හතළිස්හයවැනි සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා | දිනමිණ

හතළිස්හයවැනි සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා

කමනි අල්විස්

නීතිපති‍ දෙපාර්තමේන්තුවේ හතළිස්හයවෙනි සොලිසිටර් ජනරාල්වරයා ලෙස පෙරේදා (22) පත්වූ ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා වසර තිස්දෙකක් නීතිඥ වෘත්තියේ අත්දැකීම් තිබෙන පළපුරුදු ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකි.

සොලිසිටර් ජනරාල් ධුරයට පත්වන විට ජනාධිපති නීතිඥ දප්පු ද ලිවේරා මහතා ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ලෙස නීතිපති දෙපාර්තමේන්තුවේ සේවයේ නිරත වී සිටියේය.

වසර 2014 මාර්තු 20 දා ජනාධිපති නීතිඥවරයකු ලෙස පත්වුණ ඒ මහතා, 1985 සිට රජයේ අධිනීතිඥවරයකු ලෙස නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කරමින් ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ, නියෝජ්‍ය සොලිසිටර් ‍ජනරාල්, අතිරේක සොලිසිටර් ජනරාල් ධුරයන්හි ක්‍රියා කළේය.

ෂීෂෙල්ස්හි නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ අධිනීතිඥවරයකු ලෙස ද ඒ මහතා 1992 සිට 1994 දක්වා සේවය කළේය.

ශ්‍රී ලංකාවේ කුඩා අවි සහ සැහැල්ලු අවි භාවිතයට එරෙහි ජාතික කොමිෂමේ සාමාජිකයකු ලෙස සහ මිනිස් ජාවාරම සහ නීත්‍යානුකූල නොවන සංක්‍රමණ පිළිබඳව අධිකරණ අමාත්‍යාංශයේ කාර්ය සාධක බළකායේ සාමාජිකයෙකි. ඒ මහතා බැඳුම්කර කොමිසමේ ප්‍රධාන නීතිඥවරයාය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ නීති උපදේශක ලෙස සහ එම බුද්ධි ඒකකයේ උපදේශක මණ්ඩලයේ සාමාජිකයකු ලෙස වසර 2006 සිට වසර 2009 දක්වා සේවය කළේය.

නීතිය හා සාමය රටේ පවත්වාගෙන යාමේදී මතුවන ගැටලු පරීක්ෂණය කිරීම සඳහා පත්කරන ලද විශේෂ ජනාධිපති කොමිෂමේ ජ්‍යෙෂ්ඨ නීති උපදේශක ලෙස ද ඒ මහතා ක්‍රියා කර තිබේ.

මූල්‍ය අපරාධ, වෙනත් බරපතළ අපරාධ, ත්‍රස්තවාදයට එරෙහිව, මත්ද්‍රව්‍යයට එරෙහිව, මුදල් විශුද්ධිකරණයට එරෙහිව, මිනිස් ජාවාරමට එරෙහිව, කුඩා අවි පාලනය සහ තුවක්කු නීතිය, පරිගණක හා සයිබර් අපරාධ, මානව හිමිකම් සහ මානව නීතීන් පිළිබඳ අංශයන්හි හසළ දැනුමකින් සහ පළපුරුද්දකින් හෙබි අත්දැකීම් බහුල නීතිඥවරයෙකි.

1984 ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයකු ලෙස ක්‍රියාකරමින් පසුව නීතිපති දෙපාර්තමේන්තුවේ අධිනීතිඥවරයකු ලෙස සේවයට පැමිණි‍ෙය්ය.

සොලිසිටර් ‍ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා ලන්ඩන් විශ්වවිද්‍යාලයේ නීති විශාරද උපාධිධරයෙකි.

සොලිසිටර් ‍ජනරාල් ජනාධිපති නීතිඥ සුහද ගම්ලත් මහතා විශ්‍රාම යාමෙන් පුරප්පාඩු වුණු සොලිසිටර් ජනරාල් ධුරයට ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් පත් කළේය.

නව අදහස දක්වන්න