මිග් ගනුදෙනුවට උදයංග සම්බන්ධයි | දිනමිණ

මිග් ගනුදෙනුවට උදයංග සම්බන්ධයි

2006 වර්ෂයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට යුක්රේනයෙහි යුක්රේන්මාෂි නමැති සමාගම වෙතින් මිග් ගුවන් යානා 04 ක් මිලදී ගැනීම හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතුව තිබූ මිග් ගුවන් යානා 04 ක් ඕවර්හෝල් කිරීමේදී මූල්‍ය අක්‍රමිකතාවයක් සිදුව ඇති බවට 2015.03.10 දින මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් විය. ඒ අනුව විමර්ශන කටයුතු ආරම්භ කර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත B 639/15 යටතේ කරුණු වාර්තාකොට ඇත.

මෙම විමර්ශනයේදී රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග යන අය මේ ගනුදෙනුව සඳහා මැදිහත්ව කටයුතු කර ඇති බවට විමර්ශනයේදී අනාවරණය විය. තවද ඔහු විසින් ශ්‍රී ලංකාවේ පවත්වාගෙන ගොස් ඇති බැංකු ගිණුම් වෙත විදේශ රටවල් වෙතින් සැක කටයුතු ලෙස විශාල වශයෙන් මුදල් බැරවී ඇති බවද විමර්ශනයේදී අනාවරණය වී ඇත. එම කරුණු අනුව ඔහු ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කිරීමට අවශ්‍ය විය.

ඒ අනුව උදයංග වීරතුංග යන අයට මෙම විමර්ශනයට අදාළව ගරු අධිකරණයේ 2016.07.15 වන දින පෙනි සිටින ලෙසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නොතීසි නිකුත් කරනු ලැබීය. මෙම නොතීසි ඔහුගේ සමීපතම ඥාතීන් වන වැඩිමහල් සහෝදරිය, බාල සහෝදරිය, බිරිඳගේ මව හා විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා ක්‍රියා කිරීමට කටයුතු කිරීමෙන් පසුවද ඔහු අධිකරණයේ පෙනී නොසිටින ලදී.

ශ්‍රී ලංකාවේ යුක්තිය පසිඳලීම සඳහා උදයංග වීරතුංග යන අය අවනත වීමක් සිදුනොවන බවට පෙනී ගිය හෙයින්, ගරු අධිකරණය විසින් කරුණු සැලකිල්ලට ගෙන 2016.10.20 දින අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තුවක් නිකුත් කරනු ලැබීය. තවද උදයංග වීරතුංග විසින් පවත්වාගෙන ගිය බැංකු ගිණුම් 16 ක ඉදිරි ගනුදෙනු අත්හිටුවීමට ගරු අධිකරණය විසින් නියෝග ලබාදෙනු ලැබීය. මෙම ගිණුම්වල අමෙරිකානු ඩොලර් මිලියන 1.7 ක පමණ ශේෂයක් විය.

මෙම අයට නිකුත් කළ වරෙන්තු ජාත්‍යන්තර ‍ෙපාලිසිය මඟින් ක්‍රියාත්මක කිරීමට කරන ලද ඉල්ලීමට අනුව ජාත්‍යන්තර පොලිස් මූලස්ථානය විසින් නිල් නිවේදනයක්ද, පසුව රතු නිවේදනයක්ද නිකුත් කර ඇත.

උදයංග වීරතුංග යන අයගේ තානාපති සේවය 2015.02.28 දිනෙන් අවසන් කර ඇති අතර, විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ඔහුට නිකුත් කර තිබූ D 3643585 දරන රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය භාරදීමක් හෝ අවලංගු කර ගැනීමක් සිදුනොකොට 2015.03.06 දින N 5400885 දරන සාමාන්‍ය ගමන් බලපත්‍රය ශ්‍රී ලංකාවේ ආගමන විගමන පාලක වෙතින් ලබාගෙන ඇත. මෙම ගමන් බලපත්‍රය භාවිතා කර ඔහු 2016.10.04 දින එක්සත් අරාබි එමිර් රාජ්‍යය වෙත ගොස් ඇති බවට කරුණු අනාවරණය විය.

2017.06.30 දින උදයංග වීරතුංග යන අයට නිකුත් කර ඇති N 5400885 හා D 3643585 දරන විදේශ ගමන් බලපත්‍රයන් පරිරෝධනය (Impound) කරන ලෙසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ශ්‍රී ලංකාවේ ආගමන විගමන පාලකවරයා වෙත නියෝගයක් නිකුත් කරනු ලැබීය. ඒ අනුව ඉහත ගමන් බලපත්‍රයන් පරිරෝධනය කර ඇති බවට ආගමන විගමන පාලක විසින් වාර්තා කර ඇත.

එසේ පරිරෝධනය කර ඇති D 3643585 දරන විදේශ ගමන් බලපත්‍රය උපයෝගිකොටගෙන උදයංග වීරතුංග 2018.02.04 දින ඩුබායි ගුවන් තොටුපළින් ඇමරිකා එක්සත් ජනපදය වෙත විදේශගතවීමට උත්සාහ කිරීමේදී ඔහු එරට බලධාරීන්ගේ භාරයට පත්ව ඇති බවට අබුඩාබි ජාත්‍යන්තර පොලිස් ඒකකය විසින් වාර්තා කර ඇත.

ඉහත කරුණු මත එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට උදයංග වීරතුංග යන අය ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් කටයුතු කරමින් සිටී. එලෙස පියවර ගනිමින් සිටියදී ඔහු විසින් විවිධ සමාජජාලා වෙබ් අඩවි මඟින් මාධ්‍ය නිවේදන නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ පොදු මහජනතාව තුළ ශ්‍රී ලංකාවේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් වැරදි ප්‍රතිරූපයක් ඇති කිරීමේ උත්සාහයක නිරතව සිටින බව නිරීක්ෂණය වේ.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මෙම විමර්ශනයට අදාළව ගරු අධිකරණයට පියවරෙන් පියවර කරුණු වාර්තා කොට ඇති අතර, උදයංග වීරතුංග යන අයට ඔහුට විරුද්ධව ඇති චෝදනා සම්බන්ධයෙන් ගරු අධිකරණය වෙත ඉදිරිපත් වී තම නිර්දෝෂිභාවය සඳහා කරුණු දැක්වීමේ අවස්ථාව තවදුරටත් පවති.

2018.02.20 දින උදයංග වීරතුංග යන අය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් දක්වා ඇත්තේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ විමර්ශන කණ්ඩායමක් පරීක්ෂණ කටයුතු සඳහා යුක්රේනයට ගිය අවස්ථාවේදී ඔහු ඉල්ලා සිටියද ඔහුගේ ප්‍රකාශයක් නිලධාරින් විසින් සටහන් නොකළ බවය.

නමුත් 2016.10.04 දින වන විට උදයංග වීරතුංග යන අය යුක්රේනයේ සිට එක්සත් අරාබි එමිර් රාජ්‍යය වෙත පිටව ගොස් එහි රැඳී සිටින බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත. ඒ අනුව විමර්ශන කණ්ඩායම යුක්රේනයෙහි විමර්ශන රාජකාරි නියැළෙන ලද අවස්ථාවේදී උදයංග වීරතුංග යුක්රේනයෙහි සිට නොමැති අතර, ඔහු විසින් කිසිදු විටක ප්‍රකාශයක් ලබාදීමට අවස්ථාවක් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් ඉල්ලා නොමැත.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ විමර්ශන කණ්ඩායම වෙත විමර්ශන රාජකාරි සඳහා විදේශගතවීමේදී සාමාන්‍ය රජයේ නිලධාරියකු රාජකාරි සඳහා විදේශගතවීමේදී සිදුකරනු ලබන ගෙවීම්වලට අමතර වශයෙන් වෙනත් කිසිදු මුදලක් ගෙවීම් කොට නොමැත. එසේ විමර්ශන කණ්ඩායම් වෙත සත්‍යයෙන් තොර චෝදනාවන් එල්ල කරමින් ඔහු ශ්‍රී ලංකාවේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට අවනතවීමක් හෝ විමර්ශනය සඳහා සහය දැක්වීමක් සිදුනොකර නීතියෙන් මඟහරිමින් සිටින බව නිරීක්ෂණය වේ.

උදයංග වීරතුංග ශ්‍රී ලංකාවේ පුරවැසියෙකි. ඔහු ශ්‍රී ලංකාවේ පවත්නා නීතියට යටත්ව ක්‍රියා කළ යුතුය. ඒ අනුව ශ්‍රී ලංකාවේ අධිකරණය මඟින් නිකුත් කර ඇති අධිකරණ නියෝගවලට අවනතව කටයුතු කළ යුතුව ඇත. ඔහුගේ නිර්දෝෂිභාවය පිළිබඳව සමාජජාලා වෙබ් අඩවි මඟින් ප්‍රකාශ කරනු ‍වෙනුවට නිර්දෝෂිභාවය ඔප්පු කිරීමට ශ්‍රී ලංකාවට පැමිණ අධිකරණයට ඉදිරිපත් වී ස්වකීය නිර්දෝෂිභාවය ඔප්පු කිරීමට උදයංග වීරතුංග යන අයට හැකියාවක් ඇති බවටද ප්‍රකාශ කරන අතර, ඒ සඳහා ඔහුට ඇති අවස්ථාව ශ්‍රී ලංකා පොලිසිය විසින් අවහිරකර නොමැති බවටද සඳහන් කරනු කැමැත්තෙමි.


නව අදහස දක්වන්න