ඉන්දියා සංචාරයෙන් හය වැනි දිනයේ කැනඩා අගමැති හමුවීමට මෝදි එයි | දිනමිණ

ඉන්දියා සංචාරයෙන් හය වැනි දිනයේ කැනඩා අගමැති හමුවීමට මෝදි එයි

ඉන්දියාවේ සංචාරයක නිරත කැනඩා අගමැතිවරයා අවසානයේ ඉන්දීය අගමැතිවරයා මුණ ගැසීමට අවස්ථාවක් හිමි කර ගෙන තිබේ. ඒ අග්‍රමාත්‍ය ජස්ටින් ටෲඩො ඇතුළු පවුල් ඉන්දියාවට පැමිණ දින හයකට පසුය.

ඔහුව පිළිගැනීමට ඉන්දීය අගමැති නරෙන්ද්‍ර මෝදි ගුවන් තොටුපොළට පැමිණ නොතිබීම පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය තුළ දැඩි කතා බහක් ඇති විය. ටෲඩෝ ඉන්දියාව පුරා සංචාරය කරද්දී හෝ විවිධ ප්‍රජාවන් මුණ ගැසුණත් ඉන් එක් අවස්ථාවක වත් මෝදි ඔහු හා එක් වූයේ නැත. අවම වශයෙන් මෝදි ගේ උපන් ප්‍රදේශයේ කළ සංචාරය සඳහා ඔහු කැනඩා අගමැතිවරයා සමග එක් වනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කළ ද එය සිදු වූයේ නැත‍. අවසානයේ බොහෝ දෙනා සිතුවේ මොවුන් දෙදෙනා හමු නොවීම නියමිත දින අට ඉක්ම යනු ඇති බවයි.

මේ හමුවීම පිටුපස තවත් කතාවක් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ටෲඩො හමු වීමට මෝදි තීරණය කර ඇත්තේ, සික් අන්තවාදී නායකයකු විසින් ටෲඩො වෙත රාත්‍රි භෝජන සංග්‍රහයකට කරන ලද ආරාධනාව ප්‍රතික්ෂේප කිරීමෙන් පසු බව එම මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

කෙසේ වෙතත් නායකයෝ දෙදෙනා දිල්ලියේ පිහිටි රාෂ්ට්‍රපත් භවන් හිදි හමු වී වෙළෙඳ, ආරක්ෂක, කාලගුණ විපර්යාස සහ සිවිල් න්‍යෂඨික බලශක්තිය පිළිබද සබඳතා පිළිබඳව සාකච්ඡා කළහ.

මාධ්‍ය මගින් කුමක් වාර්තා කළ ද මෝදි ඉතා උණුසුම් ලෙස ටෲඩො පවුල පිළි ගෙන තිබිණි. 

 

නව අදහස දක්වන්න