හවුල් අවුල් කරගනිමු නිරවුල් | දිනමිණ

හවුල් අවුල් කරගනිමු නිරවුල්

යම් යම් ගැටලු හා බාධා තිබුණ ද මේ ජාතික ආණ්ඩුව රැක ගැනීම අප සියලු දෙනාගේම වගකීමක් මෙන්ම යුතුකමක්ද වෙනවා. මන්ද හවුල් දේශපාලන අවුල් හවුලේ සියල්ලන්ගේම ඛේදවාචකය සටහන් කරන බව අපට ලංකාවේ දේශපාලන ඉතිහාසය විසින් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා කියාදී ඇති නිසයි.

පළාත් පාලන මැතිවරණයෙන් පසු ගෙවී ගිය දෙසතියක පමණ කාලය ගත වුණේ “හවුලේ කැඳත් එපා” කියන පරණ කතාව යළි යළිත් තහවුරු කරමින් වුණත් ආණ්ඩුව කැඳයි - රැවුලයි දෙකම බේර ගන්නත් සමත් වුණා. මේ සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මහත් පරිශ්‍රමයක් දැරූ ආකාරය අපි දැක්කා. ඒ වගේම යහපාලන බලවේග, විශේෂයෙන් පුරවැසි බලය ඇතුළු සිවිල් සමාජ කණ්ඩායම් ද යහපාලන ආණ්ඩුවේ අඛණ්ඩභාවය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටි ආකාරයක් අප දැක්කා.

අවස්ථාවාදී දේශපාලන කුමන්ත්‍රණ හමුවේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මේ අසීරු තත්ත්වයට පත් වුණේ ද්විපක්ෂ ක්‍රමයක් ඇති ලෝකයේ කිසිදු රටක් අත්හදා නොබැලූ “ජාතික ආණ්ඩු” ක්‍රමවේදයක් ලංකාව තුළ අත්හදා බලන්න සිදු වුණ නිසයි. මේ ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් වගකීමක් මෙන්ම වගවීමක් ද ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට තිබෙන නිසා ඔවුන් දෙදෙනා විසින් තත්ත්වය නිසි පරිදි කළමනාකරණය කර ගත් බවයි අපි පැහැදිලිව දැක්කේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් වගවීමක් නොතිබුණා නම් ඇතැම් විට ජනාධිපතිවරයාව ආණ්ඩුව තුළ සිටින රාජපක්ෂ රූකඩ කල්ලියේ පහසු ගොදුරක් වීමේ අනතුරක් තිබුණා. මේ තත්ත්වය තුළ ජාතික ආණ්ඩුව මුහුණ දෙමින් සිටින සැබෑ තත්ත්වය ඇමැති රාජිත සේනාරත්න පසුගිය කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී මනාව කැටි කොට තිබුණා. එහිදී ඇමැතිවරයා කීවේ “ආණ්ඩුව ඇතුළේ සිට ආණ්ඩුවට පහර ගසන මෙවැනි ආණ්ඩුවක් තමන්ගේ දේශපාලන ඉතිහාසයේ කෙදිනකවත් දැක නැති බවයි. ඇමැති රාජිත සේනාරත්නගේ මේ ප්‍රකාශය ආණ්ඩුව තුළ පමණක් නොවෙයි පොදු සමාජය තුළත් පොදු විවේචනයට ලක්වන කතාවක් බවට පත්ව තිබෙනවා.

හවුල් දේශපාලනයේ යටගියාව

ජාතික ආණ්ඩුව තුළ ඇති වූ කෘත්‍රීම අර්බුදය සමග ජනතාව අතර “හවුල් ආණ්ඩු දේශපාලනය” ගැන දැනුවත් වීමේ උනන්දුවක් ඇති වෙලා තිබෙනවා. ඒ නිසා ගෝලීය දේශපාලන තුළ නොව ලංකාවේ හවුල් ආණ්ඩු දේශපාලනය සහ එහි ප්‍රවණතා ගැන අප කෙටි විමසා බැලීමක් කළ යුතුයි.

ලංකාවේ දේශපාලන තුළ හවුල් ආණ්ඩු / සභාග ආණ්ඩු පිහිටුවීම සඳහා ආරම්භක උත්සාහය ගන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. ඒ 1947 සිට 1956 දක්වා අඛණ්ව රාජ්‍ය බලය අල්ලා ගෙන සිටි එක්සත් ජාතික පක්ෂය තනිව පරාජයට පත් කිරීමට (1951දී ආරම්භ කළ) බණ්ඩාරනායක මහතා නායකත්වය දැරූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තනිව කළනොහැකි බව එහි නිර්මාතෘවරුන් මනාව දැන සිටි නිසයි.

ඒ අනුව 1956 මහ මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් වුණේ විප්ලවකාරි සමසමාජ පක්ෂය සහ භාෂා පෙරමුණ හා එක්ව පිහිටුවා ගත් “මහජන එක්සත් පෙරමුණ” යටතේයි. මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ මහජන එක්සත් පෙරමුණ ආචාර්ය එන්.එම්. පෙරේරා මහතා නායකත්වය දුන් ලංකා සම සමාජ පක්ෂය සමග නිතරග ගිවිසුමකට එළඹීමයි. මේ තත්ත්වය තුළ 1956 අප්‍රේල් 5,7,10 යන දිනවල පැවැති මහ මැතිවරණය එජාපය හා මහජන එක්සත් පෙරමුණ, එසේ නැතිනම් සර් ජොන් කොතලාවල සහ බණ්ඩාරනායක මහතා අතර ද්වන්ධ සටනක් බවට පත් වුණා.

සන්ධනාගත වීමේ වාසියට මෙම මැතිවරණයේදී මහජන එක්සත් පෙරමුණ ඉතාම පහසුවෙන් හිමිකම් කීවා. ඒ එතෙක් රාජ්‍ය බලය දරමින් සිටි එක්සත් ජාතික පක්ෂය මුළු ඡන්ද 7,38, 551ක් ලබා ගත්තත් සිවුවැනි තැනට (ආසන 8යි) ඇද දැමීමට ආසන 65 ක් දිනාගත් බණ්ඩාරනායක මහතාගේ දේශපාලන හවුලට හැකිවීම සමගයි. මෙම මැතිවරණ ප්‍රතිඵල වල ඇති විශේෂත්වය වන්නේ එජාපය ඡන්ද ලක්ෂ 7,38,551ක් ලබා ගෙන ආසන 08කට පමණක් හිමිකම් කියද්දී ඡන්ද 10,46,362ක් ලබා ගත් ශ්‍රීලනිපය ආසන 51ක් ද, ඡන්ද 2,74,204ක් ලබාගත් සම සමාජ පක්ෂය ආසන 14ක් ද, ඡන්ද 1,42,036ක් ලබාගත් පෙඩරල් පක්ෂය ආසන 10ක් දිනා ගැනීමයි.

ලංකාවේ මුල්ම දේශපාලන හවුල ආරම්භයේ සිටම අර්බුදවලින් ගහන එකක් බවට පත්වූ බව ප්‍රකට කරුණක්. එහි අවසානය ඉතාම ඛේදනීය ආකාරයෙන් නිමාවට පත්වුණේ ශ්‍රීලනිප නිර්මාතෘ අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ආණ්ඩුව තුළම සිටි දක්ෂිණාංශිකයින්ගේ පහසු ගොදුරක් බවට පත්වීම සමගයි. එනිසා ලංකා දේශපාලනයේ සමාරම්භක හවුල අවුලක් බවට පත් වනු අපට හැකිය හැකි වුණා.

1960 ජූලි 20 වැනිදා පැවැති මහ මැතිවරණයට ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලංකා සම සමාජ පක්ෂය හා ශ්‍රී ලංකා කොමියුනිට්ස් පක්ෂය සමග නිතරග ගිවිසුමක් සහිතව ඉදිරිපත් වුණා. එහිදී ඡන්ද 10,22,154ක් ලබාගත් ශ්‍රීලනිපය ආසන 75ක් ජයග්‍රහණය කරන විට ඡන්ද 11,43, 290කට හිමිකම් කී එජාපයට හිමිවුණේ ආසන 30ක් පමණයි. එනිසා ඉතාම පහසුවෙන් ආණ්ඩුව පිහිටුවීමට ශ්‍රීලනිප නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට හැකියාව ලැබුණා. ආසන 75ක අති බහුතරයක් ලබා ගෙන ආණ්ඩුව පිහිටු වුවත් ශ්‍රීලනිප ආණ්ඩුව 1964දී අනපේක්ෂිත ලෙස නිල කාලය අවසන් වීමට පෙර විසුරුවා හැරීමට සිදු වුණේ 1964දී රාජාසන කතාව පරාජයට පත්වීම සමගයි. ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පිරිසක් එජාපය සමග එක්ව ආණ්ඩුවේ රජාසන කතාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීම මෙම තත්ත්වයට හේතු වුණා.

ලංකාවේ සභාග එසේ නැතහොත් හවුල් දේශපාලනයේ තවත් සුවිශේෂ අවස්ථාවක් වන්නේ 1965 මාර්තු 22 වැනි දින පැවැති මහ මැතිවරණයයි. මෙම මැතිවරණය සඳහා ශ්‍රීලනිප සුපුරුදු පරිදි සම සමාජ පක්ෂය හා කොමියුනිට්ස් පක්ෂය සමග නිතරග ගිවිසුමකට බැඳි සිටියා. ඒ අතර එක්සත් ජාතික පක්ෂය තම ඉතිහාසයේ ප්‍රථම මැතිවරණ හවුල ද මෙම මැතිවරණයේදී නිර්මාණය කරගත්තා. ඒ ශ්‍රී ලංකා නිදහස් සමාජවාදී පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ සමග නිතරග ගිවිසුමකට එළඹීම සමගයි. මෙම මැතිවරණයෙන් ආසන 66ක් දිනා ගනිමින් එජාපය ජයග්‍රහණය කළ අතර එජාපය සමග නිතරග ගිවිසුමට බැඳී සිටි පක්ෂ ත්‍රිත්වය ද ආසන 7කට හිමිකම් කියා තිබුණා.

මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළ ඩඩ්ලි සේනානායක මහතා ආසන 14කට හිමිකම් කී පෙඩරල් පක්ෂය සමග එක්ව ආණ්ඩුවක් පිහිටුවීමට පියවර ගත්තා. දේශපාලන විචාරකයින්ට අනුව ලංකාවේ ප්‍රථම “ජාතික ආණ්ඩුව” වන්නේ ඩඞ්ලි සේනානායක මහතාගේ 1965 ආණ්ඩුවයි. ඩඩ්ලිගේ ජාතික ආණ්ඩුව සම්පූර්ණ කාලය ගත කළේ දේශපාලන කලබගෑනිවලින් තොර වුවත් ආණ්ඩුවේ අවසාන කාලය වන විට එජාපය සමග පෙඩරල් පක්ෂය සහ ජාතික විමුක්ති පෙරමුණේ සම්බන්ධතාව ගිහිලී ගොස් තිබුණේ හවුල් දේශපාලනයේ අවුල යළි ප්‍රකට කරමිනුයි.

ඓතිහාසික හවුල සමග පෙරමුණ

ලංකාවේ අතිෂයින් තීරණාත්මක හා වර්ණවත්ව හවුල් ආණ්ඩුව බිහි වුණේ 1970 මැයි 27 වැනිදා පැවැති හත්වැනි පාර්ලිමේන්තු මැතිවරණයෙනුයි. මෙම මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම සමාජ පක්ෂය සහ ලංකා කොමියුනිස්ට් පක්ෂය සමග එක්ව “සමග පෙරමුණ” ගොඩනගා ගෙන සිටි නමුත් තනි පක්ෂයක් වශයෙන් නොව පක්ෂ තුනක් ලෙස නිතරග සම්මුතියෙන් තරග කළේය.

සමගි පෙරමුණේ සමගියේ බලය මෙම මැතිවරණ ප්‍රතිඵලවලින් මනාව ප්‍රදර්ශනය වුණා. ඡන්ද 18,12,849ක් ලබා ගත් ශ්‍රීලනිපය ආසන 90ක් දිනාගත්තේ ඡන්ද 18,76,956ක් ලබාගත් එජාපයට ආසන 17කට පල්ලම් බැස්සවීම මගිනුයි. ඡන්ද 433,224ක් ලබා ගත් ලංකා සම සමාජ පක්ෂ ආසන 19ක් දිනා ගනිද්දී ඡන්ද 169,229ක් ලබාගත් කොමියුනිස්ට් පක්ෂය ආසන 6ක් දිනා ගත්තා. මේ අනුව සමග පෙරමුණට ප්‍රථම ජාතික රාජ්‍ය සභාව තුළ මුළු ආසන සංඛ්‍යාව වන ආසන 150න් 115ක අති බහුතරකට හිමිකම් කීමට අවස්ථාව ලැබුණා. සමගි පෙරමුණු ආණ්ඩුවේ අමාත්‍යධූර භාර ගැනීමට හවුල්කාර පක්ෂ දෙක කැමැති වීම ද මෙහි තවත් සුවිශේෂත්වයක්. ඒ අනුව ආචාර්ය එන්.එම්.පෙරේරා මුදල්, ටී.බී. සුබසිංහ කර්මාන්ත හා විද්‍යා කටයුතු, ලෙස්ලි ගුණවර්ධන ප්‍රවාහන, පීටර් කෙනමන් නිවාස හා ගොඩනැගිලි, ඇමැති පදවි භාර ගත්තා.

ආරම්භයේ සිටම සමගි පෙරමුණු ආණ්ඩුව තුළ වමාංශික පක්ෂ ශ්‍රීලනිපයේ දක්ෂිණාංශික කල්ලිය (පීලීක්ස්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා නායකත්වය දුන් ) ගැටුම් ඇතිකර ගත්තා. අවසානයේ හවුල අවුල් බව මනාව පැහැදිලි කරමින් 1975 දී ලංකා සම සමාජ පක්ෂයත්, 1977 කොමියුනිස්ට් පක්ෂයත් සමගි පෙරමුණු ආණ්ඩුවෙන් ඉවත්ව ගියා.

හවුල් දේශපාලනයේ අවුල මනාව පැහැදිලි කරමින් 1977 ජූලි 21 වැනිදා පැවැති අට වැනි පාර්ලිමේන්තු මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ වාමාංශික පක්ෂ අන්ත පරාජයක් ලැබුවා. මෙම මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රී ආසන 140ක් දිනා ගනිද්දී ශ්‍රීලනිපයට දිනාගත හැකි වුණේ ආසන 8ක් පමණයි. ලංකා සම සමාජ පක්ෂය හා කොමියුනිස්ට් පක්ෂයට එකඳු මන්ත්‍රී ධූරයක් හෝ දිනා ගැනීමට හැකි වුණේ නැහැ. පාර්ලිමේන්තුවේ පක්ෂ නායක පදවිය ආසන 18ක් දිනාගෙන දෙවැනි තැනට පත්ව සිටි ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණට හිමි වුණා.

ලංකාවේ හවුල් දේශපාලනයේ අවුල නොව ඛේදවාචකය 1977 මහ මැතිවරණයේදී ශ්‍රීලනිපය, සම සමාජ පක්ෂය හා කොමියුනිස්ට් පක්ෂය විසින් අත්කර ගත් අන්ත පරාජය මගින් මනාව පැහැදිලි වෙන බව දේශපාලන විචාරකයින් කියනවා. බලය අල්ලා ගැනීමේ පටු වුවමනාව වෙනුවෙන් ප්‍රතිපත්ති විරහිතව බිහි වන බොහෝ දේශපාලන හවුල් පමණක් නොව ආණ්ඩු පවා ඉතාම කෙටි කාලයකින් අර්බුදයකට යන බවත් ඒ සඳහා ප්‍රධාන හේතුව වන්නේ මෙම හවුල් ආණ්ඩු තුළ “වගවීමක් ” දැකිය නොහැකිවීම බවත් ඔවුන් ඉතාම පැහැදලිව සටහන් කරනවා.

විධායක ජනාධිපති ක්‍රමයෙන් පසු

මුල් යුගයේ ක්‍රියාත්මක වූ කේවල මන්ත්‍රී (කොට්ඨාස ක්‍රමය) ක්‍රමය හා අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩල ක්‍රමය තුළ හවුල් දේශපාලනයට උත්තේජනයක් සේම හොඳ අවස්ථාවකුත් නිර්මාණය කළා. ඒ නිසා මෙම යුගයේ හවුල් ආණ්ඩු බිහි වුණේ “නිතරග ගිවිසුම්” මගිනුයි. මේ නිතරග ගිවිසුම්වලට වාසිය අදාළ පාර්ශ්ව ඉතාම පහසුවෙන් අත්පත් කර ගත්තා. 1956 සිට පැවැති සෑම මැතිවරණයකදීම මුළු රටෙන්ම වැඩි ඡන්ද ප්‍රමාණයක් තනි පක්ෂයක් ලෙස ලබාගත් එජාපයට 1965, 60, 70 බලය අහිමි වුණේ ශ්‍රීලනිපය නිතර බැඳ සිටි මේ නිතරග ගිවිසුම් නිසයි. වාමාංශික පක්ෂ ද පාර්ලිමේන්තුව තුළ අධි නියෝජනයක් ලබාගත්තේ මේ නිතරග ගිවිසුම් නිසයි.

එහෙත් 1978 දී ජේ.ආර්.ජයවර්ධන මහතා විසින් හඳුන්වා දුන් විධායක ජනාධිපති ක්‍රමය මත පදනම් වූ නව ආණ්ඩු ක්‍රමය සහ සමානුපාතික මැතිවරණ ක්‍රමය තුළ “හවුල් දේශපාලනය” පූර්ණ වෙනසකට ලක් වුණා. විශේෂයෙන්ම සමානුපාතික ක්‍රමය තුළ නිතරග ගිවිසුම් ඵල රහිත වුණා.

1977 මහ මැතිවරණයෙන් 6/5ක දැවැන්ත බලයක් එජාපය විසින් දිනා ගැනීමත්, අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩල විධායක ක්‍රමය විධායක ජනාධිපති වරයා කේන්ද්‍රීයව සිදුවීමත් නිසා 1994 දක්වා ආණ්ඩු වෙනසකින් තොරව අඛණ්ඩව එජාප පාලනයක් ගෙන යාමට හැකි වුණා.

1994 අගෝස්තු 16 වැනිදා පැවැති 10 වැනි පාර්ලිමේන්තු මැතිවරණය ලංකාවේ හවුල් ආණ්ඩු දේශපාලනයේ නව ප්‍රවණතාවක් සටහන් කරනවා. එජාපයේ 17 වසරක පාලනය නිමා කිරීම සඳහා මෙම මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුළුල් දේශපාලන පෙරමුණක් නිර්මාණය කළා. ඒ සුපුරුදු පරිදි ලංකා සම සමාජ, කොමියුනිස්ට් ඇතුළු වාමාංශික පක්ෂ ද ඇතුළත් වූ “පොදුජන එක්සත් පෙරමුණ”යි. මෙම මැතිවරණයේදී පොදුජන එක්සත් පෙරමුණ 225ක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීධූර සංඛ්‍යාවෙන් 105ක් දිනා ගනිද්දි එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රීධූර 94ක් ලබා ගත්තා. තෙවැනි තැන දිනාගත් යාපනයේ ස්වාධීන කණ්ඩායම මන්ත්‍රීධූර 9ක් ද ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය මන්ත්‍රීධූර 07ක් ද දිනා ගත්තා.

මෙම මැතිවරණයෙන් ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය වන බහුතරය වන ආසන 113ක බලය ජයග්‍රාහී පොදුජන එක්සත් පෙරමුණට හිමි නොවුණ නිසා එය ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රහයේ සහාය ද ඇතිව ආණ්ඩුව පිහිටුවීමට පියවර ගත්තා. පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුවක් සහ එජාපයේ විධායක ජනාධිපතිවරයෙක් යටතේ 1995 වසරේ පැවැති ජනාධිපතිවරණයෙන් පොදුජන එක්සත් පෙරමුණේ නායිකාව වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය ජයග්‍රහණය කළේ ජනතා විමුක්ති පෙරමුණ සමග නිතරග ගිවිසුමකට (ජවිපෙ අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකොට) එක්වීම සමගයි.

ජනපතිවරණ ජයග්‍රහණයෙන් පසු ලංකාවේ හවුල් දේශපාලනයේ නව ප්‍රවණතාවක් ආරම්භ වුණා. ඒ විධායක ජනාධිපතිධූරයේ බලයට මගින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක්කර ගැනීමේ ක්‍රමයයි. එහි සමාරම්භක පියවර තබමින් ජනාධිපතිනිය සුසිල් මුණසිංහ, විජේපාල මෙන්ඩිස් ඇතුළු එක්සත් ජාතික පක්ෂයෙන් ප්‍රබලයින් විශාල පිරිසක් ආණ්ඩුවට එක් කර ගත්තා. ඒ අනුව මන්ත්‍රීධූර 112ක සුළුතර ආණ්ඩුව ඉතාම කෙටි කාලයකින් අති බහුතර ආණ්ඩුවක් බවට පත් කරගැනීමට විධායක ජනාධිපති ක්‍රමයේ අනුහස නිසා ඉතාම පහසු අවස්ථාවක් නිර්මාණය වුණා. මේ තත්ත්වය තුළ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂය දැවැන්ත අර්බුදයකට යොමු කිරීම සිදුවත්, ප්‍රජාතන්ත්‍රවාදයේ, ජනතා පරමාධිපත්‍යයේ දැවැන්ත විකෘතියක් සිදු වුණත් එයින් මිදීමට 2015 දක්වා කිසිදු ජනාධිපතිවරයෙකු කැමැති වුණේ නැහැ.

සැලුන් දොර ඇර තැබීම

චන්ද්‍රිකා බණ්ඩාරනායක යුගයේදී ආරම්භ වූ මෙම විකෘතිය ප්‍රකෘතියක් තරමට වර්ධනය වුණේ 2005 දී බලයට පත් මහින්ද රාජපක්ෂ මහතාගේ රජය තුළයි. 2004 අප්‍රේල් 02 පැවැති මහ මැතිවරණයෙන් මන්ත්‍රීධූර 105ක සංඛ්‍යාවකට හිමිකම් කී එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉතාම පහසුවෙන් ආණ්ඩුවක් පිහිටුවීමට විධායක ජනාධිපති බලතල සහ අනුහස යොදා ගත්තා. ඊට පසුව යළිත් එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂයෙන් මන්ත්‍රීවරුන් විශාල සංඛ්‍යාවක් ආණ්ඩුවට එක්කර ගත්තා. මෙහි කූඨප්‍රාත්තිය 2010 මහ මැතිවරණයේදී සිදු වුණේ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා එජාපය ඇතුළු විපක්ෂයෙන් මන්ත්‍රීවරුන් විශාල සංඛ්‍යාවක් යළි ආණ්ඩුවට එක්කර ගැනීම සමගයි.

අමාත්‍යධූර ඇතුළු විවිධ වරදාන හා ආරක්ෂාව සපයමින් සිදු වුණු මෙම විකෘතිය අවසානයේ ලංකාවේ විපක්ෂ දේශපාලන අතුගා දැමීම දක්වා මහින්ද රාජපක්ෂ යුගයේදී ගමන් කළා. මෙය කොතරම් දුර ගියාද කිවහොත් “ආණ්ඩුව සැලුන් එකක් වාගේ. දොර නිතරම ඇරලා තියෙන්නේ. ඕනෑම කෙනෙකුට එන්න යන්න පුළුවන් ” ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිතරම ප්‍රකාශ කළා.

2015 ජනවාරි වෙනස මගින් එජාපය සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිමාවට පත් කළ ෆැසිස්ට්වාදී ක්‍රම අතර මේ සැලුන් දොරේ කතාවත් ඉදිරියෙන්ම තිබෙනවා. පොදු විපක්ෂයෙන් තරග කළ ජයග්‍රාහකයාත් මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළ පක්ෂ නායකයාත් අවස්ථාවාදී නොවී, බලලෝභී නොවී පුළුල් ජාතික අරමුණු ජයග්‍රහණය කිරීම සඳහා එජාපය හා ශ්‍රීලනිපය එක්ව ලංකාවේ ප්‍රථම ප්‍රතිපත්තිමය බැඳීම් මත බිහි කළ ජාතික ආණ්ඩුව එහි අරමුණු සර්ථක වන තෙක් අඛණ්ඩව, ශක්තිමත්ව ඉදිරියට යා යුතු බව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට, යහපාලනයට හා ජාතික, ආගමික සංහිඳියාවට කැමැති අති බහුතරයක් ජනතාව යළි යළි අවධාරණය කර ඇත්තේ ඒ නිසයි.

ඒ නිසා යම් යම් ගැටලු හා බාධා තිබුණ ද මේ ජාතික ආණ්ඩුව රැක ගැනීම අප සියලු දෙනාගේම වගකීමක් මෙන්ම යුතුකමක්ද වෙනවා. මන්ද හවුල් දේශපාලන අවුල් හවුලේ සියල්ලන්ගේම ඛේදවාචකය සටහන් කරන බව අපට ලංකාවේ දේශපාලන ඉතිහාසය විසින් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා කියාදී ඇති නිසයි.

සටහන භාතිය බරුකන්ද 


නව අදහස දක්වන්න

Or log in with...