අවදිවන්නට පෙර මියගිය ජගත්! | දිනමිණ

අවදිවන්නට පෙර මියගිය ජගත්!

රන්ජන් අමරරත්න

පත්‍රකලාවේදියකු හා කවියකු ලෙසින් නමක් දිනා සිටි ජගත් රණතුංග හදිසියේම ජීවිතයෙන් සමුගෙන නික්ම ගියේය. ජගත් සුළු කාලයක් රෝහල් ගතව සිටි අතර බොහෝ දෙනකු ඔහු මියගිය පුවත දන්නේ නැත. ඉතා කෙටි කාල පරාසයක් තුළ අවසන් කටයුතු සිදුවූ බැවින් ඔහුට අවසන් ගෞරව දැක්වීමේ අවස්ථාව ද වැඩි දෙනකු අතින් ගිලිහී ගියේ ය. එහෙත් මේ කිසිවකින් ඔහුගේ කාර්යභාරය ලඝු වන්නේ නැත. ඔහු හෑල්ලු වන්නේ ද නැත.

ජගත් මහා වෙනසක් සිදු කළ විප්ලවවාදියකු නොවන වග ඇත්තකි. එහෙත් ඔහු වෙනසකට පාදක වන පුංචි - පුංචි වැඩ ගොන්නක් ඉටු කළේ ය. ඒවා ක්ෂේත්‍ර කිහිපයක විසිරී - පැතිරී පවතී. අපගේ පිළිගැනීමට අනුව ජගත් රණතුංග පිළිබඳ විග්‍රහය ක්ෂේත්‍ර තුනක් ඔස්සේ ඉදිරියට ගෙන යා හැකි ය.

(I) ප්‍රජා මූලික සන්නිවේදකයා

(II) විරෝධාකල්ප සහිත කවියා

(III) රැඩිකල් මතධාරියා

ප්‍රජා මූලික සන්නිවේදනය යන්න සමූහ සන්නිවේදනය ලෙසින් ද හැඳින් වේ. එය පස්වැදෑරුම් සන්නිවේදන ක්‍රමවල එක් කොටසකි. තෝරාගත් සමාජ කණ්ඩායමක් දැනුවත්භාවයට පත් කිරීම ද ඔවුන් යහපත් අරමුණක් සඳහා පෙලැඹවීම ද මේ මගින් සිදු කෙරේ. සංවර්ධනය වෙමින් පවතින රටකට මෙහි එන උපායමාර්ග ඉතා වැදගත් ය.

ඩේවිඩ් බ්‍රොන්ස්ටීන් නම් ලේඛකයා ද ඔහුගේ How to Change the World නම් කෘතිය ද අප සිහියට නැ‍ඟේ. මේ කෘතියෙන් කියැවෙන්නේ සමාජ ගැටලු විසැඳීම සඳහා පුද්ගලයන් හා සංවිධාන ගෙන ගිය අරගලය ගැනය. එහි දෙවන පරිච්ඡේදය ආරම්භ වන්නේ සියලු වෙනස්කම්වලට හේතු-සාධක වන්නේ පුද්ගලයන් සතු දැක්ම හා ඔවුන් ගනු ලබන තීරණ බව සටහන් කිරීමෙන් ය. ජගත්ට ද සමාජ ගැටලු පිළිබඳ වැටහීමක් හා දැක්මක් තිබිණි. ඔහු රටේ ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති තුනක් ඔස්සේ සිය දැක්ම හා වැටහීම විශද කළේ ය.

(I) නිවාස දස ලක්ෂයේ වැඩසටහන

(II) නිවාස පහළොස් ලක්ෂයේ වැඩසටහන

(III) ජනසවිය

මේ වැඩසටහන් තුන ම හැඳින්විය හැක්කේ පොදු ජනයා මූලික කරගත් සංවර්ධන ව්‍යාපෘති හැටියට ය. පුද්ගල නිපුණතා බලගැන්වීම, සහයෝගීතාව ස්ථාපිත කිරීම, පවුලේ සංවර්ධනය ඇති කිරීම වැනි අරමුණු ද මේ සංවර්ධන ව්‍යාපෘති සමඟ ක්‍රියාත්මක විය. මෙහිදී වඩාත් වැදගත් වන්නේ පුද්ගලයා දැනුවත්භාවයට පත් කිරීම හා ඔහු පෙලැඹවීම යි. ඒ සඳහා ප්‍රජාමූලික සන්නිවේදනය හොඳින් යොදා ගැනිණි.

ජගත්ගේ අදහස්, රූ-රටා, සැලැසුම්, ඡායාරූප පමණක් නොව; අත් අකුරු පවා මේ සන්නිවේදන ක්‍රියාවලිය සඳහා යොදා ගැනිණි. ඔහුගේ අකුරුවල අමුතු හැඩයක් හා අපූරු නිමාවක් ද තිබිණි. ඒවා මිනිසුන්ගේ අදහස් කුළුගන්වනසුලු බලවේග ලෙස පැවැතිණි. ජගත්ගේ අත්අකුරු ප්‍රදර්ශන පුවරුවල පමණක් නොව; අත් පත්‍රිකාවල ද සටහන් විය. ඔහුගේ අකුරුවලට මුද්‍රණ තාක්ෂණයෙන් අලුත් ආලෝකයක් ලැබිණි.

චීනය, ජපානය, කොරියාව වැනි රටවල අත්අකුරු ලිවීම එක්තරා වෘත්තියකි. එය ලිවීම නොව; ඇඳීම ලෙස හැඳින් වේ. අත් අකුරු ලිවීම, පිටපත් කිරීම හා අකුරු විශාල කිරීමත් මේ වෘත්තියට අයත් ය. චීනයේ ප්‍රකට ලේඛක ලූ ෂූන්ගේ කෙටිකතාවලින් පෙනී යන්නේ පිටපත් කිරීම චීන උගතුන්ගේ කාර්යභාරයක් බව ය. ජගත්ට විවිධ හැඩතල සහිත අකුරු මෝස්තර තිබිණි. ඔහු ඒවා ගමේත්, නගරයේත් මිනිසුන්ගේ සන්නිවේදනය සඳහා යොදා ගත්තේ ය.

ජගත්ගේ ද සහභාගිත්වය ඇතිව ක්‍රියාත්මක වූ මේ සංවර්ධන සන්නිවේදන ක්‍රියාවලිය 1980 ගණන්වලදී අලුත් අත්දැකීමක් ලෙස පැවැතිණි. ඒ අනුව වැඩ කරමින් ඉගෙනීමටත්; ඉගෙන ගනිමින් වැඩ කිරීමටත් සිදුවිය. ඉහළින් - පහළට, පහළින් - ඉහළට අදහස් හුවමාරුව හා දැනුම බෙදාගැනීම සිදුවිය. සුසිල් සිරිවර්ධන, සයිමන් නවගත්තේගම, ලක්විජය සාගර පලන්සූරිය, ආචාර්ය ජැක් කුලසිංහ, සේනාරත්න වීරසිංහ, ජනක කුමාර, සැන්ටින් ගුණවර්ධන, විපුල සුමනසේකර, ජයන්ත සුමනසේකර වැනි අය ද ඔහු සමඟ ක්‍රියා කළහ. ජගත්ගේ ළඟින්ම සිටි පුද්ගලයා සුදත් සමරසේකර ය. ඔහු ද චිත්‍ර ශිල්පියෙකි. ජගත්ගේ පිළිගැනීමට ලක්වූ උපදේශකයා ද නායකයා ද වූයේ සුසිල් සිරිවර්ධන මහතා ය.

මනා වැටහීමකින් ද සාර්ථක සංවිධානයකින් ද යුතුව මේ සන්නිවේදනය සිදු විය. මහාචාර්ය මොහොමඩ් යූනුස්ගේ ග්‍රාමීන් බැංකු ක්‍රමය, ආචාර්ය ඊ. එෆ්. ෂූමාකාර්ගේ මතවාද, ගුනාර් මින්ඩාල්ගේ දිළිඳුකම ජය ගැනීමේ ආර්ථික උපායමාර්ග පවා මෙහිලා සංවාදයට ගැනිණි. ෂූමාකාර්ගේ ‘පුංචි දේ ලස්සනයි’ කෘතිය මේ අය අතර නිතර පැවතිණි. ජගත්ට ගම ගැන මෙන් ම නගරය ගැන ද හොඳ වැටහීමක් තිබිණි. ඒ - ඒ සමාජ කණ්ඩායම් ආමන්ත්‍රණය කළ යුතු විලාසය ද ඔහු දැන සිටියේ ය. නිවාස දසලක්ෂයේ වැඩසටහනට ඇතුළත් අත්දැකීමක් ආශ්‍රයෙන් රචනා වූ ගුණවතීගේ කතාව නම් පොත් පිංචක් එදා ජනප්‍රිය වී තිබිණි. මේ කතාවෙන් කියැවෙන්නේ දිළිඳු කාන්තාවක් ස්වඋත්සාහයෙන් ස්ථිර නිවසක් ඉදිකරගන්නා ආකාරය ගැන ය. ඉතිරි කිරීම, එකතු කිරීම, සැලැසුම් සහගත බව මෙන්ම අධිෂ්ඨානය ද මේ කතාවෙන් මතු වෙයි. රචකයා සුසිල් සිරිවර්ධන වන අතර චිත්‍ර සටහන් සහිතව එම පොත සකස් කළේ ජගත් ය. මේ පොත් පිංච සංවර්ධන සන්නිවේදනය සඳහා භාවිත කළ නිර්මාණාත්මක අභ්‍යාසයක් සේ සැලැකිය හැකිය.

විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා මෙන්ම ඒවා පිළිබඳ දැනුවත්භාවයක් ඇති කිරීම සඳහා ද ආයතන විසින් ඉදිරිපත් කරනු ලබන “ගයිඩ් ලයින්” හෙවත් “අත්වැල්” ක්‍රමය වඩාත් ප්‍රචලිත වූයේ ඉහත සඳහන් වැඩසටහන් තුන ඔස්සේ ය. අත්වැල; ව්‍යාපෘති ක්‍රියාත්මක කරන නිලධාරීන්ට, සේවකයන්ට එය අධ්‍යයනය කරන විද්‍යාර්ථීන්ට පමණක් නොව; වැඩසටහනේ ප්‍රතිලාභ ලබන අයට ද අතිශයින්ම වැදගත් ය. තවත් අතෙකින් එය සංවර්ධනයට අදාළ සාහිත්‍යයක් ලෙස ද පවතී. උක්ත වැඩසටහන්වලට අයත් අත්වැල් බො‍හොමයක් නිර්මාණය වූයේ සුසිල් සිරිවර්ධන මහතාගේ උපදේශකත්වය මත ජගත්ගේ පරිකල්පන ශක්තියෙන් ය. මේවාට සාක්ෂි ලෙස ඔහුගේ චිත්‍ර සටහන් හා අත්අකුරු මුල් පොත්වල පවතී.

ජගත් රණතුංග ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සේවය කළේ චිත්‍ර ශිල්පියකු හැටියට ය. ඔහු සතු රාජකාරි හැඳුණුම්පතෙහි තනතුර යන්නට ඉදිරියෙන් චිත්‍ර ශිල්පී යන්න සටහන් වී තිබිණි. එහෙත් ඔහුගේ කාර්යභාරය එම තනතුරේ සීමා-මායිම් ඉක්මවා ගියේ ය. ආයතනය සංවිධාන කළ ප්‍රදර්ශන, වැඩමුළු, උත්සව, සම්මන්ත්‍රණ ආදිය සඳහා නිදිවර්ජිතව ඔහු වැඩ කළ දින ගණන මෙතෙකැ’යි කිව නොහැකි ය.

කවියකු ලෙස ජගත් කැපී පෙනෙන්නේ සාධක දෙකක් මත යැයි සිතන්නට පුළුවන. එක; කවියෙක් විරෝධාකල්ප ප්‍රකට කිරීම ය. දෙක; ස්වකීය කවි සඳහා හිතුවක්කාරී භාෂාවක් භාවිත කිරීම ය. ඔහු කෙතරම් දුරට විරෝධා’කල්ප කෙරෙහි නැඹුරුවූයේ ද යත්; උපාධිධාරිනියගේ අට-පාස් සැමියා නමින් ද කවියක් රචනා කළේ ය. එය අතිශය පෞද්ගලික අත්දැකීමක් බව අමුතුවෙන් කිව යුතු නැත. තමන්ගේ ම ඇත්තන් කැටුව පවා අරගල ඇතිකර ගැනීම ජගත්ගේ එක් විලාසයකි.

“උන්හිටි තැන්” (1988) “කරදිය ලෝලියාගේ තෙත බරිත හැන්දෑව” (1992) “ඇසෙනා තුරුම සිටීම” (1994) හා “හීන්දෑරි අසුබ නිමිත්ත” (2008) යනුවෙන් කාව්‍ය සංග්‍රහ කිහිපයක් ඔහු විසින් පළකරනු ලැබ තිබේ. ජගත්ගේ භාෂා භාවිතයේ හිතුවක්කාරී ගතිය මේ කාව්‍ය සංග්‍රහවලට යොදා ඇති නම්වලින් ද ප්‍රකට වෙයි. ඔහු තමන්ගේ ‍බොහොමයක් නිර්මාණ කර්තෘ ප්‍රකාශන ලෙසින් එළි දැක්වූයේ ය. බෙදාහැරීමේ ජාලයක් හෝ අලෙවි මධ්‍යස්ථානයක් හෝ ඔහුට නොතිබිණි. මේ නිසා ජගත්ගේ කවි සහෘදයන් අතර පරිහරණය වූයේ ස්වල්ප වශයෙන් ය.

ජගත්ගේ හිතුවක්කාරී භාෂාව හා විරෝධාකල්ප සහිත අනුභූතීන් ස්මරණය කරනවිට අප සිහියට නැ‍ඟෙන්නේ අමෙරිකන් කවියකු වූ ලොන්ග්ස්ටන් හෝස්ය. ඔහු අමෙරිකාවේ කළු ජාතිකයන්ගේ ස්වාධීනත්වය නිදහස හා අනන්‍යතාව වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටි නීග්‍රෝ ජාතික කවියෙකි. හෙජස් බොහෝ දේවල් ඍජුව හා දැඩිව කියන්නට උත්සාහ කළේ ය. ජගත්ගේ ස්වාභාවය ද එසේම ය. ඔහුගේ හීන්දෑරී අසුබ නිමිත්ත නම් කාව්‍ය සංග්‍රහයේ තරුණ භික්ෂුවක ගැන ප්‍රබන්ධයක් ඇත. කවියට සිරස ලෙස යොදාගෙන තිබුණේ “ජංගම දුරකථනය අතැ’ති සඟ නම” යන්න ය.

“තෙ මඟ
නො දැන
නො මඟම
සරන”

කවිය ආරම්භ වන්නේ බික්ෂුවගේ ක්‍රියා කලාපය හා හැසිරීම දැඩි ලෙස විවේචනයට ලක් කරමින් ය. තෙමඟ නොදන්නා භික්ෂුවක නොවන මග ජගත් කියයි. තෙමඟ යනු කවරේ ද යන්න ද කවියට පහළින් සටහන් කර තිබේ. හෙජස් ද මෙබඳු උපායමාර්ග භාවිත කළේ ය.

අප කවියාගේ කැපී පෙනෙන අනෙක් ලක්ෂණය වන්නේ දැඩි මතධාරියකු වීම ය. එහු තමන‍්ගේ මතය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටියේ ය. ඇතැම් විට අරගල කළේ ය. පොදු සමාජය විසින් පිළිගනු ලබන සත්‍යය ජගත්ගේ අවධානයට ලක් වූ බවක් පෙනෙන්නට නැත. මේ නිසා බොහෝ අවස්ථාවල දී ඔහු සමඟ එකට වැඩ කිරීම දුෂ්කර විය. ඇතැම්විටක ඔහු සුළු දෙයින් පවා කෝපයට පත්විය. ආයතනවලින් ඉවත්වීම, අලුත් ආයතන සොයා යෑම, ස්වයං රැකියාවල යෙදීම ආදිය සිදුවන්නේ ද මේ අනුව ය. එක දිගට එකම ආයතනයක වැඩ කිරීමේ හුරුවක් ජගත්ට නො තිබිණි. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, ලේක්හවුස් ආයතනය, විජය පුවත්පත් ආයතනය ඔහු සේවය කළ ප්‍රධාන ආයතන වෙයි. මිය යනවිට ඔහු සේවය කළේ ඉරිදා ලංකාදීප පුවත්පතේ කතු මඩුල්ලේ ය.

ජගත් රණතුංග යනු නිපුණතා රැසක් ප්‍රකට කළ ශිල්පියෙකි. කවිය, චිත්‍ර ශිල්පය, සන්නිවේදනය, කැමරාකරණය පමණක් නොව; නළුකම හා ගායනය වැනි හැකියාවන් ද ඔහු ළඟ තිබිණි. ඔහු වේදිකා නාට්‍ය කිහිපයක රඟපෑවේ ය. ස්ටැන්ලි ඔමාර් වැනි පරණ සංගීතඥයෝ කැටුව සංගීතය ගැන අදහස් හුවමාරු කර ගත්හ. ඇතැම්විට නිවැරැදි ස්වරයෙහි පිහිටා ගීත ගායනා කළේ ය. එහෙත් මේ කිසිවක් අඛණ්ඩ ලෙස ඉදිරියට ගෙන යෑමට ඔහු අසමත් විය.

ජගත්ගේ නිර්මාණවලට නිසි ඇගයීමක් ලැබුණේ නැත. නිසි මිලක් නියම වූයේ ද නැත. එබැවින් ඔහු කලකිරීමකින් ද, කෝපයකින් ද පසුවූ බවක් පෙනෙන්නට තිබේ. කුමක් වුව ඔහු ජීවත්වූ වසර පනස්නමය තුළ බරක් ඇති කාර්යභාරයක් ඉටුකර තිබේ. එබැවින් ඔහු ජීවිතයට හා සමාජයට ණය නැත. ඔහුගේ “මාතුපාදං” නමැති කෙටි කතාවේ කොටසක් උපුටා දක්වමින් මේ සටහන නිමා කරන්නට කැමැත්තෙමු.

“කම්පිත සිත හා අප්‍රාණික කය රෝහලට ඇතුළුවන මහ ගේට්ටුව අසලදීත් පැවතුණේ ය. අමාරුවෙන් වාරු කරගත් මගේ සිත හා කය රෝහලට ඇතුළුවීමට අදිමදි කරයි. එසේ වුවත් නිල කටයුත්තක් සේ ඔවුන් අසන ප්‍රශ්නාවලියට උත්තර බැඳිය යුතු වෙමි.”

(මුරේ-කෙටිකතා සංග්‍රහයෙන්)

ජගත් රෝහලට ඇතුළු වූයේ ද ඉහත ආකාරයෙන් ය. ඔහුට නියම සිහිය නො තිබිණි. දින කිහිපයක ඇවෑමෙන් එම විලාසයෙන් ම ඔහු මියගොස් සිටියේ ය.

 


නව අදහස දක්වන්න

Or log in with...