවා එනවා . ඒ නිසා අද අපට වගේම ගමටත් විශාල කීර්තියක් ඇති වෙලා තියෙනවා.

මෙහි ප්‍රධාන දේවගැතිවරු දෙදනා වන නම්බුදි සහ මෝහන් චන්ද්‍ර මහත්වරු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ වැසියන්ය‍. “ අපි කේරළයෙන් ආවේ අවුරුදු කිහිපයකට පෙරයි.. සබරිමලේ කෝවිලේ පුහුණුවක යෙදිලා එහි වත් පිළිවෙත් අනුවයි අපි මෙහි වැඩ කරන්නේ. අපිට අවශ්‍ය කර තියෙන්නේ බැතිමතුන්ට සරණක් වීමයි. ඇත්තෙන්ම ශ්‍රි ලාංකිකයන් ඉතාමත් හොඳ පිරිසක් සියලු ආගම්වලට ගරු කරන පිරිසක් ඒ නිසා තමයි අපි මේ රටට ආදරය කරන්නේ. අද අපිට හිතෙන්නේ මෙහි ඉන්නෙ අපේ සහෝදරවරු කියලා. දෙමළ අය විතරක් නොවෙයි සිංහල මුස්ලිම් කිතුණු කියලා වෙනසක් නැහැ.හැමෝම එක වගේ හොඳයි. අපි කේරළයට ගියාමත් මේ රටේ අය ගැන මතක් කරනවා.. ඒ වගේම සියළු ආගම්වල බැතිමතුන් ඉතාමත් සමගියෙන් ජීවත්වන එක ගැන සතුටුයි. කේරළ ප්‍රාන්තයේ සබරි කන්ද මහ කෝවිලේ අනුරුව වන සමස්ත ලංකා ආනනද් අයියප්පන් කෝවිලේ සුන්ඳරත්වය බැතිය වඩවන බව අගය කළ යුතුය අගනුවර පමණක් නොව මෙරට සියළු හින්දු බැතිමතුන්ට මෙවැනි අනගි කෝවිලක් තිබීම හොඳ දෙයකි.

සටහන-උදිත ගුණවර්ධන
පොන් අරුණාසලම්
ඡායාරූප- නිරෝෂ් බටේපොළ


නව අදහස දක්වන්න

Or log in with...