ගිරාඹේ ආනන්ද අනුනාහිමියන්ගේ අභාවය ගැන ශෝකය දසතින් නැ‍ඟේ | දිනමිණ

ගිරාඹේ ආනන්ද අනුනාහිමියන්ගේ අභාවය ගැන ශෝකය දසතින් නැ‍ඟේ

සසුන් කිස හඳුනාගත් ගිරාඹේ මාහිමි නුතන භික්ෂු පරපුරට මහඟු ආදර්ශයක්

බුද්ධ ශ්‍රාවකයන් වූ භික්ෂූන් වහන්සේලා ඉටු කළ යුතු නියම මෙහෙවර කුමක්ද යන්න අවබෝධ කර ගැනීම භික්ෂු ජිවිතයක සාර්ථකත්වයේ පදනමයි. ලෞකිකත්වය ඉක්මවා ලෝකෝත්තර දිශාවට ගමන් කරන භික්ෂූන් වහන්සේගේ ප්‍රමුඛ කාර්යය තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව පිණිස කටයුතු කිරීම වන අතර තමා ඇතුළත් වන බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් කටයුතු කිරීම ද, තමන්ව පෝෂණය කරන පොදු සමාජය වෙනුවෙන් ගැලපෙන සේවයක් කිරීම ද වැදගත් අනෙක් කාර්යයන් ලෙස හඳුනාගත හැකිය.

මේ ත්‍රිවිධාකාර මෙහෙවර සමබර ලෙස ඉටු කරන ක්‍රමය හඳුනාගැනීම වත්මන් භික්ෂු පරපුරට ඇති ප්‍රධාන අභියෝගයකි. මේ කාර්යභාරයන් ඉටුකිරීමේදී මතුව ඇති අසමබරතාව නිසා වත්මන් භික්ෂු සමාජය තුළ විවිධ ගැටලු හා විකෘතිතා මතුව ඇති අයුරු නුතනයේ බහුලව දක්නට ඇත.

මෙවන් පසුබිමක් තුළ අපවත් වී වදාළ ගිරාඹේ අනු නාහිමියන්ගේ ජිවිත ගමන අපට වැදගත් මග වෙන්වීමක් කරයි. උන් වහන්සේ භික්ෂූන් වහන්සේට හිමි සසුන් කිස මැනවින් හඳුනාගෙන පෞද්ගලික ආධ්‍යාත්මික පාරිශුද්ධියත්, සසුනේ චිරස්ථිතියත්, සමාජ සේවයත් සමබරව ඉටු කරමින් නුතන භික්ෂු පරපුරට මහඟු ආදර්ශයක් සපයා ඇත.

උන් වහන්සේ 1949 අගෝස්තු 26 වෙනිදා පේරාදෙණිය සාරානන්ද පිරිවෙන් විහාරයේ දී සියඹලන්ගමුවේ ගුණරතන අනු නාහිමියන්ගේ ශිෂ්‍යයෙක් ලෙස පැවිදි බව ලබා 1968 ජූලි 10 වනදා උතුම් උපසම්පදා ශිලයට පත් වූහ. භික්ෂුත්වයේ ගෞරවය රැකෙන සිල්වත් බව මැනවින් ආරක්ෂා කරගත් උන් වහන්සේ තමන් යටතේ ගොඩනැගෙන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට ආදර්ශමත් පැවිදි ජිවිතයක් ගත කළහ. තමන් ලැබූ උපසම්පදා සීලය පිළිබඳ විශාල ගෞරවයකින් කටයුතු කළහ. උන් වහන්සේ පිළිබඳ ලියැවුණු කෙටි සටහනක දී ඒ පිළිබඳ නාහිමියෝ මෙසේ සඳහන් කර ඇත.

“විනය පිටකයේ පොත් කිහිපයකම සඳහන් වන පරිදි උපසම්පදාව කියන්නේ ඉතාමත්ම දුර්ලභ ගණයේ සීලයක්. භික්ෂු ජිවිතයේ ඉතා වැදගත්ම අවස්ථාව උපසම්පදා අධිශිලයට පත්වීමයි. මගේ දැනීමේ හැටියට උපසම්පදා අධිශිලයට පත් භික්ෂූන් වහන්සේ ත්‍රිවිධ රත්නයේ ප්‍රතිමුර්තියක් වශයෙන් හඳුන්වන්නට පුළුවන්.”

එක් අතකින් උන් වහන්සේ සිල්වත් බව ආරක්ෂා කර ගත්තේ ගුරු පූජාවක් ලෙසයි. තමන්ට ශාසනික දායාදය ලබාදුන් සියඹලන්ගමුවේ ගුණරතන අනු නාහිමියන් පිළිබද පැවති අසීමිත ගුරු ගෞරවය ගිරාඹේ අනු නාහිමියන්ගේ ශාසනික ජිවිතයේ සාරවත් බවේ ප්‍රධාන සාධකය විය. ගුරු හිමියන්ගෙන් ලද ආදර්ශය ඒ අයුරින්ම රැක ගනිමින් උන් වහන්සේගේ ගෞරවය ද ආරක්ෂා වන පරිදි සිය පැවිදි ජිවිතය සකස් කරගන්නට ගිරාඹේ අනු නාහිමියෝ උත්සුක වූහ. සිල්වත්කමටම උන් වහන්සේ එක් කරගත් තවත් ගුණයක් වූයේ අල්පේච්ඡතාවය යි. සුවිසල් වෙහෙර විහාර ගොඩ නැගුවත් ශිෂ්‍ය භික්ෂූන්ගේ සුව පහසුව සොයා බැලුවත් උන් වහන්සේටේ පෞද්ගලිකව තිබ්බේ ඉතා අඩු අවශ්‍යතා ප්‍රමාණයකි. උන් වහන්සේ වැඩ සිටින කුටිය තම ශිෂ්‍ය භික්ෂුන්ගේ කුටි වලටත් වඩා සරල වූවක් විය.

ශාසනයේ චිර පැවැත්මට අත්‍යවශ්‍යම සාධකය ලෙස උන් වහන්සේ හඳුනා ගත්තේ දැන උගත් විනය ගරුක නවක භික්ෂු පරපුරක් බිහිවීමයි. තම ජිවිතයේ වැඩි කාලයක් මෙන්ම තම ශක්තියේ වැඩිකොටසක් උන් වහන්සේ කැප කළේ එවැනි අනාගත භික්ෂු පරපුරක් බිහිකිරිමටයි. තම පෞද්ගලික අධ්‍යාපනය ද කැප කොට තරුණ වියේදී ම තම ගුරුදෙවයන්ට සහය වෙමින් පේරාදෙණිය සාරානන්ද පිරිවෙන තුළින් අනාගත ශාසනයට පිරිමහින ශිෂ්‍ය භික්ෂූන් සකස් කිරීමට උන්වහන්සේ කැප වූහ.

අනුරාධපුර ශ්‍රී සාරානන්ද පිරිවෙන ඊට අනුබද්ධ ශාඛා පිරිවෙන් ආයතන හරහා උන්වහන්සේ ලක් සසුනට බිහි කර ඇති ශිෂ්‍ය පිරිස 400 ඉක්මවයි. මේ තරම් ශිෂ්‍ය භික්ෂූන් ප්‍රමාණයකට ශාසනික දායාදය ලබා දුන් තවත් මහ තෙරුන් වහන්සේ නමක් ලංකාවේ වැඩ ඉන්නවාදැයි සැක සහිතය. විශේෂයෙන් ප්‍රාචීන අධ්‍යාපනයට ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා යොමු කරමින් විශාල පණ්ඩිත උපාධිධාරී පිරිසක් උන් වහන්සේ නිර්මාණය කළහ. අධ්‍යාපනයට පමණක් සිමා නොවී ශාසනික මෙහෙවරකට ශිෂ්‍යන් පුහුණු කළ උන් වහන්සේ දුෂ්කර පළාත් වල හා සමාජයේ පිඩාවට පත් වූ දුප්පත් ගම්මාන වල විහාරස්ථාන බිහි කර ඒවාට ශිෂ්‍ය භික්ෂූන් යොමු කළ සේක. තම ගුරුදේව උතුමන් වහන්සේලා ආරම්භ කල විහාරස්ථාන ආරක්ෂා කරමින් අලුත් විහාරස්ථාන බිහිකරමින් උන් වහන්සේ ලංකාවේ සසුන් කෙත් සරු කළහ. උන් වහන්සේ යටතේ මධ්‍යම පළාතේ, වයඹ පළාතේ හා උතුරු මැද පළාතේ ක්‍රියාත්මක වන විහාරස්ථාන ප්‍රමාණය 40 කි. අනුරාධපුර පූජනීය නගරයට ආලෝකයක් එක් කරමින් බුද්ධාලම්බන ප්‍රීතිය දියුණු වන අයුරින් ක්‍රියාත්මක වන ශ්‍රී සාරානන්ද පිරිවෙන් මහා විහාරය ඉන් ප්‍රධාන වේ.

මේ සියලු ආයතන වලට නායකත්වය සපයන්නට තරම් උන් වහන්සේ ශක්තිමත් පෞරුෂයකින් යුක්ත වූහ. උන් වහන්සේගේ ආධ්‍යාත්මික පෞරුෂයට සරිලන උත්තුංග දේහ ධාරී පෞරුෂයක් ද උන් වහන්සේ සතු විය. ආදර්ශයෙන් අන් අයව මෙහෙය වූවා සේම ඍජු උපදෙස් සපයන්නටත් උන් වහන්සේ දක්ෂ වූහ. ඉතා දුර දක්නා නුවණකින් හෙබි උන් වහන්සේ ආයතන වල ගැටලු ඇති වන්නට කලින්ම ඒවා හඳුනා ගෙන පිළියම් යෙදීමේ දක්ෂයෙක් විය. එම දක්ෂතාවය පිලිබඳ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා තුළ පවතින්නේ ගෞරවණිය පුදුම සහගත බවකි. උන් වහන්සේගේ මේ නායකත්ව ලක්ෂණ නිසාම ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පරිපාලනයට ආරාධනා ලැබුණු අතර එහි විවිධ තනතුරු දරමින් කල සේවයෙන් පසු එහි අනු නායක තනතුරක් දරමින් නිකායට ද ගෞරවනීය නායකත්වයක් ලබා දීමට උන් වහන්සේ ක්‍රියා කළහ.

පන්සලෙන් ගමට විය යුතු සේවය හඳුනාගත් උතුමෙක් ලෙස ගිරාඹේ අනු නාහිමියෝ අනුරාධපුර ශ්‍රී සාරානන්ද පිරිවෙන් විහාරස්ථානය මුල් කරගෙන ඊට සම්බන්ධ දානපතින්ගේ උපකාර ලබා ගෙන අසරණ සරණ සේවා රාශියක් ක්‍රියාත්මක කළහ. සෑම වසරකම තම ගුරුදේවයන් වහන්සේ අනුස්මරණය කරමින් දුෂ්කර පාසල් වලට ගොඩනැගිලි ඉදි කරදීම, පාසල් උපකරණ බෙදා දීම, මෙන්ම ආරෝග්‍ය ශාලා නඩත්තු කිරීම ද සිදු කළහ. දුෂ්කර පළාත් වල විහාරස්ථාන දියුණු කිරීමට ද මහත් ධෛර්යකින් සෑම වසරකම කටයුතු කළහ.

සැබෑ සමාජ සේවයකට කැප වන ලෙස දේශපාලන නායකයන්ටත් උපදෙස් දීමට උන් වහන්සේ පසුබට වූයේ නැත. සැබෑ දේශපාලකයා බෝධිසත්ව ගුණ වලින් සමන්විත විය යුතු බව විශ්වාස කල උන් වහන්සේ නිර්භීත ව ඒ පිලිබඳ ව ඍජුව දේශපාලකයන් සමග කතා කළහ. නිස්සරණාධ්‍යශයෙන්ම කටයුතු කළ නිසා ඍජු ව කතා කරන්නටත් අවශ්‍ය විට දොස් නගන්නටත් උන් වහන්සේට හැකි විය. තම උපදෙස් මග හරින ප්‍රබල දේශපාලකයින්ට තම විහාරස්ථානයට නොපැමිණෙන ලෙස නියෝග කිරීමට තරම් අභීත පෞරුෂයක් උන් වහන්සේට තිබුණි.

අනාගත භික්ෂු පරපුරටත්, ගිහි නායකයන්ට හා ගිහි සමාජයටත් මෙවැනි නායකත්වයක් ලබා දෙන්නට තරම් අභ්‍යන්තර ආධ්‍යාත්මික පෞරුෂයකින් හෙබි 2018 පෙබරවාරි 20 වෙනිදා අපවත් වී වදාළ ගිරාඹේ අනු නාහිමියන්ගේ සමබර පැවිදි ජිවිතයේ ආදර්ශය තව බොහෝ කලක් අනාගත භික්ෂු පරපුරට ආලෝකයක් සපයනු ඇත. උන් වහන්සේ පිරූ ආධ්‍යාත්මික ගුණ මහිමයෙන් නාහිමියන්ගේ නිවන් මග වහ වහා සපල වේවායි පතමු.

ආචාර්ය සූරක්කුලමේ පේමරතන හිමි
පිට්ස්බර්ග් බෞද්ධ විහාරය
පෙන්සිල්වේනියාව
අමෙරිකා එක්සත් ජනපදය


නව අදහස් නිකායික පාලක සභාව හඳුන්වා දුන් සංඝ සෝභන මහා ථෙර නමක්

ව්‍යක්ත, විශාරද, බහුශ්‍රැත, ධර්මධර, ධර්මානුධර්ම චර්යාවෙන් යුක්ත, යම් භික්ෂූන් වහන්සේ නමක් වන්නේද උන්වහන්සේ සංඝ සෝභන නම් වන්නේය.

‘සංඝ සෝභන සිරි ගුණරතන වංසාලංකාර ධම්මකිත්ති සිරි’ යන අභිධානයෙන් සම්මානිතව වැඩ විසූ ගිරාඹේ ආනන්ද මාහිමිගේ ශාසන චර්යාව මැනවින් අධ්‍යයනය කළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායික කාරක පාලක සංඝ සභාව උන්වහන්සේට පිරිනැමුණු එක් අභිධානයක් වූයේ ‘සංඝ සෝභන’ යන්නයි. වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම එම ගුණයන්ගෙන් සපිරුණු ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පදවිය හෙබ වූ ගිරාඹේ ආනන්ද මාහිමියන් මඟින් අනුනායක පදවිය බැබළිණි.

වර්ෂ 1933 මැයි මස 19 දින ජන්ම ලාභය ලබා 1949 අගෝස්තු 26 දින සාමණේර පැවිද්දට පත් උන්වහන්සේ ගේ ආචාර්ය පාදෝත්තමයාණන් වූවෝ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක සියඹලන්ගමුවේ ගුණරතනාභිධාන මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේයි. පේරාදෙණිය සාරානන්ද මහා පිරිවෙනේ නේතෲත්වය දැරූ සියඹලන්ගමුවේ ගුණරතන අනුනායක ස්වාමින් වහන්සේගේ විචිත්‍ර කුසලතා සහ නිර්මාණාත්මක පරිකල්පනයට බද්ධ වී ආගමික, ශාසනික, නිකායික, සංස්කෘතික, සමාජීය අතිමහත් දැවැන්ත කාර්යභාරය ඉදිරියට පවත්වාගෙන යෑමේ හැකියාව කුඩා සාමණේර කල සිටම උන්වහන්සේ ප්‍රදර්ශනය කළහ. 1958 ජූලි මස 10 දින ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක ස්වාමීන්ද්‍රයාණන් ප්‍රධාන මහා සංඝරත්නයෙන් අති උතුම් අධිශීල සංඛ්‍යාත උපසම්පදා භූමියට පත්වූහ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ප්‍රවර්ධනය මතු නොව අනගාරික ධර්මපාලතුමන්ගේ දුෂ්කර දඹදිව ධර්ම ප්‍රචාරක ව්‍යාපාරයේ නියමුවාණන් කෙනෙකු ලෙස අත්‍යුදාර සේවයක් කර වදාළ බෝධිසත්ව ගුණෝපේත සිරි සද්ධම්ම විනයාචරිය රාජගුරු උඩුනුවර ශ්‍රී සාරානන්ද මහා ස්වාමින් වහන්සේ ආරම්භ කර වදාළ පේරාදෙණිය සාරානන්ද විහාරස්ථානය පාදක ව බිහි වූ ශ්‍රී සාරානන්ද මහා පිරිවෙන් විද්‍යාස්ථානය විවිධ විෂය ක්ෂේත්‍රයන්හි විශාරදත්වයට පත් දහස් ගණනක් පැවිදි ගිහි උගතුන් රටට හා දැයට බිහි කළ ආයතනයකි. සාරානන්ද භික්ෂු පරම්පරාවට එම පිරිවෙන ඇතුළු පිරිවෙන් 35ක් පමණ වෙයි.

සාරානන්ද පරපුරට අයත් ලංකාවේ ඇති විහාරස්ථාන සංඛ්‍යාව 250කට අධිකය. මේ සියලු ආයතනයන්හී අනුශාසකවරයාණෝ අප අනුනායක ගිරාඹේ ආනන්ද මහා ස්වාමින් වහන්සේයි. ඒ හැර උන්වහන්සේ විහාරාධිපතිත්වය දරන විහාරස්ථාන 36 කි. විදේශයන්හී ද උන්වහන්සේ විහාරාධිපතිත්වය දරන විහාරස්ථාන වෙයි. උන්වහන්සේගේ පැවිදි ශිෂ්‍ය පිරිස 250ක් පමණ වෙති. දක්ෂ හා කුසලතා පිරිපුන් රාජකීය පඬිවරු, කථිකාචාර්ය, මහාචාර්යවරු, පරිවෙණාධිපතිවරු, විදුහල්පතිවරු ආදී අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියුතු ශිෂ්‍යවරයාණෝ ඒ අතර වෙති.

ගිරාඹේ ආනන්ද අනුනායක මාහිමියන්ගේ නිර්මාණ කුසලතාව සහ පරිකල්පන ශක්තිය මැනවින් ප්‍රකට වන ආදර්ශ ස්ථානයක් ලෙස අනුරාධපුර සාරානන්ද පිරිවෙන් විහාරස්ථානය සැලකිය හැකිය. තම ගුරු දේවොත්තම සියඹලන්ගමුවේ ගුණරතන අනුනායක ස්වාමින් වහන්සේ ගේ අප්‍රතිහත ධෛර්යයෙන් ආරම්භ වූ මෙම ස්ථානය අද අනුරාධපුර පූජා භූමියෙහි ඇති විශ්මය දනවන පූජනීය ස්ථානයක් බවට පත්ව ඇත.

‘අසූ අටරියන් බුද්ධ ප්‍රතිමාවහන්සේ, දඹදිව ආනන්ද බෝධි ශාඛා වහන්සේ, ධාතු මන්දිර, ලෙන් විහාරවලින් ශෝභමාන මෙම ආයතනයේ දියුණු පිරිවෙනක් ද පැවැත්වෙයි. ස්වකීය ගුරු දේවොත්තමයාණන්ගේ අපවත් වීමෙන් පසු තම ස්ථීර නේවාසික ස්ථානය ලෙස අනුරාධපුර සාරානන්ද පිරිවෙන තෝරාගත් අනුනායක ස්වාමින් වහන්සේ පේරාදෙණිය සාරානන්දය ඇතුළු ආයතනයන්හි නායකත්වය දරමින් විශිෂ්ට කළමනාකරණයකින් යුක්ත වූහ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පදවියටත් නිකායේ කාරක පාලක සභාවන්හී සමානච්ඡන්දයෙන් උන්වහන්සේ පත් කරනු ලැබුවේ 2015 නොවැම්බර් මස 26 දිනදීය. එවකට 67 වියේ වූ උන්වහන්සේ වසර සිය ගණනකින් වුව ඉටු කළ නොහැකි ශාසන සංග්‍රහයක් සහ නිකායික ප්‍රවර්ධනයක් ඒ වන විටද ඉටු කර තිබුණි.

සසුන ජීවිතය කරගත් උන්වහන්සේගේ හදවත වූයේ රාමඤ්ඤ මහා නිකායයි. නිකායේ සියලු කටයුතුවලදී කැපවීමෙන් ක්‍රියාකළ උන්වහන්සේ උත්තරීතර අධිකරණ මාණ්ඩලික සාමාජිකවරයාණන් ලෙස කළ සේවය විශාලයි. නව අදහස්, ව්‍යාපෘති නිකායට හඳුන්වා දුන් උන් වහන්සේ අනුරාධපුර සාරානන්දය උතුරු මැද පළාතේ නිකායේ මූලස්ථානය ලෙස විවෘතව පවත්වාගෙන ගියහ. නිකායික කිසිදු කාර්යයක් වෙහෙසක් ලෙස උන්වහන්සේ නොසැලකූහ. අසනීපව වැඩ සිටි කාලයේත් උන්වහන්සේ නිකාය කාර්ය අතපසු නොකළහ. අවසාන කාරක සභාවටත් උන්වහන්සේ සහභාගි වූහ.‍

වර්ෂ 2010 ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 67 වන උපසම්පදා මහා විනය කර්මය සිදුකරන ලද්දේ අනුරාධපුර ශ්‍රී සාරානන්ද පිරිවෙන කේන්ද්‍රීය කරගෙන මල්වතු ඔය උදකුක්ඛේප සීමාමාලකයේයි. එහිදී සාමණේරවරයාණන් වහන්සේ 346 නමක් අධිශීල සංඛ්‍යාත උපසම්පත්තියට පත්වූහ. ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ නිකායාරක්ෂක සභාවේ ප්‍රධාන දායකත්වයෙන් පුරා දින අටක් මුළුල්ලේ පැවති මෙම අවස්ථාවට සහභාගි වූ සිය ගණනක් මහා සංඝයා වහන්සේට දන් පහන් සහිත සියලු නේවාසික පහසුකම් සැපවූයේ සාරානන්ද පිරිවෙන් විහාරස්ථානය මඟිනි.

දහස් ගණනක් ගිහි පිංවත්හු දිනපතා සහභාගි වූහ. එම සියලු පිංවතුන්ට ආහාරපාන ඇතුළු සියලු පහසුකම් උන්වහන්සේ සැපවූහ. මෙම අවස්ථාව මෑත අනුරාධපුර ඉතිහාසයේ සිදු වූ ඓතිහාසික ශාසනික ක්‍රියාවලියයි. මෙම මහා පිංකම සංවිධානයේදි අනුනායක ස්වාමින් වහන්සේගේ සංවිධාන කුසලතාව මොනවට පැහැදිලි විය. ශ්‍රී ලංකාවේ පැන නඟින ජාතික ව්‍යවසනවලදී මහත් කැපවීමෙන් පරිත්‍යාගශීලීව ක්‍රියා කළ උන්වහන්සේ ජාතියේත් ආගමේත් සංරක්ෂණයට උදාර සේවා සිදු කළහ.

රාජරාජ මහාමාත්‍යාදීන්ගේ සිට සැදැහැවත් දිළිඳු තැනැත්තා දක්වා සම සිතින්, සම මෙතින් උන්වහන්සේ කටයුතු කළහ. අනතිමානී ගුණය, විශාරද බව, මැදිහත් බව, ඍජුපටිපන්නතාව යන ගුණාංගයන්ගෙන් ජීවිතය ශෝභමාන කර ගත් අනුනායක ගිරාඹේ ආනන්දාභිධාන මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ 2018 පෙබරවාරි මස 20 දින අලුයම අපවත් වී වදාළහ.

ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහ සහිතව අද (24දා) අනුරාධපුර හරිස්චන්ද්‍ර පිටියේදී පැවැත්වේ.

එස්. වී. ඩී. කේසරලාල් ගුණසේකර,
මහලේකම්
ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාරක්ෂක සභාවේ ලේකම්


රජර‍ටට කළ මෙහෙය අපමණයි!

අපවත් වී වදාළ ගිරා‍ඹේ ආනන්ද අනු නාහිමියෝ රජර‍ට සංඝරාජයාණන් වහන්සේ නමක ලෙසින් අමිල මෙහෙරවක් සම්බුද්ධ ශාසනයට සිදු කළ බව ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ මහ ලේකම් මුගුණුවෙල අනුරුද්ධ නා හිමියෝ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති.

විවිධ අභියෝග හමුවේ නොසැලෙමින් විහාරාරාම රැක ගනිමින් වල්බිහිවුණු රජරට වෙහෙර විහාර බොදුනුවන්ට රැක දෙන්නට උන් වහන්සේ අපමණ වෙහෙසක් ගත බවද උන් වහන්සේ පවසා සිටිති.

සිවුරෙන් සසුන බැබළවීමට මිස සිවුර නිසා තමන් බැබළීමට උන් වහන්සේ කිසිවිටකත් කටයුතු නොකළ බවද ලෝක බෞද්ධ තරුණ බෞද්ධ සංඝ සභාවේ බලවත් ශෝකය ‍මේ අවස්ථාවේ පුද කරනු ලබන බවද පවසා සිටින අනුරුද්ධ හිමියෝ අනු නාහිමියන්ගේ අපවත් වීම රජරට ජනතාවට පමණක් නොව සමස්ත බුදු සසුනටම දැරිය ‍ නොහැකි පාඩුවක් බවද පෙන්වා දෙති‍.

මුගුණුවෙල අනුරුද්ධ නා හිමි
ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ මහ ලේකම් 


නව අදහස දක්වන්න

Or log in with...