අනුනට අතපාන තරමට අසරණ වුණා | දිනමිණ

අනුනට අතපාන තරමට අසරණ වුණා

නොසිතූ දුක් කරදර දිවි ගමනට ආවා 

හදවත් රෝගයකින් ස්වාමියා මිය ගිය, හදවත් රෝගයක් නිසා සැත්කමකට ලක්වී සිටින සමෘද්ධි සහනාධාරය හෝ වෙනත් කිසිම ආධාරයක් නොමැති කාන්තාවකට සහ දරු දෙදෙනෙකුට ජීවත් වීම සදහා ඇති හැකි අයගේ උදව් උපකාර අවශ්‍ය වී ඇත. අම්පාර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ දඹේතලාව ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ 06 බී/29 ඒ ස්ථානයේ පදිංචිව සිටි එච්.ඩබ්ලිව්.ජී. සුමිත් (41) වාහන රෙපයාර් කරමින් කුඩා ගරාජයක් පවත්වාගෙන ගිය මෝටර් කාර්මිකයෙකි. කිසිවකුට අත නොපා තම රැකියාවෙන් ලැබුණ ආදායමෙන් ජීවත් වු ඔහු 2016 ඔක්තෝබර් මාසයේ දී මෙලොවින් සමුගත්තේ ය. එදා සිට එම පවුල් බර කරට ගත්තේ ඔහුගේ බිරිය වන ටී.එම්. චන්ද්‍රලතා (38) විසිනි. ඔවුන්ට දරු දෙදෙනෙක් වෙති. එච්.ඩබ්ලිව්.ජී. සදරු නයනජිත් (08) වේළුසුමන විද්‍යාලයේ ඉගනුම ලබන අතර නිමාලි ලේෂානි දියණියගේ වසය අවුරුදු තුනහමාරකි.සැමියා මිය යන විට ඔවුහු මේ ස්ථානයේ කටුමැටි ගැසූ නිවසක ජීවත් වුහ. පියා නැති දරුපවුල ගැන අනුකම්පා කර ඉගිනියාගල පොලීසියේ නිල‍ධාරීන් ඔවුන්ට වැසිකිළියක් ඉදිකර දෙනු ලැබීය. ඔවුන් පදිංචිව සිටි කටුමැටි ගැසූ නිවස වෙනුවට කාමර දෙකක්, සාලයක් සහ කුස්සියක් සහිත ස්ථිර නිවාසයක් ඉදිකර දීමට ගමේ සමාජ ක්‍රියාකාරීහු පිරිසක් පියවර ගත්හ.

ගඩොලින් බැද ස්ථිරව ඉදිකිරීමට සූදානම්ව වහල මට්ටම දක්වා ඉදිකර ඇතත් ඉන් පසු ඉදිකිරීම් කටයුතු නතර වී ඇත. මිය යෑමට පෙර ගෘහ මූලිකයා වාහන වැඩ කළ ගරාජයේ තහඩු ගසා තාවකාලිකව කාමරයක් සකස් කර එම දරුපවුල ජීවත් විය. දැනට පවුලේ බර කරට ගෙන සිටින ටී.එම්. චන්ද්‍රලතා (38)

මෙසේ කීය. මාස කිහිපයකට පෙර මටත් හදවත් සැත්කමක් මහනුවර රෝහලේ දී සිදු කළා. එම හේතුව නිසා මගේ කුඩා දියණිය අනුරාධපුරයේ සිටින මගේ සහෝදරියකට ඇය රැකබලා ගැනීමට

භාර දීමට සිදු වුණා. මමත්, පුතාත් මේ අනාරක්ෂිත තාවකාලික ස්ථානයේ ජීවත් වෙනවා. අපේ අම්මා මාසයකට වරක් ලබා දෙන මුදලින් අපි ජීවත් වෙනවා. යම්කිසි ආධාරයක් හෝ සමෘද්ධි සහනාධාරයක් හෝ අප වෙත ලැබෙන්නේ නැහැ. දැනට අඩක් ඉදිකර තිබෙන නිවසේ වැඩ අවසන් කර ගැනීමට අපට ජීවත් වීමට අත හිත දීමටත් හැකි වෙතොත් එය ඉමහත් පිනක්.

පියසේන වතුදුර
දිගාමඩුල්ල සංචාරක


නව අදහස දක්වන්න

Or log in with...