පැරැන්නන්ගේ සිරිපා ගමන සිහිපත් කෙරෙන අටාල නඩේ සිරිපා කරුණාව මෙවරත් | දිනමිණ

පැරැන්නන්ගේ සිරිපා ගමන සිහිපත් කෙරෙන අටාල නඩේ සිරිපා කරුණාව මෙවරත්

එදා ගමන් පහසුකම් නොතිබූ යුගයේ අපේ මුතුන් මිත්තන්ගේ සිරිපා වන්දනාව සිහිපත් කරමින් හා පුරාණ සිරිත් විරිත්, හෙළ චාරිත්‍ර අනාගත පරපුරට විද්‍යාමාන කිරීමේ අරමුණින් ප්‍රවීණ ටෙලි නාට්‍ය ශිල්පී හා වේදිකා නාට්‍ය ශිල්පී කෑගල්ල අටාල පදිංචි පියදාස හේමචන්ද්‍ර මහතා ඇතුළු නඩයක් මේ 26 වන දින සිට පා ගමනින් සිරිපා කරුණාවේ යෙදෙති. හතර වන වතාවට මෙය පැවැත්වෙයි. 26 වැනි දින අලුයම 5.30ට පමණ උඩුගම ශ්‍රී විසුද්ධාරාම විහාරස්ථායේ සිදු කෙරෙන ආගමික වතාවත්වලින් අනතුරුව නඩය ශ්‍රී පාදය බලා පිටත් වෙන අතර කොටියාකුඹුර, අඟුරුවැල්ල, රුවන්වැල්ල, කරුවනැල්ල, යටියන්තොට හරහා ගොස් එදින රාත්‍රි ඉංගිරියාවත්ත විහාරස්ථානයේ නවතී. පසුදින (27) උදෑසන නඩය එම විහාරස්ථානයේ සිට කිතුල්ගල, කලුගල හංදිය හරහා ලක්ෂපාන වෙත ගමන් කර කිරිවන්එළිය විහාරස්ථානයේ ලැඟුම් ගනිති. 28 වන දින උදෑසන එම විහාරස්ථානයෙන් පිටත්ව මස්කෙළිය හරහා නල්ලතන්නිය දක්වා ගමන් කරති. එදින රාත්‍රී හෝ පසුදින උදෑසන නඩය ශ්‍රී පා කරුණාවේ යෙදෙති. කරුණාවෙන් අනතුරුව මාර්තු මස 1 වන දින ගමබිම් බලා යළි පිටත් වෙති. අටාල ශ්‍රී විසුද්ධාරාම විහාරස්ථාන සීමාවට පැමිණ පිරිස විහාරස්ථාන සීමාවේ දී යළි හෙළ සිරිත් අනුව විහාරස්ථානයට පැමිණෙති.

මේ ගමනේ දී පැරණි මුතුන් මිත්තන් ශ්‍රී පාද වන්දනාවේ දි ඇද ගෙනගිය ඇදුම්වලට සමාන ඇදුම් පැළදුම් ඇදගෙන යනු ලබන අතර තුන් සරණ කවි ගායනා කරමින්, ආහාර පාන ලබා ගැනීම සඳහා කොළපත හා පොල් කටු රැගෙන යන බව ද එම කටයුත්ත සංවිධාන කරන හේමචන්ද්‍ර පියදාස මහතා පවසයි. මෙවර කණ්ඩායම සඳහා 15 දෙනකුගෙන් පමණ යුත් කණ්ඩායමක් සිටින අතර සියලු දෙනා ගමනට සතියකට පමණ පෙර සිට මස් මාංශවලින් වැළකී පේවී සිටින බව ද ඒ මහතා පවසයි. 

සබරගමුව සමූහ හා
බුලත්කොහුපිටිය සමූහ


නව අදහස දක්වන්න

Or log in with...