පේරාදෙණියේ වකුගඩු හපන්කම | දිනමිණ

පේරාදෙණියේ වකුගඩු හපන්කම

ප්‍රථම ළමා වකුගඩු බද්ධයට මුහුණ දුන් මින් හජ්ජියාර් දැරිය

වසර 2004 දී පේරාදෙණිය රෝහල කේන්ද්‍ර කර ගනිමින් ළමා වකුගඩු බද්ධ කිරීම් ආරම්භ කරන තෙක් ඒ සඳහා නිශ්චිත ප්‍රතිකාරයක් මෙරට නොතිබිණි.මේ නිසාම වකුගඩු බද්ධයක් සිදුකර ජීවිතය රැකගත හැකිව තිබූ ළමුන්ට සිදු වූයේ මරණය වැළඳ ගන්නටය.වැඩිහිටියන් සඳහා වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් ඒ වනවිටත් සාර්ථකව මෙරට තුළ සිදු කෙරමින් පැවැතියද ළමයින් සඳහා වකුගඩු බද්ධ කිරීම ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක් වීම නිසා එය 2004 වන තෙක්ම මෙරට තුළ සිදුකර තිබුණේ නැත. අවම පහසුකම් මධ්‍යයේ ආරම්භ කෙරුණු ළමා වකුගඩු බද්ධ කිරීම් සාර්ථකව සියයක් දක්වා ඉහළට ගෙන ඒමට ඊට කැපවූ වෛද්‍යවරු,හෙද කාර්ය මණ්ඩලය ප්‍රමුඛ පිරිස සමත් වීමත් සමඟ ශ්‍රීලංකාව අංශ කිහිපයකින් ලෝක සෞඛ්‍යය සංවිධානයේ ඇගයීමටද ලක්ව තිබේ.

කන්න බෑ,කකුල් ඉඳිමිලා,වමනේ යනවා....වේදනාව දරා ගන්න බැරුව අපි කළේ අඬන එකයි.අම්මගේ තාත්තගේ ඇස් හැම වෙලාවෙම පිරිලා තිබුණේ කඳුළින්.අපි වගේම දුක් විඳපු නංගිලා මල්ලිලා ගොඩ දෙනෙක් එයාලගේ අම්මා තාත්තා අතහැරලා ජීවිතේ දාලා ගිහින් තිබුණේ මේ රෝගයට ප්‍රතිකාරයක් අපේ රටේ නොතිබූ නිසයි.අපිටත් ඒ ඉරණම අත් වෙයිද කියලා අපේ අම්මා තාත්තාත් හිතන්න ඇති.ඒත් අපිට විතරක් නොවෙයි අපේ අම්මා තාත්තටත් අද අපි ඉස්සරහා වෛද්‍යවරුන්ගේ වෙස් අරගෙන ඉන්න මේ දෙවිවරු ජීවිතය දුන්නා.දැන් අපි අයෙත් ඉස්කෝලේ යනවා.කොහේදෝ සැඟවිලා යන්න ගිය සතුට අපේ පවුල් වලට ආයෙත් ඇවිල්ලා...අපි හැමෝම සතුටින් හිනා වෙනවා....

පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී වකුගඩු බද්ධ කිරීමේ සැත්කමකට ලක්ව යළි ජීවිත් වීමට වරම් ලද කුරුණෑගල චතූ මධූෂිකා දියණිය පසුගිය දිනක මෙම කතාව රෝහලේ ළමා වකුගඩු බද්ධ කිරීම් සියයක් සිදු කිරීම නිමිත්තෙන් පැවැති උත්සවයකදීය.වසර 2004 අගෝස්තු මස පළමු ළමා වකුගඩු බද්ධය සාර්ථකව සිදු කිරීමෙන් පසු ගතවූ වසර 14 ක කාලය තුළ සාර්ථක වකුගඩු බද්ධයන් 100 ක් සිදු කරන්නට දායකත්වය ලබාදුන් වෛද්‍ය,හෙද හා සෙසු කාර්ය මණ්ලය මෙන්ම වකුගඩු බද්ධ කිරීම් වලට ලක් වූ හා ඔවුන්ට වකුගඩු ප්‍රදානය කළ සියලු දෙනා එකට එක්කළ මෙම හමුව අතිශයින්ම සුවිශේෂි එකක් විය.ඒ තුළ මරණය පෙනී පෙනී සිට ජීවත් වීමේ වරම් ලද දරුවන්ද තම නෙත් වන දරුවන් අහිමි වේයැයි සෝසුම් හෙළූ මව්වරු හා පියවරුද කෙනෙකුට ජීවිතය දෙන්නට උරදුන් වෛද්‍යවරු හා කාර්ය මණඩලයද එකට එක්ව සිනාසුණහ.මරණය පරදා ජීවිතය ජයගන්නට මඟ විවිර කළ වෛද්‍යවරුන්ට ළමුන් පමණක් නොව ඔවුන්ගේ මව්පියන්ද වැඳ නමස් කාර කළහ.ඒ මොහොත් ළමුන්ගේ හා දෙමව්පියන්ගේ පමණක් නොව වෛද්‍යවරුන්ගේ දෙනෙතටද කඳුළක් එක් වූයේ මෙය මහා කැපවීමක ප්‍රතිඵල බව ඔවුන් හොඳින් දන්නා නිසාය....

වසර 2004 දී පේරාදෙණිය රෝහල කේන්ද්‍ර කර ගනිමින් ළමා වකුගඩු බද්ධ කිරීම් ආරම්භ කරන තෙක් ඒ සඳහා නිශ්චිත ප්‍රතිකාරයක් මෙරට නොතිබිණි.මේ නිසාම වකුගඩු බද්ධයක් සිදුකර ජීවිතය රැකගත හැකිව තිබූ ළමුන්ට සිදු වූයේ මරණය වැළඳ ගන්නටය.වැඩිහිටියන් සඳහා වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් ඒ වනවිටත් සාර්ථකව මෙරට තුළ සිදු කෙරමින් පැවැතියද ළමයින් සඳහා වකුගඩු බද්ධ කිරීම ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක් වීම නිසා එය 2004 වන තෙක්ම මෙරට තුළ සිදුකර තිබුණේ නැත. අවම පහසුකම් මධ්‍යයේ ආරම්භ කෙරුණු ළමා වකුගඩු බද්ධ කිරීම් සාර්ථකව සියයක් දක්වා ඉහළට ගෙන ඒමට ඊට කැපවූ වෛද්‍යවරු,හෙද කාර්ය මණ්ඩලය ප්‍රමුඛ පිරිස සමත් වීමත් සමඟ ශ්‍රීලංකාව අංශ කිහිපයකින් ලෝක සෞඛ්‍යය සංවිධානයේ ඇගයීමටද ලක්ව තිබේ.ඒ ළමා වකුගඩු බද්ධ කිරීම් සියයක් එකම ස්ථානයක සිදුකළ දකුණු ආසියාවේ එකම රට බවට ශ්‍රීලංකාව පත් වීමෙනි.සාමාන්‍යයෙන් වකුගඩු බද්ධ කිරීමක් සඳහා ළමයෙකු වයස අවුරුදු දෙක ඉක්මවා සිටිය යුතුය.දරුවාගේ බර කිලෝ 10 කට වැඩි වීම තවත් අවශ්‍යතාවකි.එසේ වුවත් පේරාදෙණිය රෝහලේදී බරින් කිලෝ 8 1/2 ක් වූ අවුරුදු 01 යි මාස 08 ක් වයසැති දරුවකුට වකුගඩුවක් බද්ධකර තිබේ.එයද ලෝකයේ දියුණු වෙමින් පවතින රටවල් අතර වාර්තාවක් වන අතර එම කාර්යය ජත්‍යන්තර වශයෙන් ඇගයීමට ලක්ව තිබේ.

පේරාදෙණිය රෝහල කේන්ද්‍ර කර ගනිමින් ළමා වකුගඩු බද්ධ කිරීම් පටන් ගන්න මූලිකත්වය ගත්තේ නිර්වින්දන වෛද්‍ය විශේෂඥ චූලා ගුණසේකර හා විශේෂඥ වෛද්‍ය ඔස්වලඩ් ප්‍රනාන්දු මහත්වරුය."චූලා ගුණසේකර මහතා මෙහෙන් යනකොට එතුමාගේ අඩුව පුරවන්න නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරියක් ලබා දුන්නා.ඒ මහචාර්ය වසන්ති පින්ටෝ මහත්මිය.සාමාන්‍යය ළමා වාට්ටුවක තමයි මේ දරුවන්ට ප්‍රතිකාර කිරීම ආරම්භ කළේ.එක බද්ධ කිරීමක් කරන එක සාමාන්‍යය දෙයක් වුවත් බද්ධ කිරීම් 100 ක් සිදු කිරීම ඉතා භාරදූර කටයුත්තක්.මුල් කාලයේ දී අවශ්‍යය ඖෂධ පවා තිබ්බේ නැහැ.බොහෝ අය මේ කටයුත්තට උදව් කළා.ජාත්‍යන්තර වශයෙන් අපේ මේ වැඩකටයුත්ත ඇගයීමට ලක්ව තිබෙනවා.ලංකාවේ වකුගඩු බද්ධ කිරීම සම්බන්ධව යම් යම් ප්‍රශ්න තිබෙනවා.අවයව බද්ධ කිරීමේදී මුදල් ගනුදෙනු සිදුවීම වරදක්.ඒ වරද කොහෙත්ම පේරාදෙණිය රෝහලේ වකුගඩු බද්ධ කිරීම් වලදී සිදුව නොමැති බව ජත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක්ව තිබෙනවා.අවයව බද්ධ කිරීම් සඳහා ඇති ජත්‍යන්තර පටිපාටි වලට අනුකූල මෙහි එම කටයුත්ත සිදුවන්නේ.අපි වසරකට ළමා වකුගඩු බදධ කිරීම් 08 ක් පමණ කරනවා.මුල් වකුගඩු බද්ධය සිදු කරලා වසර 14 ක් තුළ අපි සියවන වකුගඩු බද්ධ කිරීම කළා.ළමයෙකුට වකුගඩුවක් බද්ධ කරන එක තාක්ෂණික වශයෙන් ඉතා අසීරු දෙයක්.කිලෝ 10-12 ක ළමයෙකුට ශරීරයට අපි ඇතුළු කරන්නේ වැඩිහිටියෙකුගේ වකුගඩුවක්.බද්ධ කළාට පස්සේ ඒක රැක ගැනීම ඉතාම අසීරු කටයුත්තක්.දරුවගේ වයසට,ප්‍රමාණයට නොගැලපෙන අවයවයක් බද්ධ කළාම දරුවාට හුස්ම ගැනීමේ අසීරුතා ඇති වෙනවා.අපිට ඉතාම පළපුරුදු කාර්ය මණ්ඩලයක් සිටින නිසා ඒ අභියෝගය ජය ගැනීම ඉතා පහසුවෙන් කළා.සාමාන්‍යයන් ලෝක සම්මතය අනුව වකුගඩුවක් බද්ධ කරන්න දරුවා අවම වශයෙන් කිලෝ 10 ක් විය යුතුයි.වයස අවුරුදු දෙක සම්පූර්ණ කරලා තියෙන්න ඕන.අපි දරුවෙකුගේ ජීවිතය බේරා ගැනීම සඳහා ඉතා ලොකු අවධානමක් අරගෙන කිලෝ 10 ට අඩු බරක සිටි වයස අවුරුදු 1 1//2 ක දරුවෙකුට වකුගඩුවක් සාර්ථකව බද්ධ කළා.දකුණු ආසියාවේ මෙවැනි දරුවකුට කළ පළමු වකුගඩු බද්ධය මෙයයි.බටහිර රටවල් මේ ගැන පුදුම වුණා.අවම පහසුකම් මධ්‍යයේ මෙවැනි සැත්කමක් සාර්ථකව කළේ කොහොමද කියලා ලෝකයට කියන්න අපිව අමෙරිකාවට ගෙන්නුවා.දියුණු වෙමින් පවතින රටවල් වලට ආදර්ශයක් ලෙස මෙහ එහිදී ඇගයීමට ලක්කළා.දැන් අපට අලුතින් වකුගඩු බද්ධ කිරීමේ ඒකකයක් ලබා දීමට නියමිතව තිබෙනවා.එහි වැඩ අවසන්වූ පසු වසරකට ළමා වකුගඩු බද්ධ කිරීම් 20 ක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.දැන් වකුගඩු අකර්මණ්‍යය වූ කිසිම ළමයෙකුට අපි මැරෙන්න දෙන්නේ නැහැ.මේ ළමයි සිය දෙනා අතර ඉන්නවා වකුගඩු දෙවරක් බද්ධ කළ දැරියක්.පළමු බද්ධය සාර්ථකව කළත් ඇය නිසි පරිදි ඖෂධ නොගැනීම නිසා එය අක්‍රීය වුණා.පසුව දෙවන බද්ධයක් කරන්න සිදුවුණා.වකුගඩු බද්ධ කිරීම් දෙකක් කරලා ජීවිත් වෙන්න වරම් ලද දකුණු ආසියාවේ එකම දැරිය ඇය වෙන්න ඇති කියලා මම හිතෙනවා."පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඤ වෛද්‍ය,ශ්‍රීලංකා ළමා රෝග වෛද්‍ය සංගමයේ සභාපති මහචාර්ය ආසිරි අබේගුණවර්ධන මහතා පවසයි.

බදුල්ලේ පදිංචි මහේෂිකා කරුණාතිලක දෙවරක් වකුගඩු බද්ධයන්ට ලක්ව ජීවිතය ලද දැරියයි.අද ඇය සාමාන්‍ය දරුවෙක් මෙන් ජීවිතය ගෙන යමින් සිටියි...වකුගඩුවල ගල් කියලා 2008 වසරේදී මම බදුල්ල රෝහලට ගියා.මාව එතනින් ජයවර්ධනපුර රෝහලට යැව්වා.එතනින් මාව නුවරට මාරුකළා.එතටකාට මට අවුරුදු 09 යි.ඒ නිසා නුවරින් පේරාදෙණිය රෝහලට යොමු කළා.මගේ අප්පච්චී තමයි වකුගඩුව දුන්නේ.බද්ධ කරලා අවුරුදු තුනකට පස්සේ ඒක අකීය වුණා.පස්සේ 2014 අවුරුද්දේ අයෙත් වකුගඩුවක් බද්ධ කළා.ඒක දුන්නේ හාමුදුරුනමක්.මම අවුරුදු 1 1/2 ක් විතර ඉස්පිරිතාලේ නැවතිලා හිටියා.දැන් අධ්‍යාපන කටයුතු කරනවා.අම්මා තාත්තා හා මේ දෙවිවරු වන් දොස්තර මහත්තයලා නිසා තමයි මට ජීවත් වෙන්න වරම් ලැබුණේ...මහේෂිකාගේ මල්ලීටද වකුගඩුවක් බද්ධ කර තිබෙන අතර ඔහුට එය ලබාදී තිබෙන්නේ මවය.මහේෂිකාගේ පවුලේ මව,පියා ඇතුළු සිව් දෙනාටම ඇත්තේ එක වකුගඩුව බැගිනි.පේරාදෙණිය රෝහලේ වෛද්‍යවරුන්ගේ හා සෙසු කාර්ය මණ්ඩලයේ කැපවීම නිසාවෙන් අද ඔවුන්ගේ පවුලට සතුට එකතුවී තිබේ.

පේරාදෙණිය රෝහලේ ප්‍රථම ළමා වකුගඩු බද්ධයට ලක්ව තිබෙන්නේ මින් හජියාර් නැමැති දැරියයි.මහනුවර තැන්නේකුඹුරේ පදිංචි ඇය දැන් 21 හැවිරිදිය.2004 අගෝස්තු මස සැත්කමට ලක්වන විට 08 වැනි වියේ පසුවූ ඇයට වකුගඩුවක් ලබාදී ඇත්තේ මවය.සියවන වකුගඩු බද්ධය සිදුකර තිබෙන්නේ මඩකළපුවේ වී.ධනුක්ෂාන්ටය.14 වැනි පසුවන ඔහුද අද ජීවත් වන්නේ මවගේ වකුගඩුවකිනි...

"මගේ දුවට දැන් අවුරුදු 04 යි.2016 දී එයාට වකුගඩුවක් බද්ධ කරන කොට අවුරුදු 2 1/2 යි.දරුවා ඉපදෙන කොටම එක වකුගඩුවක් තිබුණේ නැහැ.තිබ්බ වකුගඩුවෙත් වැඩ කරන්නේ 15 % යි කියලා දොස්තර මහත්වරු කිව්වා.අපි ඇඹිලිපිටියේ පදිංචි.ඒ ඉස්පිරිතාලෙන් කොළඹ රිජ්වේ ආර්යා රෝහලට යැව්වා.දුවගේ ජීවිතය බේරන්න බැහැ කියලා දෙස්තර මහත්වරුවරු කිව්වා.පස්සේ අපි ළමයව කරාපිටිය රෝහලට අරන් ගියා.එහෙදී ළමයාව බැලුව හර්ෂනී දොස්තර නෝනා දරුවගේ බර හරියනකම් ප්‍රතිකාර කරලා පේරාදෙණියට යොමු කළා.සෙනාල් සර් දරුවාට වකුගඩුවක් බද්ධ කරලා ජීවිතය බේරලා දෙන්නම් කිව්වා.මම මගේ වකුගඩුව දරුවාට දුන්නේ.දැන් දුවට හොඳයි.අපිට අපේ ජීවිතය ආ‍ෙයත් ලැබුණේ මේ දොස්තර මහත්වරු නිසයි"...දැරියගේ මව නිසාදී මනෝහාරී මහත්මිය පැවසුවාය.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහචාර්ය එම්.ඩී ළමාවංශ මහතා."මෙහි ළමා වකුගඩු බද්ධ කිරීම් ආරම්භ කරන කොට මුලින් අපිට බාධක රැසක් ඇති වුණා.විශ්වවිද්‍යාලවල ආචාර්යවරු මේවා නොකළ යුතුයි කියන පටු ආකල්ප දරපු උදවිය හිටියා.පහසුකම් නොමැතිව මේක ආරම්භ කිරීමෙන් ළමයින්ගේ ජීවිත අනතුරට ලක්කරනවා කියලා තවත් අය කිව්වා.එවකට සෞඛ්‍යය ඇමැති නිමල් සිරිපාලද ද සිල්වා මහතා අපට වකුගඩු බද්ධ කිරීම සිදු කිරීම සඳහා ඇති හැකියාව නිරීක්ෂණය කරන්න පැමිණියා.ඒ වන විටත් ළමුන් 27 ක් වකුගඩු බද්ධ කිරීම් වලට ලක් කරන්න නියමිතව හිටියා.ඒක නොකළොත් ඒ දරුවන්ට ජීවත් වීමේ වරම ලැබෙන්නේ නැහැ.මෙම කටයුත්ත ආරම්භ කරන්න මූලිකත්වය ගත් විශේෂඥ වෛද්‍ය ඔස්වල්ඩ් ප්‍රනාන්දු මහතා එංගලන්තයේ ඉඳලා අපිට බෙහෙත් එව්වා.ලෝකය දිනෙන් දින දියුණු වෙනවා.ඒ නිසා බද්ධ කළ වකුගඩුවක ආයු කාලයත් එන්න එන්නම වැඩි වෙනවා.බටහිර රටවල වකුගඩු බද්ධ කළ දරුවන් වැඩිවියට පත්ව දරුවන් පවා ප්‍රසූත කරනවා.බද්ධ කරන්න අපිට වකුගඩු ගොඩක් අවශ්‍යයි.මොළය මියගිය අයගේ අවයව තමයි ලෝකයේ වැඩිපුරම බද්ධ කිරීම් සඳහා යොදා ගන්නේ.මේ අවයව ගැනීම සඳහා ලෝකයේ යොඳ නීතී පද්ධතියක් තිබෙනවා.ලංකාවෙත් එවැනි නීති පවතිනවා.ඒ සඳහා රෙගුලාසි හඳුන්වාදී තිබෙනවා.මෙලෙස ලබා ගන්නා අවයව බද්ධ කිරීම් රටේ කිහිප තැනක සිදු වෙනවා.ප්‍රමුඛතා හඳුනා ගෙන මේ අවයව අවශ්‍යය තැනට යොමු කිරීම සඳහා වැඩසටහනක් රටේ තාම නැහැ.ඒක විශාල අඩුවක්.රටේ තැන් තැන් වල සිදුවන මේ ක්‍රියාවලිය ඒකාබද්ධ කරලා සම්බන්ධීකරණය කිරීම අත්‍යවශ්‍යය කාරනයක්.මේ සඳහා බද්ධ කිරීම් සඳහා අවයව යොමු කෙරෙන ජාතික සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ඇති කිරීම දැන් හෝ කළ යුතුයි...

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වකුගඩු බද්ධයන්ට ලක්වූ දරුවන් අතරින් පස් දෙනකු පමණ විශ්වවිද්‍යාල අධ්‍යාපන වරම් ලබාදී තිබේ.මෙම වසරේදී ඒ එක් දරුවෙකු ඉංජීනේරු පිඨයට එක්ව සිටින බව මහචාර්ය ළමාවංශ මහතා පවසයි.වකුගඩු බද්ධයන්ට ලක්වූ දරුවන් මෙදින නැටුම්,ගැයුම් ඇතුළු විවිධ කුසලතාවන් ඉදිරිපත් කළේ ඔවුන්ගේ දෙමව්පියන්ගේ පමණක් නොව වෛද්‍යවරුන්ගේද නෙතට කදුලක් එක් කරමිනි.පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න,විශේෂඥ වෛද්‍යරුන් වන ඔස්වල්ඩ් ප්‍රනාන්දු,තිලක් අබේසේකර,එම්.එල්.එස් බෙලිගස්වත්ත,අර්ජුන අළුවිහාරේ,වසන්ති ප්‍රින්ටෝ,කපිල ගුණවර්ධන,චන්න රත්නතුංග,ගාමීණී බුත්පිටිය,ෂෙනාල් තල්ගහගොඩ,බන්දුල සමරසිංහ යන මහත්වරු අතුළු රෝහල් කාර්ය මණ්ඩලය බොහෝ පිරිසක් මෙම ජයග්‍රහණය පසු පස සිටිති.

අසේල කුරුළුවංශ

නව අදහස දක්වන්න